ගින්නෙන් උපන් අලි | සිළුමිණ

ගින්නෙන් උපන් අලි

ප්‍රශාන්ත ඇල්පිටිය

“මේ ළමයා පොත පතේ වැඩක් කරන්නෙම නැහැනේ. සෙල්ලම් කරනවා විතරයි. මොනවා කරන්න හිතාගෙන ඉන්නවාද දන්නේ නැහැ." මේ ඕනෑම රටක මවුපියන්ට බොහෝ විට තම දරුවන් ගැන පැවසීමට තිබෙන පොදු අදහසකි. පාකිස්තානයේ අලි පවුලටත් එසේමය.

ඒ ඔවුන්ගේ 16 හැවිරිදි හසන් අලි පුත්‍රයා නිසාවෙනි. කෙතරම් ඔහුට කරුණු දැක්වුවත් අධ්‍යාපනය ගැන උනන්දුවක් ඇති කිරීම පහසු වූයේ නැත. 2010 වසරේදී අලි මවුපියන් දැඩි පියවරක් ගත්හ. එනම් හසන්ගේ ක්‍රිකට් ඇඳුම් සහ උපකරණ ඇතුළත් බෑගය ගිනි තබා විනාශ කිරීමය. එසේ වුවත් හසන් ක්‍රිකට් ක්‍රීඩකයකු වීම සඳහා දුටු සිහිනය නතර කර දැමීමට මවුපියන්ට හැකි වූයේ නැත.

තවත් වසර හතක් ගත විය. හසන් අලි පාකිස්තානයේ වීරයකු බවට පත් වී අවසන්ය. පසුගියදා පාකිස්තානය ප්‍රථම වරට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි. සී. සී.) චැම්පියන්ස් කුසලානය හිමිකර ගැනීමට සමත් විය. ඒ සිය සම්ප්‍රදායික සතුරා වූ ඉන්දියාව පරාජය කරමිනි. එහිදී වැඩිම කඩුලු ගණනක් දවා ගත් පන්දු යවන්නා වෙමින් තරගාවලියේ වීරයා වූයේත් 23 හැවිරිදි හසන්ය.

"මගේ අම්මාට ඕනෑ කළේ මාව නීතිඥවරයෙක් කිරීමටයි. නමුත් මගේ සිහිනය වූයේ ක්‍රිකට් ක්‍රීඩකයකු වීමටයි. එය අද ඉටු වෙලා. ඒ ගැන මට හරිම සතුටුයි." පාකිස්තාන් ජයග්‍රහණයෙන් අනතුරුව දකුණතින් මද වේග පන්දු යවන හසන් අලි පැවසීය.

හසන්ගේ සිහිනය ඉටුකර ගැනීමට විශාලතම කාර්යභාරය ඉටු කළේ ඔහුගේ වැඩිමහල් සහෝදරයා වූ අටාවුර් රෙහ්මාන්ය. "අද මම කිසියම් තැනක සිටිනවා නම් එහි සම්පූර්ණ ගෞරවය හිමි වන්නේ මගේ අයියාටයි. ඔහු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. එහෙම වුණත් ඔහු ඉදිරියටම ගියේ නැහැ. නමුත් එතැනට යාමට මට උදව් කළා."

මීට පෙර ජාත්‍යන්තරව පාකිස්තානයට ක්‍රීඩා කළ අටාවුර් රෙහ්මාන් සහ හසන්ගේ අයියා පුද්ගලයන් දෙදෙනෙකි.

හසන් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වූයේත් අටාවුර් ක්‍රීඩා කරනු දැකීමෙනි. "හසන් එයාට අවුරුදු 05 සිටම මාත් සමඟ ක්‍රීඩා පිටිවලට ගියා. ඒ මම පුහුණුවීම්වලට යන විටයි. පසුව අවුරුදු 10 සිට ක්‍රීඩා කළා. කුඩා කාලේ සිටම ඔහුගේ හැකියාව මම දුටුවා." අටාවුර් පවසයි.

ඉන් අනතුරුව අටාවුර් ඔහුගේ ක්‍රිකට් පුහුණුකරු වූ අන්සාර් ෂෆාර් වෙතට තම සොහොයුරාව යොමු කළේය. අන්සාර්ගේ හිටපු ගෝලයන් අතර ඉම්රාන් නසීර් සහ බිල්වාල් භාටි යන ක්‍රිකට් තරු සිටියහ. "හසන් මා ළඟට එනවිට හය වැනි පංතියේ සිටියේ. මම ඔහුට පන්දු යවන්න කිව්වා. එහිදී ඔහුගේ දක්ෂතා දුටුවා. ඊට පසුව ඔහුව පුහුණුකරන්න කැමැති වුණා." අන්සාර් එසේ කියයි.

