
අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියාහිදී උපත ලද බද්ධ දියණියෝ වෙන් වෙන්ව ජීවිත වීම අරඹති. මෙයට වසර දෙකකට පමණ ඉහතදී උපත ලද ඊවා සහ එරිකා සැන්ඩොවාල් බද්ධ දියණියන් දෙදෙනාට තිබුණේ එක ආහාර ජීර්ණ පද්ධතියක් පමණි. එමෙන්ම දෙදෙනා සඳහාම එක ගර්භාශයකුත්, එක අක්මාවකුත්, එක මූත්‍රාශයකුත් තිබිණ. ඒ හැරුණුවිට දියණියන් දෙදෙනාට ඇවිදීමට පාද තුනක් තිබිණ. ඊවා සහ එරිකා එකිනෙකෙකුගෙන් වෙන් කිරීමට ශල්‍ය කර්මයක් කළහොත් එක් දැරියක හෝ දැරියන් දෙදෙනාම හෝ මිය යන්නට 30%ක සම්භාවිතාවක් ඇති බව වෛද්‍යවරු පෙන්වා දුන්හ.
මේ අවදානමත් දරාගෙන දැරියන් දෙදෙනා වෙන් කිරීමේ ශල්‍යකර්මය පසුගිය දෙසැම්බර් 6වැනිදා ස්ටැන්ෆෝර්ඩ්හි පැකාර්ඩ් ළමා රෝහලේදී සිදු කෙරිණ. පැය 18කට ආසන්න කාලයක් පුරා සිදුකෙරුණු සැත්කමට වෛද්‍යවරු 50ක කණ්ඩායමක් සහභාගී වූහ. ශල්‍යකර්මයේදී මේ දියණියන් සතුව පැවැති තෙවැනි පාදය ඉවත් කෙරිණ. ඒ අනුව දියණියන් දෙදෙනාටම සැත්කමෙන් පසුව ලැබුණේ එක පාදය බැගිනි. මේ අන්දමට සිදු කළ ශල්‍යකර්මය සාර්ථක වුණු බව පසුව වෛද්‍යවරු සනාථ කළහ. අද වනවිට ඊවා සහ එරිකා දැරියෝ දෙදෙනකු හැටියට ස්වාධීනව වැඩෙමින් සිටිති.
නමුත් ඔවුන්ට විවිධ විධියේ 'තෙරපි' ආශ්‍රයෙන් ප්‍රතිකාර ලබාදෙන බව පැවැසේ. දැරියන් දෙදෙනාගේ උකුළු අස්ථිවල කොටස් අඩු බැවින් දෙදෙනාටම හිඳගෙන සිටීමට හැකි වන්නේ ඉතා කෙටි කාලයකි. එනිසා ඔවුන්ගේ චලන බොහොමයක් රෝද පුටුවලට දැනට සීමා වී ඇත. ඔවුන්ට කෘත්‍රිම පාදය බැගින් බද්ධ කිරීමේ හැකියාවක් ඇතිද යන්න ගැන ඉදිරියේදී සොයා බැලීමට නියමිත බව පැවසේ.
දියණියන් දෙදෙනා එකිනෙකාගෙන් ස්වාධීනව දෙදෙනෙකු හැටියට පළමුවරට ඔවුන්ගේ නිවෙසට පැමිණියේ පසුගියදාය. එය සමරනු වස් ප්‍රිය සම්භාෂණය පවා සංවිධානය කර තිබුණු බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.
මංජුලා විජයරත්න