
හොඳ පුරුද්දක් ඇති කරගන්නවාට වඩා පහසුවෙන් අපි නරක පුරුදුවලට ඇබ්බැහි වෙනවා. සිරිත් මල්දමේ “වැඩක නොයෙදූ සිත – නරක අතටම පෙරළෙත” කියන්න වගේ කිසියම් වැඩක් නොකර කල්පනා කරමින් ඉඳිද්දී බොහෝ දෙනෙක් නියපොතු සැපීම, මුහුණ ඇල්ලීම, කොණ්ඩ ගස් හෝ රැවුල් ගස් ඇදීම, හිස කෙස් ඇදීම, හිස කැසීම වැනි දේ කරන්නට පුරුදු වෙලා ඉන්නවා. මේවා නරක පුරුදු ලෙස නම් කරන්න හේතුවක් වන්නේ ඒවා දැකීම ප්‍රිය උපදවනසුලු නොවීම පමණක් නොව සෞඛ්‍යමය අතින් ද හානිකර වීමයි. උදාහරණයක් වශයෙන් නියපොතු සැපීම නිසා රෝගබීජ ශරීර ගත වීමටත් මුහුණ අල්ලමින් සිටීම නිසා කුරුලෑ වැනි චර්ම රෝග මුහුණේ ඇති වෙන්නටත් පුළුවන්. ඉතින් නොදැනුවත්ව ම මේ දේවල් කරද්දී ළඟ ඉන්නා කෙනෙක් අපිට ඇඟිල්ලෙන් ඇනලා පෙන්වා දෙනවා වෙනුවට ඒ ගැන අපිට සිහි කැඳවීමක් එනවා නම් නරක පුරුද්දෙන් ඈත් වෙන්න උපකාරයක් ලැබෙනවා. අන්න ඒ කාරණයේදී අපේ පිහිටට එන්නේ Pavlok 2 නම් අත් පලඳනාව යි.
ඔබ දැනට ම භාවිත කරන ඔරලෝසු පටියේ ම හෝ පැව්ලොක් අත් පලඳනාව සමඟ ම ලැබෙන පටිය භාවිතා කරමින් එය පැලඳගන්නට පුළුවන්. ඉන්පසු බ්ලූටූත් හරහා එය ඔබේ දුරකථනයට සම්බන්ධ කර ගැනීමෙන් පසු එය භාවිත කරමින් ඔබට ලැබිය හැකි පහසුකම් ප්‍රමාණය අති විශාල යි. මේ පලඳනාවේ ඇති චලන සංවේදක නිසා ඔබේ ක්‍රියාකාරීත්වය හඳුනාගෙන එය වාර්තාගත කරගන්නටත්, ඔබේ හැසිරීමට අනුකූලව ක්‍රියාත්මක වන්නටත් ඊට හැකියාව ලැබෙනවා. බාහිරට දැනුම්දීම් ලබාදීම සඳහා ඒ සතුව ස්පීකරයක්, වයිබ්‍රේටරයක් සහ විද්‍යුත් ස්පන්ද ජනකයක් තිබෙන අතර වැඩි බලයකින් යුත් බ්ලූටූත් ග්‍රාහකය නිසා දුරකථනය ඈත තිබුණත් ඔබ සකසන ලද විධාන අනුව ක්‍රියාත්මක වීමේ හැකියාව ඊට තිබෙනවා.
මොන පුරුද්ද අපිට තිබුණත් උදේට නැගිටින පුරුද්ද නැති වුණොත් ඉස්කෝලෙන්, කාර්යාලයෙන් ලැබෙන්නේ රැවුම් ගෙරවුම් තමයි. ඒත් ඔබ පැව්ලොක් යෙදුම දුරකථනයේ ස්ථාපනය කර උදේ නැගිටින්නට අවශ්‍ය වේලාව සටහන් කළා ම සාමාන්‍ය එලාම් ඔරලෝසුවක් මෙන් හඬ නගන්නට පමණක් නොවෙයි, ඔබ සකසන ලද ක්‍රියාකාරකමක් සිදු කරන තුරුම වධ දෙන්නට එය සැදී පැහැදී සිටිනවා. අපි බොහෝ වේලාවට එලාම් එක වැදුණාම කරන්නේ ඒක ක්‍රියා විරහිත කරලා තවත් ටිකක් නිදා ගන්න එක යි. ඒත් ඇඳෙන් නැගිටලා එක තැන දිව්වොත් පමණක් ඔබේ එලාම් එක නවතිනවා නම්? පැව්ලොක් එක අන්න ඒ විධියට ඔබ ලබාදෙන චලනයක් සිදු කරන තුරුම නාද වන්නට, කම්පනය වන්නට හෝ අතට විදුලි ස්පන්දනයක් ලබා දෙන්න කටයුතු කරනවා. එනමුත් ඔබට තවමත් එය ටික වේලාවකට නවතාලන්නටත් හැකියි. මොකද, බල බලා ඉන්න හීනයේ හොඳ ම ටික යද්දී නැගිටින්න වෙන එක එච්චර ම හොඳ නැහැනේ. මෙහි තිබෙන විදුලි ස්පන්දකයත් ශරීරයට අහිතකර එකක් නොවෙයි. එය ඉතා සියුම් නමුත් සිහි කැඳවුමක් කළ හැකි තරම් ප්‍රමාණවත් විද්‍යුත් ස්පන්දනයක් ලබා දෙමින් ඔබේ අවධානය නතු කරගන්නවා.
