
“අපට අවශ්‍ය වෙනවා අධික ලෙස ආහාර පරිභෝජනය සීමා කිරීමට සැපයුම හා මිල අතර තුලනයක් පවත්වාගැනීම සඳහා. මෙහිදී මම විශ්වාස කරනවා රටේ බහුතර වැඩ කරන ජනතාව මෙය පිළිපදී කියා...”
මේ දිනවල දැඩි ආහාර හිඟයකට මුහුණ පා ඇති වෙනිසියුලාවේ නායක නිකලස් මදුරෝ කළ ප්‍රකාශයකි ඉහත සඳහන් වන්නේ. හියුගෝ චාවේස් නමැති අසහාය නව වාමාංශික නායකයා තැනූ 21 වැනි සියවසේ සමාජවාදි දේශය අද වන විට ඉතා බිහිසුණු අර්බුදයක මුව විටට තල්ල වී තිබේ. ලතින් අමෙරිකාවේ වඩාත්ම සමෘද්ධිමත් රටක ලක්ෂණ පෙන්නුම් කළ වෙනිසියුලාව හියුගෝ චාවේස්ගේ අභාවයෙන් වසර 4ක් ගත වී ඇති අද වන විට අසමත් ගරාවැටුණු රටක තත්ත්වයට පත් වීමට මුල් වූ හේතුසාධක කවරේද?
ජනසම්මතවාදයෙන් අධිකාරිවාදයටත්, ඉනුදු නොනැවතී ඒකාධිපතිවාදයටත් ගමන්ගන්නා වෙනිසියුලාව දෙස දේශපාලනික විද්‍යාත්මක කෝණයෙන් හා අන්තර්ජාතික සබඳතා අධ්‍යයන විෂයපථයට අනුකූලව සලකා බලන විට මෙහිලා මූලික වශයෙන් අවබෝධ කරගත හැකි හේතුසාධක කිහිපයකි. පවතින ගෝලීය රටාවට අනුගත නොවන හා යථාර්ථවාදි මෙන්ම ධරණීය ස්වභාවයෙන් වියුක්ත වූ කෘත්‍රිම පාලන ක්‍රමවේදයක් කරා යොමු වීම හා පාලනයේ ස්වභාවය ගැන පවත්තා නායකත්වයට අවබෝධයක් නොතිබීම, රටට මූල්‍ය ප්‍රතිපාදන ලැබුණු ප්‍රධාන මාර්ගය අඩාළ වීම, සමස්ත රාජ්‍යය එක් ශක්තිමත් පෞද්ගලික චරිතාපදානයක් වටා කේන්ද්‍රගතව තිබීම හා ඒ නායක භූමිකාව අවසන් වූ පසු ශක්තිමත් අනුප්‍රාප්තිකත්වයක් නැති වීම හා ලතින් අමෙරිකාවේ රෝස රැල්ල හෙවත් නව වාමාංශික රැල්ලට එරෙහිව ගොනු වූ ප්‍රතිගාමි විදෙස් මැදිහත් වීම යන සාධක මෙහිලා පෙන්වා දිය හැකිය.
වෙනිසියුලාව යනු ලතින් අමෙරිකානු කලාපයේ ක්‍රමෝපායික අතින් වැදගත් ස්ථානයක පිහිටි රාජ්‍යයකි. වර්ගකිලෝමිටර 8,81050ක විශාලත්වයෙන් යුත් සියලු භූවිෂමතා හා ස්වාභාවික සම්පත් රැසකින් යුත් මේ රාජ්‍යය වර්තමානයේ ලොව ප්‍රසිද්ධියක් උසුලන්නේ මිහි මත තහවුරු කරනු ලැබූ විශාලතම තෙල් නිධි සහිත රට ලෙසයි. බොරතෙල් බැරල් බිලියන 297ක් - එනම්: බැරල් කෝටි 29700ක් - උකහාගත හැකි තෙල් බිම් වෙනිසියුලානු භූමියේ සැඟව තිබේ. ඒ ගෑස්, යපස් හා වටිනා ඛණිජවැලි යන සම්පත්වලට අමතරවයි.