සිය සොහොයුරාගේ ක්‍රිකට් දිවිය සාර්ථක කර ගැනීමට අටාවුර් තවත් තීරණයක් ගත්තේය. එනම් ඔවුන්ගේ නිවසේම තණතිල්ලක් ඉදිකිරිමයි. "ඒක හැදුවේ සිමෙන්තිවලින්. එදා වගේම අදටත් මම එහි පුහුණුවීම් කරනවා. ඒ විතරක් නෙමේ. අසල්වාසින්ටත් නොමිලේම පුහුණුවීම් කරන්න අපි අවස්ථාව උදා කරලා දුන්නා." හසන් වැඩිදුරටත් පැවසීය.

මෙවර චැම්පියන්ස් කුසලාන තරගාවලියේදී හසන්ට හිමිවූ සම්මාන ද්විත්වයක්ම තම අයියාට පිරිනැමීමටත් හෙතෙම තීරණය කළේය. ඒ වැඩිම කඩුලු ගණනක් (13) දවා ගත් පන්දු යවන්නාට හිමි රන් පන්දුව සහ තරගයේ වීරයාට හිමි සම්මානයන්ය. "එංගලන්තයට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයේ වීරයාට හිමි සම්මානය විශේෂිත වුණා. ඒ පසුදින අටාවුර් අයියාගේ උපන් දිනය යෙදී තිබුණු නිසා." හසන් තවදුරටත් කීවේය.

කෙසේ වෙතත් මල්ලීගෙන් ලැබුණු ත්‍යාග භාර ගැනීමෙන් අයියා නතර වූයේ නැත. මල්ලීටත් විශේෂ තෑග්ගක් පිරිනැමීමට ඔහු තීරණය කළේය. ඒ මෝටර් රථයකි. මෙවර චැම්පියන්ස් කුසලාන තරගාවලියේදී කඩුලු 13 ක් දවා ගැනීම එහි වාර්තාව සම කිරීමකි. එනම් චැම්පියන්ස් කුසලාන තරගාවලියකදී වැඩිම කඩුලු ගණනක් දවා ගත් පන්දු යවන්නා වීමයි. මීට පෙර එහි තනි හිමිකරුවා වූයේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි ජෙරොම් ටේලර්ය.

මෙවර තරගාවලියේ පාකිස්තානය පරාජය වූයේ එක් තරගයකි. ඒ මුල් වටයේ දී ඉන්දියාව හමුවේය. එහිදී හසන් අසාර්ථක විය. ඒ ලකුණු 70 කට කඩුල්ලක් පමණක් දවා ගැනීමෙනි. නමුත් ඉතිරි තරග සතරේදී කඩුලු 03 බැගින් දවා ගැනීමට ඔහු සමත් විය.

හසන්ගේ ජාත්‍යන්තර තරග දිවියේ දී හිටපු පාකිස්තාන් පන්දු යවන්නන් දෙදෙනෙකුගෙන් ද විශාල සහායක් ලැබී තිබේ. ඒ පාකිස්තාන් පන්දු යැවීමේ හිටපු ජාතික පුහුණුකරු මොහොමඩ් අක්රම් සහ වත්මන් පුහුණුකරු අසාර් මහ්මුද්ය.

හසන් අලි 1994 වසරේ පෙබරවාරි මස 07 වැනිදා උපත ලැබීය. හෙතෙම දකුණත් පිතිකරුවෙකි. නමුත් ඔහුගේ ප්‍රධානතම කාර්යය දකුණතින් මද වේග පන්දු යැවීමයි. ජාත්‍යන්තර තරග වරම 2016 වසරේදීය. මේ වන විට ටෙස්ට් තරගයකදී කඩුලු 03, එක්දින ජාත්‍යන්තර තරග 21 කදී කඩුලු 42 ක් සහ පන්දු ඕවර 20 ජාත්‍යන්තර තරග 07 කදී කඩුලු 10 ක් ද දවා ගැනීමට ඔහු සමත් වී සිටියි.

ඔහුගේ ප්‍රියතම පන්දු යවන්නන් වන්නේ ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම වේග පන්දු යවන්නන් යුගලයක් වන පාකිස්තානයේ වසීම් අක්රම් සහ වකාර් යුනිස්ය. "මම ඔවුනගේ දක්ෂතා දුටුවා. මට ඕනෑ වී තිබෙන්නේ නිර්භීත මිනිසෙක් වගේම සිංහයෙක් වගේ ක්‍රීඩා කරන්නයි." හසන් පවසයි.

Comments