අභ්‍යවකාශයේ සෙල්ෆි ගන්න අවස්ථාව දෙන ලොව දෙවැනියට විශාලතම යන්ත්‍රය අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය | Page 2 | සිළුමිණ

අභ්‍යවකාශයේ සෙල්ෆි ගන්න අවස්ථාව දෙන ලොව දෙවැනියට විශාලතම යන්ත්‍රය අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය

 දැනට ලෝකයේ ඇති මිනිසා විසින් නිෂ්පාදිත යන්ත්‍ර අතර දෙවැනියට විශාලතම යන්ත්‍රය වන්නේ අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුමයි. මිනිසාගේ තවත් පුදුම සහගත නිෂ්පාදනයක් ලෙස ද සැලකෙන මෙය පිහිටා ඇත්තේ පෘථිවියට සැතපුම් 200ක් එපිටින් ඈත අභ්‍යවකාශයේය.

මෙය ස්ථාපිත කර ඇත්තේ 1998 නොවැම්බර් මාසයේදීය. ඒ අමෙරිකා සහ රුසියා දෙරටේම සහයෝගීතාවෙනි.

මේ අභ්‍යවකාශ නැවතුමට මුළුමනින්ම බලය ලබා ගන්නේ සූර්යයාගෙනි. ඒ සඳහා අධිබලැති සූර්ය පැනල මෙහි සවි කර ඇති අතර, එහි බලයෙන් ක්‍රියාත්මක වන පරිගණක 52ක්ද මෙහි තිබේ. මෙහි නේවාසික වන අභ්‍යවකාශගාමීන්ට සියලු පහසුකම් හිමිවන අතර ඒ සඳහා වෙන් වූ නිදන කාමර පහක්ද මෙහි ඇතුළත් වේ. මීට අමතරව මෙහි වැඩි ඉඩක් වෙන් වන්නේ පර්යේෂණාගාර වෙනුවෙනි. සේවා කාලයෙන් පසුව විනෝදය සහ විවේකය ලැබීමට අවශ්‍ය නම් අභ්‍යවකාශයට ගොස් සෙල්ෆි ගැසීමේ අවස්ථාවද මෙහි සේවයට එක් වන අභ්‍යවකාශගාමීන්ට හිමි වේ.

සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ගොවිපොළක්ද මෙහි තිබේ. ඒ හේතුවෙන් මෙහි නේවාසික වන අභ්‍යවකාශගාමීන්ට නැවුම් එළවළු සහ පලතුරු ආහාරයට ගැනීමේ අවස්ථාවද හිමි වේ.

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වරකට නේවාසික විය හැකි උපරිම සංඛ්‍යාව 6කි. මේ ගෙවී යන මොහොත වන විට අභ්‍යවකාශගාමීන් තිදෙනෙකු එහි නේවාසික වී සිටිති. ආරම්භයේ සිට මේ දක්වා මෙහි නේවාසික වී සිටි සම්පූර්ණ අභ්‍යවකාශගාමීන් සංඛ්‍යාව 52කි.

මෙහි සම්පූර්ණ දිග මීටර් 72.8ක් වන අතර පළල මීටර් 108.5කි. උස මීටර් 20ක් වේ. සෙසු සෑම අභ්‍යවකාශ වස්තූන් මෙන්ම අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයද තම කක්ෂය වටා භ්‍රමණය වෙමින් පවතින අතර එක් භ්‍රමණ වාරයක් සඳහා මිනිත්තු 92.65ක් වැය වේ. ඒ අනුව දිනක කාලයක් තුළ අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය භ්‍රමණ වාර 15.54ක් සම්පූර්ණ කරයි. එහි භ්‍රමණ වේගය සැලකෙන්නේ පැයට කිලෝමීටර් 7.67ක් වශයෙනි.

පෘථිවියට ආසන්න අභ්‍යවකාශයේ පිහිටා ඇති බැවින් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය පියවි ඇසින් දැකීමට පවා හැකි වීම විශේෂත්වයකි. මෙහි නේවාසික වීම සඳහා අභ්‍යවකාශගාමීන් රැගෙන යෑම මෙන්ම අභ්‍යවකාශයේ සිට මිනිසුන් යළි පෘථිවියට රැගෙන ඒමද සිදු කරන්නේ අභ්‍යවකාශ යානා මගිනි. ඒ සඳහා අමෙරිකා සහ රුසියා යානා දෙවර්ගයම එකසේ යොදා ගනු ලැබේ.

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ විශේෂත්වය වන්නේ එහි ගෙවී යන සෑම මිනිත්තුවක්ම මිනිස් වර්ගයාගේ උන්නතිය අරමුණු කර ගනිමින් කෙරෙන පර්යේෂණ සඳහා වෙන් වීමය.

ටිරෝනි

Comments