
ශ්‍රී ලංකා මලල ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ට උපතින් ගෙනා හැකියාවක් තිබෙන බවත්, එම හැකියාවන් වැඩිදුරටත් දියුණු කරගැනීම සඳහා ක්‍රමයක් සැකසීම සැම දෙනාගේම යුතුකම බව යහපාලන රජයේම හිටපු ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතා ප්‍රකාශ කළේ මීට කලකට පෙරය. නවීන් දිසානායක ඇමැතිවරයා අමාත්‍යධූරයෙන් යන විටත් තමා ප්‍රකාශකළ දෙයට අත්තිවාරමක් හෝ නොදැමූ අතර, ඒ නිසාම ගැල ගමන් කරන්නේ පෙර මාර්ගයේම බව අදටත් සක්සුදක්සේ පැහැදිලිය.
අප පවා නිරන්තරයෙන්ම පෙන්වා දෙන්නේ ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ගේ කැපවීම - උනන්දුව සහ උත්සාහය මත යම් යම් ජයග්‍රහණයන් අත්පත් කර ගන්නා නමුත් ඊට වඩා දෙයක් කිරීමට තරම් ලාංකේය ක්‍රීඩා යාන්ත්‍රණය අබලන් වී ඇති බවයි. ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක සිය පංචස්කන්ධය උපරිම දුෂ්කරතාවයන්ට පත් කර ගනිමින් වළිකන්නේ එකී ශරීර කූඩුව තුළ වර්ධනය වන්නා වූ හැකියාව මෙකී කොදෙව්වෙන් ජාත්‍යන්තරයට ගෙන යාමටය. ජාත්‍යන්තර තලයේදී එකී දක්ෂතා උරගා බලන්නටය. එකී උත්සාහයට රටක් විදියට අප බලධාරින් ලබා දෙන්නා වූ දායකත්වය පිළිබඳ බලධාරීන්ට හෝ සතුටු විය හැකිදැයි නොදනිමු.
දියගම ක්‍රීඩාංගණය දිය වී ගොස් බොහෝ කල්ය. සුගතදාස ක්‍රීඩාංගණයේ නව ධාවන පථය එළා වසර දෙකකින් එය විනාශ වී අවසන්ය. ක්‍රීඩා පාවහන් පැලැඳ ක්‍රීඩා කිරීමට අපහසු වළ ගොඩැලි සහිත ධාවන පථවල තම දෙපා බැන්ඩේජ් පටි වෙලාගෙන තරග කරන ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ගෙන් ආසියානු පදක්කම් තියා දකුණු ආසියානු පදක්කම් ගැන පවා සිහින දකින්නේ කෙසේද?
ඩන්කන් වයිට්ට පසු සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් පදක්කම දිනා ගන්නා විට, ක්‍රීඩාංගණ පහසුකම් පමණක් නොව අනිකුත් පහසුකම්වලින් ද අඩුවක් නොවූ බව රහසක් නොවේ. අද ඒ සියල්ල අංශක තුන්සිය හැටකින්ම කරණම් ගසා ඇති බව අමතක කළ යුතු නොවේ.
රට වටේ ක්‍රීඩාංගණ ඉදි කිරීමට හිටපු බොහෝ ඇමැතිවරු උනන්දු වූවා මිසක දියගම හෝ සුගතදාස ක්‍රීඩාංගණ ගැන අවධානයක් යොමු කිරීමටත් කාලයක් ඒ බොහෝ දෙනකුට තිබුණේ දැයි සැක සහිතය. දියගම සහ සුගතදාස ක්‍රීඩාපිටි පාසල් දරුවකුටවත් සුදුසු නොවේ නම් අපට මොන සාග්ද? ආසියානුද? හෝ ඔලිම්පික් දැයි ක්‍රීඩක ක්‍රීඩිකාවන් අසනා පැනය අප ඇසිය යුත්තේ කාගෙන්දැයි නොදනිමු.










