XXII ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය රටවල් 45ක සුපිරි තරු එක්වෙති | සිළුමිණ

XXII ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය රටවල් 45ක සුපිරි තරු එක්වෙති

ආසියාවේ සුපිරිතම මලල ක්‍රීඩා තරු තරගකරන 2017 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය ලබන ජුලි මස 06 සිට 09 දක්වා පැවැත්වේ. ඒ ඉන්දියාවේ භුබානෙස්වර් නුවරදීය. ඔඩිෂා ප්‍රාන්තයේ (ඔරිස්සා) කෝර්ඩා දිස්ත්‍රික්කයේ අගනුවර භුබානෙස්වර්ය. මෙම ශූරතාවලිය නරඹන්නන් 15,000 කට අසුන්ගත හැකි කාලිංග ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. මෙවර ශූරතාවලියට රටවල් 45 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800ක් පමණ සහභාගි වෙති.

එම පිරිසට ශ්‍රී ලංකාවත් අයත්ය. ආසියානු මලල ක්‍රීඩා සංගමය විසින් මෙම ශූරතාවලිය සංවිධානය කරනු ලබයි. ප්‍රථම වරට ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියක් පැවැත්වූයේ 1973 වසරේදීය. මෙවර පැවැත්වෙන්නේ 22 වැනි ශූරතාවලියයි. මෙවර ක්‍රීඩා සුරතලා වන්නේ ඔලීය. ඔලී නියෝජනය කරන්නේ ඔලිව් රිඩ්ලි මුහුදු කැස්බෑවාය. පැසිෆික් රිඩ්ලි මුහුදු කැස්බෑවා නමිනුත් ප්‍රචලිතය. ඔඩිෂා ප්‍රාන්තයේ වාසය කරන මෙම කැස්බෑවුන් වඳවීමේ තර්ජනයකට මුහුණ දී සිටිති.

මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය පැවැත්වීමට ඉන්දියාව තෝරා ගත්තේ ජහාර්ක්හාන්ඩ් ප්‍රාන්තයේ රාංචි අගනුවරය. එහෙත් එහිදී ශූරතාවලිය පැවැත්විම අසීරු වූ නිසා එම අවස්ථාව භුබානෙස්වර් නුවරට හිමි විය.

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ සාර්ථකම රටවල් ත්‍රිත්වය වනුයේ චීනය, ජපානය සහ ඉන්දියාවයි. වැඩිම රන් පදක්කම් හිමිකර ගත් රටවල් අතර ශ්‍රී ලංකාවට දසවැනි තැන හිමිය. එමෙන්ම එහි තරග වාර්තා තුනකටත් ශ්‍රී ලංකාව හිමිකම් කියයි. එහි හිමිකාරිත්වය සුගත් තිලකරත්න සහ දමයන්ති දර්ශාටය.

සුගත් පිරිමි මිටර් 400 තරග වාර්තාව වූ තත්පර 44.61 පිහිටු වූයේ 1998 වසරේදීය. දර්ශා මීටර් 200 සහ 400 වාර්තාධාරිණියයි. මින් කාන්තා මීටර් 200 කාලය තත්පර 22.84 කි. මීටර් 400 තත්පර 51.05 කි. මෙම ද්විත්ව වාර්තා ඇය පිහිටුවූයේ 2000 වසරේදීය.

කෙසේ වෙතත් 2015 වසරේ පැවැති ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට හිමිකර ගැනීමට හැකි වූයේ ලෝකඩ පදක්කමක් පමණකි. එය හිමිකර ගත්තේ කාන්තා මීටර් 800 තරගයේදී නිමාලි ලියනආරච්චිය. එවර සමස්ත ප්‍රතිඵලයට අනුව ශ්‍රී ලංකාවට සම 16 වැනි තැන හිමිවිය.

ආසියානු මලල ක්‍රීඩා

ශූරතාවලි ඉතිහාසය

 

වසර පැවැති රට නගරය

1973 පිලිපීනය මරිකිනා

1975 දකුණු කොරියාව සෝල්

1979 ජපානය ටෝකියෝ

1981 ජපානය ටෝකියෝ

1983 කුවේට් කුවේට් සිටි

1985 ඉන්දුනීසියාව ජකර්තා

1987 සිංගප්පූරුව සිංගප්පූරුව

1989 ඉන්දියාව නවදිල්ලිය

1991 මලයාසියාව ක්වාලාලම්පූර්

1993 පිලිපීනය මැනිලා

1995 ඉන්දුනීසියාව ජකර්තා

1998 ජපානය ෆුකෝකා

2000 ඉන්දුනීසියාව ජකර්තා

2002 ශ්‍රී ලංකාව කොළඹ

2003 පිලිපීනය මැනිලා

2005 දකුණු කොරියාව ඉන්චියොන්

2007 ජෝර්දානය අම්මාන්

2009 චීනය ගුවන්ග්ෂොයු

2011 ජපානය කෝබේ

2013 ඉන්දියාව පූනේ

2015 චීනය වුහාන්

 

 

පැරණිතම වාර්තා

පිරිමි

චෙන් යැන්පින්ග් (චීනය) තුන්පිම්ම - මීටර් 17.22 (1991)

කිම් සුන් හියුන්ග් (දකුණු කොරියාව) - මී. 1500 විනාඩි 3:38.60 (1993)

ග්‍රි ගොරි යෙගොරොව් (කසක්ස්තානය) රිටි පැනීම - මීටර් 5.70 (1993)

 

කාන්තා

හුවාන්ග් ෂිහොන්ග් (චීනය) යගුලිය විසි කිරීම - මී. 19.69 (1989)

ගඩා ෂෝවා (සිරියාව) - සත්ප්‍රයාම - ලකුණු 6259 (1993)

 

 

 

සමස්ත දස්කම්

 

රට රන් රිදී ලෝකඩ එකතුව

1. චීනය 300 197 109 606

2. ජපානය 151 186 203 540

3. ඉන්දියාව 74 96 12 282

4. කටාර් 61 32 37 130

5. කසක්ස්තානය 29 30 40 99

6. සවුදි අරාබිය 28 21 09 58

7. දකුණු කොරියාව 25 57 63 135

8. තායිලන්තය 22 28 22 72

9. බහරේන් 21 20 12 53

10. ශ්‍රී ලංකාව 18 13 19 50

 

 

Comments