අතීතයේ කාපු කට්ට ආශිර්වාදයක් කරගත්තා -මංජුල කුමාර විජේසේකර | Page 2 | සිළුමිණ

අතීතයේ කාපු කට්ට ආශිර්වාදයක් කරගත්තා -මංජුල කුමාර විජේසේකර

 

 

විසි දෙවැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය උස පැනීමේ ශූර මංජුල කුමාර විජේසේකරට හිමිව තිබේ.

මොරවක ගැන මොනවගේ මතකයක්ද තියෙන්නේ?

සුන්දර මතකයක් තියෙන්නේ. මම ජීවිතේ පටන් ගත්තේ මොරවක අතුවල කියන සුන්දර ගම් පියසෙන්. ජීවිතය හුඟක් දුෂ්කර වුණා. අපහසුතා මැද හෙමින් හෙමින් ඔලුව උස්ස ගත්තා. ආපහු හැරිලා බලද්දී, අර අතීතයේ කාපු කට්ට එහෙම පිටින්ම ආශිර්වාදයක් කර ගෙන ආපු ගමනක් කියලා හිතෙනවා.

මොරවක ජීවත් වෙනකොට තිබුණු හීන මොනවද?

එහෙම මහා ලොකු හීන තිබුණේ නෑ. දුප්පත් පවුලක ආර්ථික අතින් අන්තිම අඩියේ හිටියේ. ආර්ථිකයෙන් අපි උපරිමයෙන්ම බැට කාලා තියෙනවා. මේ නිසාම ලොකු බලාපොරොත්තු හීන තිබුණේ නෑ.

ගමේ පරිසරයේ තිබුණු හෙල් කඳු පල්ලම්වල දුවලම තමයි මේකට හුරු වුණේ. ඒකම මට පන්නරයක් වෙන්න ඇති කියලා හිතනවා.

ඔබේ පවුල් පසුබිම කොහොමද?

මගේ අම්මා 2011 දී පිළිකාවකින් නැති වුණා. තාත්තයි, අයියයි, අක්කයි. අයියයි අක්කයි දෙන්නම බැඳලා. අම්මා නැති වුණාට පස්සේ අක්කා එක්ක තියෙන බැඳීම ගොඩක් වැඩි වුණා. පවුලක් විදියට ගත්තොත් මහන්සියෙන් වැඩ කරන අය. ආර්ථික අතින් දුප්පත් වුණාට හරිම ධෛර්යවන්තයි. දුක් මහන්සියෙන් ම ජීවිත ගොඩ නඟා ගන්න උත්සහ කරනවා. හොඳ විදියට සමාජයේ ජීවත් වෙන්න උපරිමයෙන්ම මහන්සි වෙනවා.

ඔබ කුඩා කාලයේදීම ගෙදරින් දුරස් වෙනවා?

ඔව්. ඒ මම අට වසරේ ඉගෙන ගන්නකොට. දික්වැල්ල විජිත ම. ම. විද්‍යාලයෙන් ශිෂ්‍යත්වයක් හම්බ වෙලා අට වසරේ ඉඳලා නේවාසිකව තමයි ඉගෙන ගත්තේ.

මාපියන්ගෙන්, පවුලේ අයගෙන්, ගුරුවරුන්ගෙන් මිදිලා කොළඹට එනකොට දැනුණ වෙනස?

මට එහේම ලොකු වෙනසක් දැනුණේ නෑ. අට වසරේදි ගෙදරින් වෙන්වෙන්නේ. ඒ නිසාම කොළඹට එනකොට මහා ලොකු වෙනසක් දැනුණේ නෑ. ගෙදරින් - ගුරුවරුන් ගෙන් ලැබෙන්න ඕන සහයෝගය ලැබුණා.

ඔබ කොළඹ එනවා. ඒ එක්කම වගේ අමෙරිකාවට යන්න ලැබෙනවා. මේවා ඔබට දැනුණේ කොහොමද?

