
ලාංකේය දැල්පන්දු ක්‍රීඩාවේ අර්බූද කිසි දිනෙක නොවිසඳෙන තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මේ දිනවල බොට්ස්වානාහි පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට එක්ව සිටිති. මෙම තරගාවලියට සූදානම් වූ දිනයේ පටන් ම නිලධාරිනියන් අතර පැවැතියේ ද තනි තනි තරගය. ඒ ලාංකේය දැල්පන්දු ක්‍රීඩාව තම තමන්ගේ බූදල් ලෙස ගෙන කටයුතු කරන්නට යාම තුළය.
මේ තත්ත්වය අද ඊයේ ඇති වූ අහඹු දෙයක් නොවන අතර දිගුකාලයක පටන් ම කල්ලි ගැසුණු කිහිපදෙනා එකිනෙකා පරයමින් ලාංකේය දැල්පන්දුව ස්වකීය බුදලයක් ලෙස සලකා කටයුතු කිරීමට යාම තුළ ඉතිරි වූයේ නොවිසඳුණු ගැටලුය.
ආසියානු කනිෂ්ඨ දැල්පන්දු තරගාවලියෙන් පසුව ලාංකේය දැල්පන්දුව මොන තරම් කුණු වී ඕජස් ගලන තැනකට වැටී තිබුණේද යන්න සෙවීමට කමිටු පවා පත් කිරීමට සිදුවිය. එම තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා එකී තරගාවලිය අතරතුරම ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වනතෙක් බලා සිටි පිරිසක් කණ්ඩායම තුළම සිටි බවයි.
පරිපාලනයට කල්ලි ගැසුණු පිරිස් සිටි ලාංකේය දැල්පන්දු ක්‍රීඩාවේ අදවන විට ශ්‍රී ලංකාව පරාජය වනතෙක් ඇඟිලි ගණින ක්‍රීඩිකාවන් දක්වා වර්ධනයවීම තුළ කියාපාන කුහකත්වය කා සඳහා, කුමක් අරඹයා ද යන්න බලධාරීන් විමසිලිමත් විය යුතුය. යොවුන් ලෝක කුසලාන තරගාවලියට පුහුණුකාරියන් දෙදෙනකු නම් කිරීම ද, ඊට ඉහළින් උපදේශිකාවක පත් කිරීම ද අර්බූද දිග් ගස්සන්නට පමණක් නොව, නැති අර්බූද ඇති කරන්නට ද හේතු විය.
පුහුණුකාරියන් දෙදෙනා එකිනෙකා පරයා යාමට කටයුතු කිරීමද, උපදේශිකාව නොසලකා හැරීම ද බැහැර කළ හැකි සාධක නොවේ. පුහුණුකාරියන් දෙදෙනා තනි මතයකට පැමිණ කටයුතු කිරීමක් ද මෙහිදී දක්නට නොලැබීම කැපී පෙනෙන සිදුවීමක් වූ අතර මේ නිසාම ක්‍රීඩිකාවන් ද අඩුවැඩි වශයෙන් බැටකෑම්වලට ලක්වූහ.
මෙකී අර්බූද කොතෙක්ද යත් ආසියානු තරගාවලිය අවසානයේ බොට්ස්වානා ගමන නොයාමට ක්‍රීඩා අමාත්‍යවරයා තීරණය කළද තරග කොන්දේසි අනුව එසේ නොයා සිටීමට ද නොහැකි විය. එබැවින් ආමාත්‍යවරයාගේ තීරණය වෙනස්කර ගැනීමට සිදුවිය. මෙකී තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සංචිතය ආරම්භ කිරීමටත් මත්තෙන්ම බොට්ස්වානා ගමනට නිලධාරි නිලධාරිනියන් කල්ලි ගැසුණු අයුරු කාටත් රහසක් නොවේ. මේ කිසිවකුට රටේ කීර්තිනාමය හෝ ක්‍රීඩාවේ අත්පත් කරගන්නා ජයග්‍රහණයට වඩා අන් සියලු දෑ වැදගත් බව පැහැදිලිය. මෙකී තරගාවලිය හරහා අප නෙළා ගත යුත්තේ ලාංකේය දැල්පන්දු ක්‍රීඩාවේ අනාගතය මිස තවත් මීතොටමුල්ලක් නම් නොවිය යුතුය.










