වෛද්‍ය චාමිකට රන් පදක්කම් 11ක් | Page 3 | සිළුමිණ

වෛද්‍ය චාමිකට රන් පදක්කම් 11ක්

 නොබෝ දා පැවැත්වුණු කැලණිය විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රදානෝත්සවයේ දී අතිවිශිෂ්ට දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම් 11ක් දිනා ගැනීමට වෛද්‍ය චාමික ද සිල්වා සමත් විය. කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය විසින් පවත්වනු ලැබූ වෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධි පරීක්ෂණවලට අදාළ සියලු විෂයන්වලින් විශිෂ්ටතම දක්ෂතාව දැක්වූ විද්‍යාර්ථියා හට මහාචාර්ය කාලෝ ෆොන්සේකා මැතිතුමා විසින් පිරිනමනු ලබන ස්වර්ණ මුද්‍රිකාව ඒ අතුරින් සුවි‍ෙශ්ෂී වේ.

එමෙන් ම, එම උපාධිවලට අදාළ අවසාන පරීක්ෂණයේ දී වැඩිම ලකුණු ලබා ගත් විද්‍යාර්ථියා හට කැලණිය විශ්වවිද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංසදය මඟින් පිරිනමනු ලබන අතිපූජ්‍ය කිරිවත්තුඩ‍ුවේ ශ්‍රී පඤ්ඤසාර නා හිමි අනුස්මරණ ස්වර්ණ මුද්‍රිකාව ද වෛද්‍ය චාමිකට හිමි ‍විය.

මීට අමතරව වෛද්‍යවේදී උපාධි පළමු පරීක්ෂණයේදී වැඩි ම ලකුණු ලබාගත් විද්‍යාර්ථියා වෙත මහාචාර්ය අසෝක දිසානායක මැතිතුමා විසින් පිරිනමනු ලබන ස්වර්ණ මුද්‍රිකාව හා එම උපාධිවලට අදාළ දෙවන පරීක්ෂණයේදී වැඩිම ලකුණු ලබාගත් විද්‍යාර්ථියා වෙත පිරිනමනු ලබන ස්වර්ණ මුද්‍රිකාව ද ඔහු දිනා ගත්තේය. ම‍නෝ වෛද්‍ය විද්‍යාව, ප්‍රසව හා නාරිවේදය, පවුල් වෛද්‍ය විද්‍යාව, මහජන සෞඛ්‍යය, වෛද්‍ය ක්ෂුද්‍රජීවී විද්‍යාව, භෞතවේදය හා පරපෝෂවේදය යන විෂයන් සඳහා වන රන් පදක්කම් ද ඔහුගේ පදක්කම් අතරට එක් විය. තවද ‍සාමාන්‍ය වෛද්‍යවේදය හා අධිකරණ වෛද්‍ය විද්‍යාව යන විෂයන් සඳහා විශිෂ්ට සාමර්ථ්‍යයන් අත් කර ගැනීමට ද ඔහු සමත් විය. 

 

Comments