මගේ මුල් කාලය එක්ක ගනිද්දී නම් මේවා ඉතින් හීන තමයි. මගේ උස පැනීමේ පුහුණුවටයි, අධ්‍යාපනයටයි තමයි දකුණු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් අවුරුදු හතරක ශිෂ්‍යත්වයක් ලැබෙනවා. 2004 දෙසැම්බර් මාසේ තමයි ඇමෙරිකාවට ගියේ.

බහු වාර්ගික - බහු සංස්කෘතික ජීවිතත් එක් ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගෙන ක්‍රීඩාවෙනුත් ඉදිරියට එනවා?

ඔව්. 2010 දී ආර්ථික විද්‍යා උපාධිය ලබා ගත්තා. මගේ ක්‍රීඩා පුහුණුවීම් පවා මම හරියට කර ගෙන ගියා. මගේම අවාසනාවට වගේ තමයි ආබාධයකට ගොදුරු වුණේ. 2004 - 05 දී මම උපරිමයට ආවා. ඔය අතරේ තමයි මම 2006 දී වළලු කර ආබාධයට ලක් වුණේ. ඒකත් සුව කර ගෙන තමයි 2008 දි ආසියානු පදක්කමක් දිනා ගත්තේ.

ඔබ ක්‍රීඩකයකු විදියට සතුටු වෙනවාද?

මගේ ජයග්‍රහණ ගැන සතුටු වෙනවා. ඔලිම්පික් නියෝජනය කරන්න පුළුවන් වුණා. ආසියානු රන් පදක්කම් දෙකක් 2005 සහ 2009 දිනා ගන්න පුළුවන් වුණා. දකුණු ආසියානු රන් පදක්කම් තුනක් දිනා ගත්තා. සාග් වාර්තාවත් එක්ක.

අද ඉන්න තැන ඉඳලා හැරිලා බලනකොට ලොකු සතුටක් දැනෙනවා. මම සියයට සියයක්ම මේ වෙනුවෙන් කැප වෙලා තියෙනවා. ඒ එක්කම අපිට ලැබෙන්න ඕනා තැන ලැබුණේ නෑ කියන හැඟීමකුත් එක්ක පොඩි කලකිරීමකුත් නැතුවමත් නෙවෙයි.

කලකිරීමට හේතු?

මම අවුරුදු 10 දි විතර ක්‍රීඩාව පටන් අරගෙන අවුරුදු 17 දි විතර ජාතික තලයට එනවා. එතැන ඉඳලා අද මට අවුරුදු 33 යි. අදත් ජාතික ශූරයා. මේ අතර අපිට නොලැබුණු දේවල් ගොඩක් තියෙනවා. ළඟදීම මේ තත්ත්වය වෙනස් වෙයි කියලා හිතනවා.

ඔබේ අත්දැකීම් එක්ක මේ වෙනස ආරම්භ වෙන්න ඕනා කොතැනින්ද?

2000 දශකය ආරම්භයත් එක්ක අපිට හැම පහසුකමක්ම උපරිමයෙන්ම ලැබුණු කාලයක් තිබුණා. හැබැයි මේ හැම සහයෝගයක්ම ක්‍රම ක්‍රමයෙන් කප්පාදු වුණා.

ඔබ කියන්නේ දැනට ලැබෙන සහාය මදි?

ඔව්. දැනට ලැබෙන සහයෝගය කොතැනකදි හරි අපිටත් හිතාගන්න බැරි විදියට කඩාගෙන වැටුණා. මේ නිසා ක්‍රීඩාවට එන නවකයන්ගේ පවා අඩුවක් තියෙන්නේ. අපි දිහා බලාගෙන තමයි අනාගතයේ හරි ක්‍රීඩකයන් මේ ක්ෂේත්‍රයට එන්නේ. අපිට පවා කේෂේත්‍රය ගැන ආසාවක් ආදරයක් ඇති වෙන්නේ සුසන්තිකාලා, දර්ශලා, සුගත්ලා දිහා බලලා.