මෙහි සැකසුම් හරහා ඔබට අවශ්‍ය පරිදි නරක පුරුදු කරන අවස්ථාවන්හිදී දැනුම් දීම සඳහා සකසා ගන්නට පුළුවන්. ඔබ නියපොතු හපනවා නම් එම ඉරියව්ව සිදු කරමින් ඒ ගැන අත් පලඳනාවට කියාදුන් විට ඔබ නැවත අමතකවී නියපොතු හපන්න සැරසුණොත් ඔබ සකසා තබන ආකාරය අනුව විදුලි ස්පන්දනයක් ලබා දෙමින් සිහි එළවා දෙන්නට පැව්ලොක් සමත් වෙනවා. එසේ ම ශරීර සුවතා පලඳනාවක් මිලදී ගැනීමට යන වියදම ද පැව්ලොක් නිසා නැතිව යන්නේ ඊට ඔබේ ශරීර සුවතා චලන පිළිබඳව සටහන් තබාගන්නට හැකිවන නිසා යි. ඒ හරහා ඔබ ඇවිදින පියවර ප්‍රමාණය, දුවන ප්‍රමාණය ආදිය වාර්තා ගත කොට දුරකථනයට ලබා දෙන නිසා දවස අවසානයේ සවිස්තරව ඔබේ දවස ගෙවුණු ආකාරය, තැබූ පියවර සංඛ්‍යාව, දහනය වුණු කැලරි ප්‍රමාණය ආදිය දැක බලාගත හැකි වෙනවා. ඊට අමතරව ඔබට කොතරම් ප්‍රමාණයක් සහ කොතරම් හොඳට නින්ද ලැබුණා ද යන්න එය සටහන් තබා ගන්නවා. මේ සියල්ල එකතුවෙන් සම්පූර්ණ ශරීර සුවතා වාර්තාවක් ලබා ගත හැකි නිසා වෙහෙසකාරී, පීඩාකාරී ජීවන රටාව සමඟ ඔබේ සෞඛ්‍යයත් හොඳින් පවත්වා ගන්නට හැකියාව ලැබෙනවා. මෙහි ඇති ඉලක්ක සැකසුම් ක්‍රමවේදය නිසා ව්‍යායාම් කළ යුතු ප්‍රමාණය සඳහා ඉලක්කයක් සකසා දිනපතා එයට ළඟාවීමටත්, ව්‍යායාම කළ යුතු බව ඔබට සිහි කැඳවා ගන්නටත් හැකියාව ලැබෙනවා.
මෙහි ඇති ප්‍රබල සිහි කැඳවුම් හැකියාව නිසා නරක පුරුදුවලින් දුරුවීමට මෙන් ම හොඳ පුරුදු ඇති කර ගැනීම සඳහා ද භාවිතා කළ හැකි බව නිෂ්පාදකයන් පවසනවා. ඔවුන් හඳුන්වාදී ඇති ‘Rise’ හෙවත් පිබිදීම ලෙස නම් කොට ඇති මෘදුකාංග ඒකකයක් දුරකථනයේ ඇප් එකට එක් කර ගැනීමෙන් පසු ඔබට කිසියම් පුරුදු රටාවකට වුවද පුහුණු වීම සඳහා එය යොදා ගත හැකියි. උදේට වේලාසනින් නැගිටීම, මුහුණ සේදීම, ශක්තිජනක පානයක් ලබා ගැනීම, ව්‍යායාම කිරීම වැනි ආකාරයේ චර්යා රටාවක් ඔබට අවශ්‍ය නම් ඊට සහාය වන්නට හැකියි. විශේෂයෙන් ඔබ රැකියාව මාරු කිරීමෙන් හෝ වෙනත් රටකට යෑම නිසා සිදු කරගත යුතු වන හදිසි චර්යා රටා වෙනස්කම් සඳහා දින පහක් වැනි සුළු කාලයක් තුළ වුව ද වෙනසක් කර ගැනීමට හැකිවන බව නිෂ්පාදකයන් අනුමාන කරනවා.
මෙතෙක් කල් උදේ නැගිටින්නට එලාම් හතක්-අටක් තබපු ක්‍රමය නවතලා, අතහැර ගන්නට බැරිව තිබුණු නරක පුරුදුත් නැති කරගෙන, ශරීර සුවතාවත් ලබාගන්නට හැකි මේ අපූරු උපාංගය ‘සිරිමත්‘ වගේ හොඳ ළමයෙක් වෙන්නට අවස්ථාව සලසා දෙමින් ලෝ වටා අත්වල දැවටෙන්නට දැන් සියලු කටයුතු සූදානම් කර හමාරයි. තැපැල් ගාස්තු රහිතව රුපියල් විසි දහසකට ආසන්න මුදලකට පෙර-ඇණවුම් සඳහා ලබාදී ඇති පැව්ලොක් 2 පලඳනාව මේ වසරේ සැප්තැම්බරයේදී වෙළෙඳපොළට පැමිණීමට නියමිත යි.
තඹරු විජේසේකර