කිලෝමීටර් 27ක් දිග ලොව විශාලතම යන්ත්‍රය | සිළුමිණ

කිලෝමීටර් 27ක් දිග ලොව විශාලතම යන්ත්‍රය

 ලෝකය වෙනස් වන්නේය. ඒ සඳහා විවිධ පුද්ගලයන් මෙන්ම විවිධ පුද්ගලයන්ගේ විවිධ නිර්මාණද හේතු වන්නේය. ඒ කෙසේ වුවද ලෝකය මොහොතින් මොහොත වෙනස් වන්නේය. ලෝකය වඩා යහපත් ලෙස වෙනස් කිරීමට විද්‍යාව හා තාක්ෂණයෙන් ලැබෙන පිටුබලය ඉතා විශාල වේ. මේ කතාකරන මොහොතේ පවා කිසියම් නිමැවුමක් ලෝකයේ දිශානතිය වෙනස් කිරීමට දායකත්වය දෙමින් සිටින්නේය. ඒ කොහේදැයි නිෂ්චිතව කිව නොහැකි නමුදු කොහේ හෝ එය එසේ වන බව නම් තිර කොට කිව හැක්කේය. ඒ මනුෂ්‍ය සංහතිය දැනට භාවිත කරනා අතිශයින් දියුණු විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව අප සතුව ඇති දැනුම ඒ තරම් අල්ප වන බැවිනි.

අද සිට අප ඔබට ඉදිරිපත් කිරීමට යන්නේ මිනිස් වර්ගයාගේ එවැනි විශ්වකර්ම නිෂ්පාදනයන් කිහිපයක් හා බැඳුණු රසවත් තොරතුරු කිහිපයකි.

යන්ත්‍ර යයි කියූ පමණින් අප අවට ඇති යන්ත්‍ර සිය ගණනක් අපට හඳුනා ගත හැකිය. ඒ යන්ත්‍ර අපගේ එදිනෙදා ජීවිතය සමග එතරම් බද්ධ වී ඇති බැවිනි. මේ ලෝකය එතරම්ම යන්ත්‍රවලින් පිරී ඇත. මෙතැන් සිට අප හඳුනාගැනීමට යන්නේ මෙලාව දැනට මිනිසා විසින් බිහි කර ඇති විශාලතම යන්ත්‍ර දහයයි‍.

අද එහි අංක එක හෙවත් ලොව දැනට නිර්මාණය කර ඇති විශාලතම තනි යන්ත්‍රය හඳුනා ගනිමු. එය හඳුන්වන්නේ The Larg Hadron Collider යන නමිනි. මේ යන්ත්‍රය බිහි කිරීමේ අරමුණ වී ඇත්තේ ක්ෂුද්‍ර රසායන විද්‍යාව සම්බන්ධ පර්යේෂණ පැවැත්වීමට විද්‍යාඥයන්ට පසුබිම සලසා දීමය.

1998දී මෙවැනි යන්ත්‍රයක් ඉදි කිරීම සම්බන්ධව යෝජනා සම්මත වූ අතර එම වසරේදීම එහි ඉදිකිරීම් ආරම්භ කරනු ලැබීය. මේ සඳහා ස්විට්සර්ලන්ත සහ ප්‍රංස දේශසීමාව ආසන්න‍යේ ප්‍රද‍ේශයක් තෝරා ගනු ලැබූ අතර එය දේශසීමාවේ නොව ස්විට්සර්ලන්ත භුමියේ ස්ථාපිත කරනු ලැබීය. මේ යන්ත්‍රය සැලැස්මේ සිටම අති දැවැන්ත වූ අතර එහි දැවැන්ත ස්වභාවය පර්යේෂණ සඳහා අවශ්‍ය වූ ලෙසින්ම විය. ඒ අනුව එය කිලෝමීට් 27ක් දිග උමගක් තුළ ස්ථාපිත කරනු ලැබීය. මේ උමග පිහිටා තිබුණේ භූමිය මතුපිට සිට මීටර් 175ක් පොළොව යටිනි.