මෙලෙස ලොව වැඩිම තෙල් සම්පත් සතු රටක් වුවද 1992 වන විට වෙනිසියුලාව පැවතියේ උග්‍ර ආර්ථික අර්බුදයකය. මේ අතර ලුතිනන් කර්නල් හියුගෝ චාවේස් ප්‍රමුඛ තරුණ හමුදා නිලධාරීහු පිරිසක් රටේ පාලන බලය අත්පත් කරගැනීම සඳහා කුමන්ත්‍රණයක් දියත් කළහ. අසාර්ථක වූ ඒ කුමන්ත්‍රණයෙන් පසු චාවේස්ට දෙවසරක් හිරබත් කෑමට සිදු වූ අතර, නිදහස ලැබූ ඔහු හමුදා නිලධාරියකුගේ භූමිකාවෙන් දේශපාලනඥයකුගේ භූමිකාවට පරිවර්තනය වූයේ පස්වැනි ජනරජය නම් පක්ෂයක්ද සමඟයි. 1998 ජනාධිපතිවරණයෙන් ජය ලබා වෙනිසියුලාවේ නායකත්වය හිමි කරගන්නා චාවේස් සැබැවින්ම පරිවර්තනීය හා පැහැදිලි දර්ශනයකින් යුත් නායකයෙක් විය. රටේ දිළිඳුකම පිටුදැකීම, ලතින් අමෙරිකාව තුළ සමාජවාදි පාලන තන්ත්‍රයන් ශක්තිමත් කිරීම, බොලිවාර් පිළිවෙත් අනුව යමින් ශක්තිමත් ලතින් අමෙරිකානු සහයෝගිතාවක් සඳහා කැප වීම හා ඛණිජතෙල් කර්මාන්තයෙන් ලැබෙන ප්‍රතිලාභ දිළිඳු ජනසමාජය වෙත යොමු කරලීම ඔහුගේ දේශපාලනික දර්ශනයේ මූලික අංග විය. 21 වැනි සියවසේ ආදර්ශවත් වාමාංශික රාජ්‍යය බවට වෙනිසියුලාව පත් කිරිම චාවේස්ගේ තේමාවයි. එමෙන්ම ලතින් අමෙරිකානු කලාපය තුළ ක්‍රියාත්මක වූ අමෙරිකානු බලපෑම් හා ඔත්තුසේවා ක්‍රියාකාරකම් සීමා කරගනිමින් විකල්ප ගෝලීය සහයෝගිතා ව්‍යාපාරයක් ලෙස ලතින් අමෙරිකාවේ සමාජවාදි රාජ්‍ය හවුල ශක්තිමත් කිරීමද එක් අරමුණක් විය. ඒ යුගයේ ලතින් අමෙරිකාව තුළ වාමාංශික ව්‍යාපාරයේ පිබිදීමක් විය. එය හැඳින්වුණේ ‘පින්ක් ටයිඩ්’ හෙවත් ‘රෝස රැල්ල’ යනුවෙනි. බ්‍රසීලයේ ලුලා ද සිල්වා, බොලිවියාවේ ඉවෝ මොරලේස්, ඉක්වදෝරයේ රෆායල් කොරයා, නිකරගුවාවේ ඩැනියෙල් ඔටේගා, චිලියේ මිෂෙල් බැෂලේ, ආජන්ටිනාවේ ක්‍රිස්ටිනා ෆර්නැන්ඩස් වැනි නායකනායිකාවෝ ඒ වාමාංශික පාලන රටාවේ හවුල් කරුවෝ වූහ. අමෙරිකා එක්සත් ජනපදය විසින් කොන් කර තිබුණු කියුබාවට මූලිකත්වය දෙමින් රෝස රැල්ල ලතින් අමෙරිකාව පුරා හමා ගියේය. ඊට මූල්‍යමය වශයෙන් දායක වූ ප්‍රබලම රට වෙනිසියුලාවයි. හියුගෝ චාවේස්ගේ වාසනාවට 1999-2012 පමණ වන තෙක් ලෝක තෙල් වෙළෙඳපොළේ පැවතියේ දැඩි අර්බුදයකි. ඒ නිසා ලෝක තෙල් මිල ඉහළ මට්ටමක පැවතිණි. වෙනිසියුලාවට අතිවිශාල ධනස්කන්ධයක් ගලා ආවේ ලෝක තෙල් වෙළෙඳාම මඟිනි. අමෙරිකානු සම්බාධකවලින් පීඩා විඳි කියුබාවට පිහිට වූයේද චාවේස්ය. ඒ වෙනුවට ඔහු කියුබානු වෛද්‍යවරුන්ගේ සේවය වෙනිසියුලාවට ලබාගත්තේය. ඛණිජතෙල් ආදායම ඍජුව යොමු වූයේ සමාජ සුබසාධන වැඩසටහන්වලටයි. 