
ප්‍රශාන්ත ඇල්පිටිය
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි. සී. සී.) චැම්පියන්ස් කුසලාන 2017 තරගාවලියේ අවසන් මහා තරගයයි. ඒ ඉකුත් ජුනි මස 18 වැනිදාය. ඉන්දියාව සහ පාකිස්තානය අවසන් තරගයේදී තරග කළේය. ඒ ලන්ඩන් නුවර ද ඕවල් ක්‍රීඩාංගණයේදීය. තරගයේ ඉතා තීරණාත්මක මොහොත උදාවිය. ඉන්දියාවේ දකුණතින් මද වේග පන්දු යවන ජස්ප්‍රිට් බුම්රා පන්දුවක් එවීය. පාකිස්තාන වමත් ආරම්භක පිතිකරු ෆකාර් ෂමාන් ඊට පහරක් එල්ල කළේය. නමුත් එය උඩපන්දුවකි. කඩුලු රකින මහේන්ද්‍ර සිං දෝනි එය ඉතා සුරැකිව රැක ගත්තේය.
"මගේ උඩපන්දුව රැක ගත්තාම මගේ හදවත ගිලුණා. මම පුදුමයට පත් වුණා. සෙමින් සෙමින් මම ක්‍රීඩාගාරය බලා යන්නට ගියා. ඒ මගේ සේරම බලාපොරොත්තු සහ සිහින බිඳ වැටීමෙනුයි." ෂමාන් කියයි.
නමුත් ප්‍රධාන විනිසුරුවන් ඔහුට තවදුරටත් පිටියේම රැඳී සිටින ලෙසට දැන්විය. "විනිසුරුවන් මාව නතර කළාම මට නව බලාපොරොත්තුවක් ලැබුණා. එය හරියට නව ජීවිතයක් ලැබුණා වගේ. මෙය නිපන්දුවක් වුවහොත් අනිවාර්යයෙන්ම අද මගේ දවස වෙනවා. මම එහෙම හිතුවා." ෂමාන් තවදුරටත් කීවේය.
හුගේ සිතුවිල්ල නිවැරදි විය. බුම්රාගේ පන්දුව නිපන්දුවක් විය. ෂමාන්ට තවත් අවස්ථාවක් ලැබුණි. එය සැබවින්ම ඔහුගේ දවස විය. එය තමන්ගේම කර ගැනීමට ඔහුට හැකි වූයේය. අවසානයේදී හෙතෙම විශිෂ්ට එමෙන්ම වේගවත් ශතකයක් (114) රැස් කර ගැනීමට සමත් විය. ඊට පන්දු 106 කි. 4 පහර 12 කි. 6 පහර 3 කි. ඔහුගේ පිතිහරඹය නිසාම පාකිස්තානයට ප්‍රථම වරට චැම්පියන්ස් කුසලානය හිමිකර ගැනීමට හැකිවිය.
අවසන් තරගයේ වීරයා වූයේත් ෆකාර් ෂමාන්ය. එය වාර්තාගත ශතකයක් විය. එනම් පාකිස්තානය වෙනුවෙන් අයි. සී. සී. තරගාවලියක අවසන් තරගයේදී ශතකයක් රැස් කළ ප්‍රථමයා බවටත් 27 හැවිරිදි ෂමාන් පත් වූයේය. එමෙන්ම ඔහුගේ ක්‍රිකට් වීරයා වූ ඔස්ට්‍රේලියානු වමත් පිතිකරු ඇඩම් ගිල්ක්‍රිස්ට් සමඟ සම වීමට හැකිවුණි. 'ගිලී' 2007 ලෝක කුසලානය (ඕවර 50) ඔස්ට්‍රේලියාවට ලබා දීමට දායක වූයේ අවසන් තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව විශිෂ්ට ශතකයක් රැස්කරමින්ය.
ෆකාර් ෂමාන් 1990 වසරේ අප්‍රේල් මස 10 වැනිදා උපත ලැබුවේය. ඒ ක්හයිබර් පාක්හ්මුන්ක්හ්වා ප්‍රාන්තයේ මර්දාන් දිස්ත්‍රික්කයේ ඉතා දුෂ්කර කාට්ලාන්ග් ගමේය. මර්දාන් දිස්ත්‍රික්කයෙන් මීට පෙරත් ලෝප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයකු බිහි විය. ඒ මෑතකදී ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් යුනිස් ඛාන්ය.
බොහෝ පාකිස්තානු දරුවන් මෙන්ම ෂමාන්ගේ ද ප්‍රියතම ක්‍රීඩාව වූයේ ක්‍රිකට්ය. එනිසාම අවස්ථාවක් ලද විට ඔහු ක්‍රිකට් ක්‍රීඩා කළේය. නමුත් ඔහුගේ පවුලෙන් නම් ඊට සහාය ලැබුණේ නැත. "මම පුංචි කාලේ සිටම ක්‍රිකට් ක්‍රීඩාවට කැමතියි. ඒ නිසා නිතරම ක්‍රීඩා කළා. ඒ වුණත් මගේ ගෙදරින් නම් ඊට විරුද්ධ වුණා. විශේෂයෙන්ම මගේ පියා. ඔහුට අවශ්‍ය වුණේ මම අධ්‍යාපනයෙන් ඉදිරියට යනවා දකින්නයි. ඒ වුණාට මට ඕනෑ වුණේ ඇඩම් ගිල්ක්‍රිස්ට් වගේ ක්‍රීඩා කරන්නයි." ෂමාන් අද එසේ සිය මතකය අවදි කරයි.