අද අපි දිහා බලලා ක්‍රීඩාවෙන් අනාගතයක් හදා ගන්න හුඟක් අය බයයි. අපිට හැදෙන්න කට්ටියක් හිටියා. අද අපි දිහා බලලා, අලුත් කට්ටියක් හැදෙයිද කියන ප්‍රශ්නයක් තියෙනවා. මේ ෆීල්ඩ් එක ෂුවර් නැති වෙලා තියෙන්නේ. අවිනිශ්චිතයි. අද අපිට සුසන්තිකාලා වගේ ගොඩනැඟුණ පරිසරයක් නෑ. එන අය පවා හුඟක් හිතලා බලලා අතලොස්සයි මේ ක්ෂේත්‍රයට එන්නේ. අධ්‍යාපනය අතහැරලා හරි, අධ්‍යාපනය කරන ගමන් හරි මේ ෆීල්ඩ් එකට එන්න හුඟක් අය බයයි. අද ඔවුන්ට තියෙන්නේ අනාගතය ගැන බයක්. ක්‍රීඩා අමාත්‍යවරයා, ජනාධිපතිවරයා - අගමැතිවරයා මුල්වෙලා මේ ක්‍රමය වෙනස් කරයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා.

ඔබේ ඉසව්වේ ජාත්‍යන්තර අත්දැකීම් දිහා ඔබ හැරී බලන්නේ කොහොමද?

මම බලාපොරොත්තු වූ ජයග්‍රහණ එහෙම පිටින්ම ලබා ගන්න බැරි වුණා කියන හැඟීමක් තියෙනවා. හැබැයි දැනට දිනා ගෙන තියෙන පදක්කම් ගැන සතුටු වෙනවා.

2004 දි මීටර් 2.20 පනින්නේ, 2015 දිත් මම 2.23 ක දක්ෂතාවක් පෙන්නනවා. මේ දක්ෂතාව කිහිප වරක්ම පෙන්නුවත් හුඟ දෙනෙක් හෑල්ලුවට ලක් කරනවා. පදක්කම් නෑ කියලා. මේ මීටර් 2.20 ක දක්ෂතාවය නිසා තමයි අදටත් උස පැනීමේ දෙවැනි පෙළක් හැදිලා තියෙන්නේ. මම මෙතැනින් ගියාම හරි මේ උස මීටර් 2.20 - 25 නවතින්නේ නැතුව ඉදිරියට යන්න ඕනා. ඒ යන ගමන ආසියානු, පොදු රාජ්‍ය මණ්ඩලීය, ලෝක ශූරතා, ඔලිම්පික් දක්වා යන්න ඕනා. මම ඒ නිසා මගෙන් නැතත්, මගෙන් පස්සේ හරි දකිනවා. ඒකට මට දායක වෙන්න පුළුවන් මොන විදියටද ඒ ගැන මම හිතනවා.

මේ ෆීල්ඩ් එකේ ඔබට වඩාත් බැඳීමක් තියෙන්නේ කා එක්කද?

මගේ ඉසව්ව සහ පුහුණුකරුවන් එක්ක තමයි ලොකුම බැඳීම තියෙන්නේ. මම මේ ඉසව්වට ආදරෙයි. ඒකයි මේ එල්ලිලා ඉන්නේ. මම අමෙරිකාවේ උපාධියක් කරලා ලංකාවට ආයෙත් එන්නේ මේ ඉසව්වට ආදරේ නිසා. ඒක කවදාවත් අඩුවෙයි කියලා හිතන්නේ නෑ.

 

ජාත්‍යන්තර දක්ෂතා -

2004 දකුණු ආසියානු තරගාවලියේ රන් පදක්කම

2005 ආසියානු ශූරතාවලිය - රන් පදක්කම

2006 දකුණු ආසියානු තරගාවලිය - රන් පදක්කම

2009 ආසියානු ශූරතාවලිය - රන් පදක්කම

2016 සාග් තරගාවලියේ - රන් පදක්කම

ජාත්‍යන්තර ප්‍රධාන තරගාවලි - 2004 ඔලිම්පික් - 20

2005 ලෝක ශූරතාවලිය - 23

2009 පොදු රාජ්‍ය මණ්ඩලීය - 09

2005 දී ආසියානු තරගාවලියේ දකුණු කොරියාවේ ඉචියොන් තරගාවලියේ මීටර් 2.27 ක දක්ෂතාවක් දක්වනවා. ඊට පස්සේ ඔබ දිගින් දිගටම පසුබැස්සේ ඇයි?