2006 වසර පමණ වන විට වෙනිසියුලාව ලතින් අමෙරිකාවේ වේගයෙන්ම වැඩෙන ආර්ථිකය බවට පත් විය. පරිභෝජන ආර්ථික රටාව ඉහළ මට්ටමක විය. 2006දී පමණක් ෆෝඩ් හා ජෙනරල් මෝටර්ස් සමාගම් වාහන තුන්ලක්ෂයක් වෙනිසියුලාවේ අලෙවි කර තිබිණි. එරට කොටස් වෙළෙඳපොළ කලාපයේ විශාලතම ප්‍රාග්ධන හුවමාරු මධ්‍යස්ථානයව පැවතිණි. ශක්තිමත් ආර්ථික රටාව හා ධනය නිසා හියුගෝ චාවේස් නිරතුරුව අමෙරිකාවට හා ඒ යුගයේ එරට ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ට දැඩි ලෙස පහර ගැසුවේය. 2006 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් චාවේස් ඊට පෙරදින සභාව ඇමතූ බුෂ් ගැන සිහිපත් කළේ “ඊයේ යක්ෂයා මෙහි ආවා. උගේ ගෙන්දගම් ගඳ මේ වේදිකාවෙන් තාමත් මට දැනෙනවා” යනුවෙනි.
චාවේස්ගේ පිළිවෙතේ ඔහු නුදුටු හෝ වුවමනාවෙන් නොසලකා හළ හෝ අනතුරුදායක පැත්තක්ද විය. මූලික වශයෙන් ඔහුගේ ජනසතුකරණ පිළිවෙත යටතේ විදෙස් ආයෝජන දුර්වල විය. රට රඳා පැවතියේ ආනයන මතයි. නිෂ්පාදන ක්ෂේත්‍රය චාවේස් යටතේ තවදුරටත් පිරිහී ගියේය. 1998දී 17000ක්ව පැවති කර්මාන්ත ශාලා සංඛ්‍යාව 2006 වන විට 8000 දක්වා පහත බැස තිබිණි. අතිශයන් සුබසාධක ආර්ථිකයක් ඔහු හඳුන්වා දී තිබිණි. චාවේස් යුගයේදී රට තුළ තෙල් මිල කොතරම් අඩු අගයක පවත්වා ගියේදැයි කිව හොත් අසල්වැසි රටවල වාහන දේශසීමාව හරහා වෙනිසියුලාවට පැමිණ ඉන්ධන පුරවාගෙන යෑමේ නිල නොවන පිළිවෙතක් විය. සමාජ සුබසාධන වැඩසටහන් සඳහා අධික ලෙස වැය කිරීම ප්‍රශ්නයක් නොවූයේ එවකට ලෝක තෙල් මිල ඉතා ඉහළ පැවති බැවිනි. චාවේස් වාසනාවන්ත වූ බැවින් ඔහු මිය යන තෙක්ම ඉහළ තෙල් ආදායමක් ලැබූ නිසා දිළින්දන්ගේ ගැලවුම්කරු ලෙස විරුදාවලි ලැබීමට ඔහුට හැකි විය. එහෙත් වත්මන් ලෝක ආර්ථික රටාවට නොගැළපෙන අතිශය සුබසාධන රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ කොයි මොහොතේ හෝ ආර්ථිකය අවදානමට ලක් වීමේ තර්ජනය වෙනිසියුලාව හමුවේ අදෘශ්‍යමාන ලෙස පැවතිණි.
