හසරංගට වාර්තා රැසක් | සිළුමිණ

හසරංගට වාර්තා රැසක්

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ජූලි 02 වැනිදා පැවැති දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 07 ක පහසු ජයක් අත්විය. එම ජයග්‍රහණයේ නියමුවෝ වූයේ දඟ පන්දු යැවූ ලක්ෂාන් සඳකැන් සහ හසරංග ද සිල්වාය.

26 හැවිරිදි සඳකැන් වමතින් දඟ පන්දු යවමින් ලකුණු 52 ට කඩුලු සතරක් දවා ගනිමින් තරගයේ වීරයාත් වූයේය. ඔහුට මනා සහායක් ලබා දෙමින් 19 හැවිරිදි දකුණතින් පා දඟ පන්දු යැවූ හසරංග ලකුණු 15 ට කඩුලු තුනක් දවාලීය. එය වාර්තාගත පන්දු යැවීමකි. එනම් එහිදී තම මංගල එක්දින ජාත්‍යන්ත තරගයට ක්‍රීඩා කරමින් පිට පිට පන්දු තුනකින් කඩුලු ත්‍රිත්වයක් හෙවත් හැට්ට්‍රිකයක් දවා ගැනීමට ඔහු සමත් වීමයි.

ඒ සමඟම තම මංගල එක්දින ජාත්‍යන්තර තරගයේදීම කඩුලු ත්‍රිත්වයක් දවාගත් ලොව තෙවන පන්දු යවන්නා සහ ළාබාලතමයා බවට හසරංග පත් වීමයි. ඔහුට පෙර මෙම දස්කම කරනු ලැබුවේ බංග්ලාදේශයේ ටයිජුල් ඉස්ලාම් 2014 සහ දකුණු අප්‍රිකාවේ කාගිසෝ රබාඩා 2015 වසෙර්ය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර හැට්ට්‍රික් දවාලූ පස්වැනි පන්දු යවන්නාත් හසරංගය. ඔහුට පෙර මෙම දස්කම චමින්ද වාස් (දෙවතාවක්), ලසිත් මාලිංග (තෙවතාවක්), ෆර්විස් මහරුෆ් සහ තිසර පෙරේරා විසින් කර තිබේ.

හසරංග ගාලු ප්‍රදේශයේම උපත ලැබූ ක්‍රීඩකයෙකි. එමෙන්ම ඔහු අධ්‍යාපනය හැදෑරුවේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙනි. මීට පෙර හෙතෙම ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ පිලට ක්‍රීඩා කර තිබේ.

ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන්නේ චතුරංග ද සිල්වාය. 27 හැවිරිදි චතුරංග තුන් ඉරියව් හපනෙකි. ඔහු එක්දින ජාත්‍යන්තර තරගවලදි ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.

දෙරට අතර පැවැති ප්‍රථම එක්දින ජාත්‍යන්තර තරගයෙන් සිම්බාබ්වේට කඩුලු 06 ක විශිෂ්ට එමෙන්ම වාර්තාගත ජයක් අත්විය. ඒ සමඟ ශ්‍රී ලංකාවේ දී පැවැති එක්දින ජාත්‍යන්තර තරගයකදී කණ්ඩායමක් සාර්ථකව ලකුණු 300 සීමාව ඉක්මවා රැස් කරමින් ජයගත් ප්‍රථම වතාව බවටත් එය පත් විය. මෙම තරග දෙකම පැවැත්වූයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීය.

Comments