2005 දි 2.27 ක් පනිනවා. 2006 හොඳම මට්ටමින් පුහුණුවීම් කරන කොට තමයි ඇමෙරිකාවේදී වළලුකරේ අස්ථිය පුපුරලා ලොකු ආබාධයකට ලක් වුණේ. එතැනදි මම ලොකු පසුබෑමකට ලක් වුණා. ඒත් මම නතර වුණේ නෑ. 2009 ආසියානු ශූරතාවලියේ රන් පදක්කම දිනා ගන්නවා. ඒ අතර ආසියානු ග්‍රෝන් ෆ්‍රී තරගාවලි කිහිපයකම රන් පදක්කම් දිනා ගන්නවා. මගේ මේ ආබාධය දිගින් දිගටම මට මහා වදයක් වුණා.

ඔබ අවසන් වරට 2016 සාග් තරගාවලියේ රන් පදක්කමක් දිනා ගන්නේ?

ඔව්. 2004 වාර්තාව තිබ්බා. 2006 දි ආබාධයත් එක්ක තමයි රන් පදක්කම දිනා ගන්නේ. ඒ මීටර් 2.19 ක් උස පැනලා. 2010 දී අමෙරිකාවේ වැඩිදුර අධ්‍යාපන කටයුතු කරපු නිසා සාග් තරග ඉදිරිපත් වුණේ නෑ. ගිය අවුරුද්දේ රන් පදක්කම දිනා ගත්තා.

ඔබ අවසන් වරට ආසියානු ශූරතාවලියේ රන් ජාත්‍යන්තර පදක්කමක් දිනා ගෙන තියෙන්නේ 2009 දී.

ඔව්. ඒ අතර ග්‍රෝන් ෆ්‍රී තරගවල රන් පදක්කම් කිහිපයක්ම දිනා ගත්තා.

නාගලිංගම් එදිරිවීරසිංහම් මහත්තයට ඔබ ගැන බලාපොරොත්තුවක් තිබුණා. එතුමාගේ බලාපොරොත්තු ඉෂ්ඨ කළා කියලා ඔබට ආපහු හැරිලා බලලා සතුටු වෙන්න පුළුවන්ද?

මගේ ම වාසනාවකට තමයි එතුමාව මුණගැසුණේ. එතුමා මගේ අධ්‍යාපන කටයුතුවලට වගේම පුහුණුවීම්වලටත් උපරිම සහයෝගය දුන්නා. එතුමන්ගේ තිබ්බ ලොකුම බලාපොරොත්තුව තමයි මම ඔලිම්පික් තරගාවලියක - ආසියානු - පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියක රටට ලොකු ජයග්‍රහණයක් ගෙනත් දෙයි කියලා. මගේ ආබාධය ගැනත් එතුමාට ලොකු අවබෝධයක් තියෙනවා. ඒ ආබාධත් එක්ක මම දක්වන දස්කම් ගැන එතුමා සතුටු වෙනවා කියලා මම දන්නවා.

එතුමා එක්ක ගනුදෙනුව අදටත් තියෙනවද?

ඔව්. හැම වෙලාවේම වගේම හොයලා බලනවා. ආර්ථික විද්‍යා උපාධියේ ඉදිරියට යන්න උදව් කරනවා. ඒකට ලෑස්ති වෙන්න කියලා තමයි හැම වෙලාවෙම කියන්නේ. එතුමා මට තාත්තා කෙනෙක් වගේ.

උස පැනීම තෝර ගන්න විශේෂ හේතුවක් තිබුණද?

එහෙම විශේෂ හේතුවක් නෑ. ගමේදි හැමදාම ඉස්කෝලේ යන්නේ කන්ද නැඟගෙන. එතකොට අවේ පල්ලමට. මේ ගමන මට පුහුණුවක් වෙන්න ඇති. අයියා තිලක්, එයා මට කලින් උස පැනීම කළා. මට ඒක බලාගෙන ඉඳලා තමයි ආසා හිතුණේ. මම හිතනවා අයියත් මට හේතුවක් වෙන්න ඇති කියලා.