පිළිකා රෝගයට දිගුකාලිනව ප්‍රතිකාර ගත් චාවේස් 2013 මැයි 5 වැනිදා මිය ගියේ ලතින් අමෙරිකාවේ තවත් ශක්තිමත් නායකත්වයක් හා එක් දේශපාලනික යුගයක් අවසන් කරමිනි. බොහෝ ශක්තිමත් නායකයන් මෙන්ම හියුගෝ චාවේස්ද ශක්තිමත් අනුප්‍රාප්තිකයකු සූදානම් කර තිබුණේ නැත. චාවේස්ගේද අරමුණ වූයේ ව්‍යවස්ථා වෙනස්කම් තුළින් තුන්වැනි ධුර කාලයක් සඳහා නායකත්වය දැරීමයි. ඔහුගේ ඇවෑමෙන් බලයට පත් නිකලස් මදුරෝ අත්දැකීම් හෝ නායකත්ව දැක්මක් සහිත දේශපාලනඥයෙක් නොවීය. ඔහු චාවේස්ගේ දැවැන්ත සෙවණැල්ල යට සිටි අයකු පමණක්ම විය. ඔහු දැනටද උත්සාහ දරන්නේ චාවේස්ගේ ප්‍රතිරූපයට මුවා වී තමන් ආරක්ෂා වීමටයි. තමා දැනටත් චාවේස්ගේ සොහොනේ නිඳාගන්නා බවත්, චාවේස් කුරුල්ලකුගේ වෙසින් පැමිණ රට ගොඩගන්නා හැටි තමන්ට කියන බවත් මදුරෝ වරින් වර කළ කතාවලදි සඳහන් කර තිබේ. චාවේස්ගේ මරණයෙන් පසු කෙටිකලකින් පැවති ජනාධිපතිවරණයෙන් මදුරෝ ඉතා සුළු ජයක් ලැබුවේ වෙනිසියුලානු ජනතාව ඔහුගේ නායකත්වය ගැන දක්වන සැකසහිත බව පතළ කරමිනි. මදුරෝ, චාවේස් මෙන් වාසනාවන්තයෙකුද නොවිය. ඉතා බරපතල ලෙස පහල ගිය ලෝක තෙල් මිල නිසා වෙනිසියුලාවේ ජාතික ආදායමට සිදු වූයේ බරපතළ හානියකි.
චාවේස්ගේ මරණයෙන් වසර 4ක් ඉක්මගිය තැන අද වන විට වෙනිසියුලාවට අත්ව ඇත්තේ කුමන ඉරණමක්ද? එරට ආර්ථික වර්ධන වේගය ඍණ 8කි. එනම් බරපතළ ආර්ථික පසුබෑමකි. මේ වසර තුළ එරට ආර්ථිකය සියයට 10කින් පහත බසිනු ඇතැයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල පෙන්වා දෙයි. නොනවත්වා මුදල් අච්චු ගැසීම නිසා උද්ධමනය 475%ක් දක්වා ඉහළ ගොස් තිබේ. චාවේස් සිටි යුගයේ ඩොලර් 100ක් වූ තෙල් බැරලයක මිල අද ඩොලර් 50කි. රටේ තෙල් කර්මාන්තය ප්‍රධාන ආදායම වුවද එහි නවිකරණයන් සිදු කර නිෂ්පාදන කාර්යාවලිය විධිමත් කිරීමට මදුරෝ රජය පියවර ගෙන නැත. ආයෝජකයන් පන්නා දමා ඇති නිසා රටට විදෙස් ආදායම් එන මං ඇහිරී තිබේ. මේ වන විට වෙනිසියුලාවේ විදෙස් වත්කම් සංචිත වටිනාකම ඩොලර් කෝටි 1150ක් දක්වා අඩු වී ඇති අතර, විදෙස් ණය පමණක් ඩොලර් කෝටි 1500 ඉක්මවා තිබේ. ණය ගෙවීම සඳහා රජය සතු රත් සංචිත ස්විට්සර්ලන්තය බලා යැවේ. චාවේස්ගේ යුගයේ විනිමය අනුපාත අනුව අමෙරිකානු ඩොලරයකට ගෙවිය යුතු බොලිවාර් මුදල 100ක් විය. අද වන විට ඩොලරයක් සඳහා බොලිවාර් 1125ක් ගෙවිය යුතුය. රට තුළ නිෂ්පාදන ක්‍රියාවලිය දුර්වල නිසා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සියල්ල ආනයනය කිරිමේ පිළිවෙත යටතේ මූල්‍ය සම්පත් අහිමි විම බරපතළ ගැටලු ඇති කරන්නකි. වෙනිසියුලාවේ ළඟම හිතවතා වන චීනය පවා දැන් එරටට ණය දීමට මැළි වන බව අන්තර්ජාතික මාධ්‍ය පවසයි.
