ලෝක කුසලාන යොවුන් දැල්පන්දු සටන ඇරැඹේ | සිළුමිණ

ලෝක කුසලාන යොවුන් දැල්පන්දු සටන ඇරැඹේ

ප්‍රශාන්ත ඇල්පිටිය

අනාගතයේ සුපිරිතම දැල්පන්දු (නෙට්බෝල්) ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ප්‍රථම වරට ජාත්‍යන්තර මට්ටමින් දැකබලා ගැනීමට ලැබෙන යොවුන් දැල්පන්දු ලෝක කුසලාන තරගාවලිය ජූලි මස 08 සිට 16 දක්වා පැවැත්වේ. ඒ අප්‍රිකානු කලාපයේ බොට්ස්වානා රාජ්‍යයේදීය.

බොට්ස්වානා අගනුවර වන ගැබෝරොනේහි පිහිටි බොට්ස්වානා විශ්ව විද්‍යාල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මෙවර තරගාවලිය පැවැත්වේ. මෙවර පැවැත්වෙන්නේ අටවැනි යොවුන් ලෝක කුසලාන තරගාවලියයි. වයස අවුරුදු 21 න් පහළ ක්‍රීඩිකාවන් මෙම තරගාවලියට සහභාගි වෙති. මෙවර ඊට සහභාගි වන රටවල් 20 අතරට ශ්‍රී ලංකාවත් අයත්ය.

මෙම තරගාවලිය 2013 වසර තෙක්ම හැඳින්වූයේ යොවුන් දැල්පන්දු ලෝක ශූරතාවලිය ලෙසටයි. මෙවර සහභාගි වන රටවල් අතරින් බොට්ස්වානා සත්කාරක රට ලෙසට ඊට නිතරගයෙන්ම සුදුසුකම් ලැබීය. 2013 තරගාවලියේදී මුල් ස්ථාන සතර හිමිකර ගත් රටවල් සතරත් මෙවර නිතරගයෙන්ම සුදුසුකම් ලැබීය. ඒ නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ජැමෙයිකාව සහ එංගලන්තයයි. සෙසු රටවල් ඒ ඒ කලාපයන්හි පැවැති සුදුසුකම් ලැබීමේ තරගවලට සහභාගි වූහ. එහිදී මුල් ස්ථාන හිමිකර ගත් රටවල් ත්‍රිත්වය බැගින් සෙසු රටවල් 15 මෙවර තරගාවලියට සුදුසුකම් ලැබීය.

ආසියානු කලාපයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය හෙවත් ආසියානු ශූරතාවලිය 2015 වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වූයේ හොංකොං හිදීය. එහිදී ශ්‍රී ලංකාවට ශූරතාවයයි. දෙවැනි තැන මලයාසියාවටයි. තෙවැනි තැන සිංගප්පූරුවටයි. සෙසු කලාපවලින් සුදුසුකම් ලැබූ රටවල් මෙසේය.

අප්‍රිකානු කලාපය (1) දකුණු අප්‍රිකාව (2) සිම්බාබ්වේ (3) උගන්ඩාව

අමෙරිකානු කලාපය (1) බාර්බෙඩෝස්, (2) ට්‍රිනිඩෑඩ් සහ ටොබෑගෝ (3) ග්‍රෙනාඩා

ඔෂෙනියා කලාපය (1) ෆීජි (2) කුක් දූපත් (3) සැමෝවා

යුරෝපීය කලාපය (1) ස්කොට්ලන්තය (2) වේල්සය (3) උතුරු අයර්ලන්තය

මෙම රටවල් මෙවර යොවුන් ලෝක කුසලාන තරගාවලියේ මුල් වටයේදි කාණ්ඩයන් සතරක් යටතේ තරග කරනු ඇත.

ඒ කාණ්ඩය

නවසීලන්තය, ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය, උතුරු අයර්ලන්තය, සැමෝවා.

බී කාණ්ඩය

ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බාර්බෙඩෝස්, සිම්බාබ්වේ, සිංගප්පූරුව.

සී කාණ්ඩය

ජැමෙයිකාව, බොට්ස්වානා, කුක් දූපත්, මලයාසියාව, උගන්ඩාව

ඩී කාණ්ඩය

එංගලන්තය, ෆීජි, ට්‍රිනිඩෑඩ් සහ ටොබෑගෝ, වේල්සය, ග්‍රෙනාඩා

මෙම මුල් වටයේ දී තරග ලීග් ක්‍රමයට පැවැත්වේ. එය අවසානයේ දී ඒ ඒ කාණ්ඩයන්හි මුල් ස්ථාන හිමිකර ගත් රටවල් 02 අංක 1 සිට 08 දක්වා ස්ථාන හිමිකර ගැනීමට තරග කරති. ඒ ආකාරයටම මුල් වටයේදී තෙවැනි සහ සිවුවන ස්ථාන හිමිකර ගත් රටවල් අතර අංක 09 - 16 දක්වා ස්ථාන සඳහා තරග පැවැත්වේ. මුල් වටයේදී අවසන් තැන හිමිකර ගත් රටවල් සතර අංක 17 - 20 ස්ථාන සඳහා තරග වදිනු ඇත.

ශ්‍රී ලංකාවට අභියෝගයක්

පැහැදිලිවම මෙම තරගාවලිය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට විශාල අභියෝගයකි. ශ්‍රී ලංකා යොවුන් පිල මීට සති කිහිපයකට පෙර ආසියානු යොවුන් ශූරතාවලියට සහභාගි විය. එහෙත් අපේක්ෂා කළ පරිදි දස්කම් නොදැක්වූ ඔවුනට හිමි වූයේ සිවුවැනි ස්ථානයයි. එහිදී මුල් ස්ථාන තුන හිමිකර ගත් රටවල් වූයේ සිංගප්පූරුව, මලයාසියාව සහ හොංකොංය.

එම තරගාවලියේදී ශ්‍රී ලංකා නායකත්වය දැරුවේ නදී ප්‍රනාන්දුය. මෙවර ලෝක කුසලාන තරගාවලියටත් ඇය සහභාගි වන නමුත් නායකත්වය අහිමි වී තිබේ. මෙවර නායිකාව වනුයේ මන්දිරා චාරුණිය. කෙසේ වෙතත් ලෝක මට්ටමේ ක්‍රීඩිකාවන් සමඟ තරග කිරීමෙන් අත්දැකීම් රැසක්ම ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අවස්ථාව උදා වී තිබේ.

 

ශ්‍රී ලංකා තරග සටහන

 

මුල් වටය

ජූලි 08 - ශ්‍රී ලංකාව - ස්කොට්ලන්තය

ජූලි 09 – ශ්‍රී ලංකාව - උතුරු අයර්ලන්තය

ජූලි 11 - ශ්‍රී ලංකාව - සැමෝවා

ජූලි 12 – ශ්‍රී ලංකාව - නවසීලන්තය

 

යොවුන් ලෝක කුසලාන ඉතිහාසය

වසර ශූරතාව

1988 ඔස්ට්‍රේලියාව

1992 නවසීලන්තය

1996 ඔස්ට්‍රේලියාව

2000 ඔස්ට්‍රේලියාව

2005 නවසීලන්තය

2009 ඔස්ට්‍රේලියාව

2013 නවසීලන්තය

 

 

Comments