ඔහුට වයස අවුරුදු 17 වන විට සිය පවුල ආර්ථික ගැටළු රැසකට මැදිවී තිබුණි. එම නිසා තම පවුල වෙනුවෙන් රැකියාවක් කිරීමට තීරණය කළේය. ඒ අනුව හෙතෙම නාවික හමුදාවට බැඳුණි. එහි වසර කිහිපයක්ම ඔහු සේවය කළේය. එසේ වුවත් ක්‍රිකට් ක්‍රීඩාවට ඔහු තුළ තිබූ ඇල්ම හෝ හැකියාව කිසිවිටකත් අඩු වූයේ නැත.
ඒ අනුව ඔහු නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළේය. එහිදී ඔහුගේ හැකියාව නාවික හමුදා ක්‍රිකට් ඇකඩමියේ පුහුණුකරු නෂීම් ඛාන් දුටුවේය. අනතුරුව ඔහු නාවික හමුදා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු අෂාම් ඛාන් වෙතට ෂමාන්ව යොමු කළේය. "ඔයාට ගැළපෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවයි. ඒ නිසා වෘත්තීයමය ක්‍රිකට් ක්‍රීඩා කරන්න." අෂාම් එසේ ෂමාන්ව දිරිමත් කළේය.
2013 වසරේදී ෂමාන් නාවික දිවියට සමු දුන්නේය. ඒ ක්‍රිකට් ක්‍රීඩකයකු වීමේ තම සිහිනය සැබෑ කරගැනීමටයි. ෆකාර් ෂමාන් පිළිබඳ බොහෝ දෙනා උනන්දු වූයේ ඔහු තරගාවලි දෙකකදී දැක්වූ දක්ෂතා නිසාය. කුවායිඩ් - ඊ - අෂාම් කුසලාන තරගාවලිය පාකිස්තාන් පළමු පෙළ තරගාවලිය වේ. 2016 - 17 තරගාවලියේදී ඔහු දක්ෂතා දැක්වූයේය.
මීට අමතරව 2016 පාකිස්තාන කුසලාන (එක්දින) තරගාවලියේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර දෙවැනි තැන ෂමාන්ට හිමිවිය. එහි මුල් තැන අහ්මඩ් ශේෂාඩ්ටය. ඔවුන් දෙදෙනාම ක්‍රීඩා කළේ ක්හයිබර් පාක්හ්ටුන්ක්හ්වා කණ්ඩායමටයි. එවර ශූරයෝ වූයේ ද ඔවුන්මය.
2017 වසරේ පාකිස්තාන් සුපර් ලීග් (ඕවර 20) තරගාවලියේ දී ෂමාන් ක්‍රීඩා කළේ ලාහෝර් ක්වාලන්ඩර්ස් කණ්ඩාමටයි. එහි නායකයා වූ නවසීලන්ත හිටපු නායක බ්‍රෙන්ඩන් මැක්කලම් ෂමාන්ගේ දක්ෂතා දැකීමෙන් විටින් විට උපදෙස් ලබා දුන්නේය.
මෙවර චැම්පියන්ස් කුසලාන ශූරයෝ වූ පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වූයේ දකුණු අප්‍රිකානු ජාතික මිකී ආතර්ය. ඔහු ලාහෝර් පුහුණු කඳවුරකදී ෂමාන්ගේ දක්ෂතා දුටුවේය. ෂමාන්ට ජාතික කණ්ඩායමට කැඳවීමක් ලැබිණි.
ඒ අනුව මෙම වසරේ මාර්තු මාසයේදී බටහිර ඉන්දිය කොදෙව් දූපත්ට එරෙහිව ෂමාන් පන්දු ඕවර 20 ජාත්‍යන්තර තරග වරම් ලැබීය. මෙවර චැම්පියන්ස් කුසලාන තරගාවලියේ පාකිස්තානය සහභාගි වූ මුල් වටයේ ප්‍රථම තරගය ඉන්දියාව සමඟ විය. ඊට ෂමාන් ක්‍රීඩා කළේ නැත. එම තරගයෙන් ඉන්දියාවට පහසු ජයකි.
දකුණු අප්‍රිකාව සමඟ පැවැති තරගයේදී ෂමාන් මංගල එක්දින ජාත්‍යන්තර තරග වරම ලැබීය. එහිදී ඔහුට ලකුණු 31 කි. පසුව ශ්‍රී ලංකාවට ලකුණු 50 කි. අවසන් පූර්ව තරගයේදී එංගලන්තයට එරෙහිව ලකුණු 57 කි. කෙසේ හෝ අවසන් මහා තරගය සිය දක්ෂතා මුළු ලොවටම පෙන්වීමට ඔහුට හැකි විය. නමුත් දැන් ඔහු ඉදිරියේ අභියෝගයක් ද තිබේ. එනම් ජාත්‍යන්තරව ස්ථාවර පිතිකරුවකු ලෙසට දිගු කාලයක් ක්‍රීඩා කිරීමයි.