මේ වන විට වෙනිසියුලාවේ සිවිල් අරගල හා උද්ඝෝෂණ ක්‍රියාත්මක වන්නේ ජනාධිපති මදුරෝට ඉවත්ව යන ලෙස දන්වමිනි. විපක්ෂ කණ්ඩායම් මෙහෙයවන උද්ඝෝෂණ ප්‍රචණ්ඩකාරි ස්වරූපයක් ගෙන ඇති අතර ජිවිත හානි පවා සිදු වී තිබේ. මදුරෝ හමුදා බලය යොදා උද්ඝෝෂණ මැඬලන අතරම ව්‍යවස්ථා සංශෝධනයක් මඟින් තම බලය තහවුරු කරගැනීමේ වෑයමක යෙදී සිටී. ජනතාවගෙන් ප්‍රතික්ෂේප වන බොහෝ නායකයන් කරන පරිදි මදුරෝද සටන්පාඨයක් යොදාගෙන තිබේ. ඒ දිවිහිමියෙන් බොලිවාර් විප්ලවය රැකගැනීමයි. එහෙත් එරට ජනතාව හමුවේ ඇත්තේ ඊට වඩා බරපතළ අවශ්‍යතාවකි. දිනෙන් දින, මුදල්, ආහාර හා සෙසු අත්‍යවශ්‍ය දුව්‍ය හිඟ වන තත්ත්වයක් යටතේ තම ජීවිකාව ඉදිරියට ගෙන යෑමයි. විප්ලවය සුරැකීමට පෙර ජීවිතය රැකගැනීමට ජනතාවට සිදුව තිබේ.
රටේ පාලනතන්ත්‍රයද බරපතළ ලෙස බෙදී තිබේ. විධායකය හා අධිකරණ එක් පසෙකත් ව්‍යවස්ථාදායකට එක් පසෙකත් සිටිමින් බල අරගලයක යෙදේ. වෙනිසියුලාව මුල් කරගනිමින් ලතින් අමෙරිකානු කලාපයද බෙදී ඇත. ඒ වෙනිසියුලා හිතවාදි හා අමෙරිකානු හිතවාදි වශයෙනි. ඉකුත් අඟහරුවාදා මෙක්සිකෝවේ කන්කුන් නගරයේදී අවසන් වූ ලතින් අමෙරිකානු ජාතින්ගේ සැසිවාරයේදී මේ බෙදීම හා සීතල යුද්ධය පැහැදිලිව දක්නට ලැබිණි.
වෙනිසියුලාව මුහුණ දෙන සියලු ගැටලුවලට මූලික හේතුව අමෙරිකානු කුමන්ත්‍රණ බව ජනාධිපති මදුරෝ පවසයි. ඉතිහාසයේ සිටම ලතින් අමෙරිකාව අමෙරිකානු පාලනතන්ත්‍රයේ හා සීඅයිඒ ඔත්තුසේවයේ දඩබිමකි. චිලියේ කුමන්ත්‍රණය හා ෆිදෙල් කස්ත්‍රෝ ඝාතන ප්‍රයත්නවල සිට චේගේ මරණය දක්වා සිදුවීම් ඊට කදිම උදාහරණ වේ. ලතින් අමෙරිකාවේ වාමාංශික රෝස රැල්ල අවසන් කිරීමට අමෙරිකාව සිය පූර්ණ ශක්තිය යොදවනු ඇතැයි යන්න රහසක් නොවේ. එහෙත් වඩාත් විශ්ලේෂණාත්මක ව බැලීමේදි පෙනී යන්නේ වෙනිසියුලාවේ ප්‍රශ්නවලට මුලික හේතුව අදූර්දර්ශි ආර්ථික සැලසුම්, දරාගත නොහැකි ආකාරයේ සුබසාධක වැඩසටහන් මෙන්ම ආර්ථික කළමනාකරණයකින් තොර වීම වැනි සාධක බව පැහැදිලි වේ. බාහිර බලවේගවලට රට හා පාලනය අස්ථාවර කළ හැකි වන්නේ අදාළ රට හා පාලනය විසින් සිදු කරනු ලබන වැරදි මත පදනම්ව බව ඉතිහාසය යළියළිත් අපට පසක් කර දෙන්නේය.
ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