ආසියානු ශූරතා මලල තරගාවලිය ශ්‍රී ලංකාව බලාපොරොත්තු අතර... | සිළුමිණ

ආසියානු ශූරතා මලල තරගාවලිය ශ්‍රී ලංකාව බලාපොරොත්තු අතර...

විසිදෙවැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා 23 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්ව සිටිති. මේ ගෙවෙන මොහොතේ ලාංකේය මලල ක්‍රීඩා භූමියේ දස්කම් අතර සිටින මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආසියානු ශූරතාවලියේ දක්වන දක්ෂතා මත ලාංකේය මලල ක්‍රීඩාවේ හෙට දවස තීරණය කරගැනීමටද මහඟු රුකුලක් වනු ඇත.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට මුලින් ක්‍රීඩිකාවන් හත් දෙනකු සහ ක්‍රීඩකයන් 15 දෙනකු වශයෙන් 22 ක් ඇතුළත් වූ අතර උස පැනීමේ ශූරියක වන දුලාංජලී රණසිංහ ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියෙන් අවසන් මොහොතේ කණ්ඩායමට ඇතුළත් වූවාය. පිරිමි සහාය ඉසව් දෙකක් සමග ශ්‍රී ලංකා ක්‍රීඩක - ක්‍රීඩිකාවෝ කේවල ඉසව් 16 ක් නියෝජනය කරමින් ඕඩිෂාහි පැවැත්වෙන විසි දෙවැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට තරග කරති.

මීටර් 100 කාන්තා සහ පිරිමි, උස පැනීම පිරිමි සහ මීටර් 800 කාන්තා ඉසව් පිළිබඳ ශ්‍රී ලංකාව වැඩි බලාපොරොත්තු තබා ගෙන සිටියි. මීටර් 100 පිරිමි ඉසව්ව නියෝජනය කරන හිමාෂ ඒෂාන් සහ විනෝද් සුරංජය, කාන්තා මීටර් 100 ඉසව්ව නියෝජනය කරන රුමේෂිකා කුමාරි රත්නායක, මීටර් 800 කාන්තා ඉසව්වේ පසුගිය ලෝකඩ පදක්කම් ලාභිනි නිමාලි ලියනආරච්චි මෙන්ම ගයන්තිකා අබේරත්න මෙන්ම, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන උස පැනීමේ ශූර මංජුල කුමාර විජේසේකර කෙරෙහි වැඩි බලාපොරොත්තු තබා තිබේ.

ශ්‍රී ලංකාව ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ පළමු පදක්කම දිනා ගත්තේ 1975 දකුණු කොරියාවේ පැවැති දෙවැනි තරගාවලියේදීය. එහිදී මීටර් 400ය4 සහාය දිවීමේ පිරිමි තරගයේදී ලෝකඩ පදක්කම දිනා ගෙන තිබේ.

1995 ජකාර්තාහි පැවැති 11 වැනි තරගාවලියේදී සුසන්තිකා ජයසිංහ මීටර් 200 සහ ශ්‍රියානි කුලවංශ මීටර් 100 කඩුලු තරණ ඉසව්වල රන් පදක්කම් දිනා ගෙන මෙකී තරගාවලියේ ලාංකේය මුල්ම රන් පදක්කම්ලාභීන් වී තිබේ. අවසන් වරට 2015 චීනයේ පැවැති විසි එක්වැනි තරගාවලියේදී නිමාලි ලියනආරච්චි මීටර් 800 ඉසව්ව විනාඩි 2:03.94 කින් නිම කරමින් ලෝකඩ පදක්කම දිනා ගෙන තිබේ. අවසන් වරට ශ්‍රී ලංකාව මෙකී ශූරතාවලියේ රන් පදක්කමක් දිනා ගෙන තිබෙන්නේ 2009 චීනයේදීය. එහිදී මංජුල කුමාර විජේසේකර උස පැනීමේ ඉසව්වේ මීටර් 2.23 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් රන් පදක්කම දිනා ගෙන තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම

මංජුල කුමාර විජේසේකර - උස පැනීම, හිමාෂ ඒෂාන් - මීටර් 100 - 100ය4, විනෝද් සුරංජය - මීටර් 100 - 200 - 100ය4, අජිත් ප්‍රේම කුමාර - මීටර් 400 400ය4, දුලිප් රුවන් මීටර් - 400, 400ය4, ඉඳුනිල් හේරත් - මීටර් 800, දිනුක ලියනපතිරණ - දුර පැනීම, සංජය ජයසිංහ - තුන් පිම්ම, වරුණ ලක්ෂාන් - හෙල්ල විසිකිරීම, මොහොමඩ් අශ්රෆ්, මොහොමඩ් සෆ්රාන් - මීටර් 100ය4, ජී. ධනංජය, ප්‍රදීප් කුමාර සහ කාලිංග කුමාරගේ - මීටර් 400ය4, රුමේෂිකා කුමාරි රත්නායක - මීටර් 100 - 200, එන්. මධුෂිකා - මීටර් 400, ගයන්තිකා අබේරත්න, නිමාලි ලියනආරච්චි - මීටර් 800, නිලානි රත්නායක - මීටර් 3000 බාධක, විදුෂා ලක්ෂානි - තුන් පිම්ම සහ දිල්හානි ලේකම්ගේ හෙල්ල විසි කිරීම.

 

 

Comments