මෙය සම්පූර්ණයෙන් ඉදි කිරීමට වසර දහයක් ගත වූ අතර ඒ සඳහා රටවල් 100ක පමණ විද්‍යාඥයන් 10 000ක ගේ පමණ දායකත්වය ලබා ගනු ලැබීය. එපමණක්ද නොව මෙහි ඉදිකිරීම් සඳහා අවශ්‍ය විද්‍යාත්මක මග පෙන්වීමට විද්‍යාගාර සියගණනක පර්යේෂණද, විශ්වවිද්‍යාල සිය ගණනක මගපෙන්වීම්ද යොදා ගනු ලැබීය.

වසර දහයකට පසු මෙහි ඉදිකිරීම් සම්පුර්ණ වූ අතර පසුගිය 2008 වසරේදී පර්යේෂණ සඳහා මේ අති දැවැන්ත යන්ත්‍රය යොදා ගැනීමට හැකි බව නිවේදනය කරනු ලැබීය. මේ යන්ත්‍රයේ ස්වභාවය සහ එහි සිදු කරන්නා වූ පර්යේෂණවල ස්වභාවය අනුව වසර තුනක කාලයක් යන්ත්‍රය එකදිගට ක්‍රියාත්මකව තැබිය හැකි අතර ඉන් පසු වසර තුනක කාලයක් යන්ත්‍රය අක්‍රිය කර තැබිය යුතුය.

ඒ අනුව යන්ත්‍රයේ පළමු ධාවනය 2009 වසරේදී ආරම්භ අතර 2013 තෙක් යන්ත්‍රය ක්‍රියාත්මක කරනු ලැබීය. මේ කාලය තුළ විවිධ පර්යේෂණ සඳහා යන්ත්‍රය භාවිත කරනු ලැබූ අතර ටෙරාඉලෙක්ට්‍රොනොවෝල්ට්ස් 3.5 ත් 4ත් අතර ප්‍රමාණයක් එමගින් යොදවනු ලැබූ බවට වාර්තා විය. ඉන්පසු වසර 2013 සිට 2015 දක්වා යන්ත්‍රය අක්‍රිය කර තබනු ලැබීය.

යළිත් වරක් 2015දී යන්ත්‍රය පර්යේෂණ සඳහා දායක කර ගැනීම ආරම්භ කරනු ලැබු අතර, මේ වන විටද ස්විට්සර්ලන්තයේදී යන්ත්‍රය ක්‍රියාත්මක වෙමින් මිනිස් වර්ගයාගේ පැවැත්මට බලපෑම් කිරීමට සමත් පර්යේෂණ සඳහා දායකත්වය ලබා දෙමින් සිටින්නේය.

යන්ත්‍රය බිහි කිරීමේ ප්‍රධානතම අරමුණ වන ක්ෂුද්‍ර රසායන විද්‍යාවේ නව න්‍යායන් සොයා ගැනීමට අදාළ පර්යේෂණ සඳහා යන්ත්‍රය දිගින් දිගටම යොදා ගැනෙන අතර එහි ආසන්නතම පර්යේෂණය ලෙස පසුගිය මැයි 24වැනිදා යන්ත්‍රය ප්‍රෝට්‍රෝන අංශු ප්‍රෝටෝන අංශු සමග ගැටීමට සැලැස්වීමෙන් ලැබෙන ප්‍රතිඵලය විමර්ශනය සඳහා යෙදෙවෙමින් තිබෙන බවට තොරතුරු ලැබී තිබේ.

කෙසේ වුවද අද වන විටත් ‍‍සමස්ත පෘථිවිය තුළ මිනිසා විසින් නිපදවන ලද විශාලතම යන්ත්‍රය ලෙස The Larg Hadron Collider යන්ත්‍රය කිරුළ හිමිකරගෙන සිටින්නේය.

ටිරෝනි වෑවලගේ

Comments