Champions පාකිස්තාන් | සිළුමිණ

Champions පාකිස්තාන්

ප්‍රථම වරට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි. සී. සී.) චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට පාකිස්තානය සමත් විය. ඒ එංගලන්තයේ ලන්ඩන් නුවර ද ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති මෙවර අවසන් මහා තරගයේදී ප්‍රබල ඉන්දියාව ලකුණු 180 කින් පරාජය කරමින්ය.

එය අයි. සී. සී. ප්‍රධාන එක්දින ජාත්‍යන්තර තරගාවලියක අවසන් තරගයකදී කණ්ඩායමක් ලකුණු අනුව ලැබූ විශාලතම ජයග්‍රහණයත් වූයේය. ඊට පෙර 2003 එක්දින ජාත්‍යන්තර ලෝක කුසලාන අවසන් මහා තරගය ඔස්ට්‍රේලියාව ජය ගෙන තිබුණේ ලකුණු 125 කිනි. එවර අනුශූරයන් වූයෙත් ඉන්දියාවයි.

පාකිස්තානය මෙවර අවසන් තරගයේදී ලකුණු 338 ක් රැස් කර ගත්තේය. එයත් ජාතික වාර්තාවකි. එනම් එක්දින ජාත්‍යන්තර තරගාවලියක අවසන් මහා තරගයකදි ඔවුන් රැස්කරගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වීමය. ඊට පෙර 2008 වසරේදී බංග්ලාදේශයේ පැවැති කිට්ප්ලයි කුසලාන තරගාවලියේ අවසන් තරගයේදී ඔවුන් ඉන්දියාවටම එරෙහිව ලකුණු 315 ක් රැස් කර ගෙන තිබුණි.

තරගයේ කාසිය වාසිය ඉන්දියාවටයි. අවසන් තරගයේ වීරයා වූයේ 27 හැවිරිදි වමත් ආරම්භක පිතිකරු ෂමාන්ය. හෙතෙම මංගල එක්දින ජාත්‍යන්තර තරග වරම ලැබුවේත් මෙම තරගාවලියේදීය.

ඉන්දීය දකුණත් පිතිකරු හාර්ඩික් පාන්ඩ්යා මෙම අවසන් තරගයේදී අයි. සී. සී. තරගාවලියක අවසන් තරගයකදී වේගවත්ම අර්ධ ශතකය (පන්දු 32) රැස් කිරීමට සමත් විය. ඊට පෙර වාර්තාව පන්දු 33 කදී රැස් කළ ඔස්ට්‍රේලියාවේ ඇඩම් ගිල්ක්‍රිස්ට්හටය. ඒ 1999 ලෝක කුසලාන අවසන් තරගයේදීය. එවරත් ප්‍රතිවාදීන් පාකිස්තානයයි.

තරගාවලියේ වීරයා වූයේත් පාකිස්තානයේම හසන් අලිය. 23 හැවිරිදි අලි දකුණතින් මද වේග පන්දු යවමින් කඩුලු 13 ක් දවා ගන්නා ලදී. එහි සාමාන්‍යය 13.69 කි. මෙවර තරගාවලියේ වැඩිම කඩුලුලාභි පන්දු යවන්නා වූයේද ඔහුමය.

මෙවර වැඩිම ලකුණුලාභි පිතිකරුවා වූයේ ඉන්දියාවේ ශිකර් දවාන්ය. වමත් ආරම්භක පිතිකරුවෙකු වූ දවාන්ට ලකුණු 338 කි. එහි සාමාන්‍යය 67.60 කි.

පාකිස්තානය 338 - 4 (ඕවර 50)

ෆකාර් ෂමාන් 114 (පන්දු 106, 4 පහර 12, 6 පහර 3), අසාර් අලි 59, බාබර් අෂාම් 46, මොහොමඩ් හෆීස් නොදැවී 57 (පන්දු 37, 4 පහර 4, 6 පහර 3), භුව්නෙෂ්වර් කුමාර් 44 - 1, කේදාර් යාදෙව් 27 -1, හාර්ඩික් පන්ඩ්යා 53 - 1.

ඉන්දියාව 158 (ඕවර 30.3)

පන්ඩ්යා 76 (පන්දු 43, 4 පහර 4, 6 පහර 6), ශිකර් දවාන් 21, යුවරාජ් සිං 22. මොහොමඩ් අමිර් 16 - 3, හසන් අලි 19 - 3.

Comments