මේ හැම දෙයක් එක්කම ඔබේ පාසල් ජීවිතයේ අමතක නොවනම ජයග්‍රහණය මොකක්ද?

1994 පළමුවැනි සමස්ත ලංකා ජයග්‍රහණය. මම දෙවැනියා වුණා. ඒ වෙනකොට සමස්ත ලංකා කියන වචනයේ තේරුමවත් දැනගෙන හිටියේ නෑ. මම යන යන හැම තරගයක්ම දිනනවා. සමස්ත ලංකා තරගාවලියේ දෙවැනියා වෙච්ච එකේ වටිනාකමවත් ඒ වෙන කොට දැන ගෙන හිටියේ නෑ. මම ඉස්සෙල්ලම කොළඹ ආවෙත් ඒ සමස්ත ලංකා තරගාවලියට.

ඔබේ ගමනට මුලින්ම අත හිත දුන්නේ?

මම ඉස්සෙල්ලාම ගියේ කොස්හිල්ගොඩ කනිෂ්ඨ විද්‍යාලයට. ඒ ඉස්කෝලේ විදුහල්පතිනිය ජයකොඩි ගුරුතුමිය තමයි මාව ක්‍රීඩකයෙක් විදියට හඳුන ගත්තේ. දික්වැල්ල ම. ම. විද්‍යාලයේදී කීර්ති කුමාර සර් හම්බ වෙනවා. මෑතක් වෙනකම්ම පුහුණු කළා.

2006 දි මහජන බැංකුවෙන් මට නිවාසයක් ලබා දුන්නා. අදටත් මට ලොකු සැනසීමකට තියෙන්නේ ඒක. අද මට නිදහසේ වැටිලා ඉන්න තැනක් තියෙනවා. ඒ ගැන මට ගොඩක් සතුටුයි.

මලල ක්‍රීඩා සංගමයෙන්, ක්‍රීඩා අමාත්‍යංශයෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. අපේ සමස්ත ක්‍රීඩාවේ හොඳ පරිවර්තනයකට මේ තරගාවලිය අත්වැලක් කර ගන්න ඕනා.

 

නම - මංජුල කුමාර විජේසේකර

උපන් දිනය - 1984 ජනවාරි 30

ඉසව්ව - උස පැනීම

විශේෂ - 2004 දකුණු ආසියානු වාර්තාව මීටර් 2.20,

2004 ශ්‍රී ලංකා වාර්තාව මීටර් 2.27

අධ්‍යාපනය - කොස්හිල්ගොඩ කනිෂ්ඨ විද්‍යාලය

මොරවක, විජිත ම. ම. විද්‍යාලය දික්වැල්ල, දකුණු

කැලිෆෝනියා විශ්ව විද්‍යාලය අමෙරිකා එක්සත්

ජනපදය.

ජාත්‍යන්තර දක්ෂතා -

2004 දකුණු ආසියානු තරගාවලියේ රන් පදක්කම

2005 ආසියානු ශූරතාවලිය - රන් පදක්කම

2006 දකුණු ආසියානු තරගාවලිය - රන් පදක්කම

2009 ආසියානු ශූරතාවලිය - රන් පදක්කම

2016 සාග් තරගාවලියේ - රන් පදක්කම

ජාත්‍යන්තර ප්‍රධාන තරගාවලි - 2004 ඔලිම්පික් - 20

2005 ලෝක ශූරතාවලිය - 23

2009 පොදු රාජ්‍ය මණ්ඩලීය - 09

ජාත්‍යන්තර දක්ෂතා -

2004 දකුණු ආසියානු තරගාවලියේ රන් පදක්කම

2005 ආසියානු ශූරතාවලිය - රන් පදක්කම

2006 දකුණු ආසියානු තරගාවලිය - රන් පදක්කම

2009 ආසියානු ශූරතාවලිය - රන් පදක්කම

2016 සාග් තරගාවලියේ - රන් පදක්කම

ජාත්‍යන්තර ප්‍රධාන තරගාවලි - 2004 ඔලිම්පික් - 20

2005 ලෝක ශූරතාවලිය - 23

2009 පොදු රාජ්‍ය මණ්ඩලීය - 09

Comments