අවමඟුල් සම්ප්‍රදායන් චිම්පන්සින් අතරත්! | සිළුමිණ

අවමඟුල් සම්ප්‍රදායන් චිම්පන්සින් අතරත්!

 ආදාහන චාරිත්‍ර පවත්වන්නේ මිනිසා පමණක් නොවන බව සනාථ කෙරෙන සිද්ධියක් සැම්බියාවේ “චිම්ෆන්ෂි” වනජීවී අනාථාගාරයෙන් වාර්තා විණ. මේ සිද්ධියට මුල් වන්නේ නොයෙල් නමැති චිම්පන්සි ධේනුවකි. නොයෙල් හැදුණේ වැඩුණේ චිම්පන්සි වනජීවී අනාථාගාරයේ බලධාරීන්ගේ සහ පර්යේෂකයන්ගේ සෙවණෙහිය. මෙයට සිව් වසරකට පළමුව නොයෙල්ට මේ වනජීවී අනාථාගාරයේදී තෝමස්ව හදිසියේ මුණ ගැසිණ. එවකට තෝමස් මව මිය යෑමෙන් අනාථව සිටි චිම්පන්සි පැටවෙකි. නොයෙල් සිය කැමැත්තෙන්ම තොමස්ව දරුකමෙහි තබාගත්තේ කාගේවත් මැදිහත් වීමකින් තොරවය. මේ අපූරු බැඳීම ඇතිවන විට නොයෙල්ගේ වයස අවුරුදු 33ක් පමණ විණ.

නොයෙල් සහ තෝමස් අතර මව සහ පුතා අතර බැඳීම ගොඩනැඟී පස් වසරක් පමණ ගත වනවිට තෝමස් හදිසියේම රෝගාතුර විය. තෝමස් එක පැත්තකින් වෛරස රෝගයකින් පීඩා විඳිමින් සිටි බව වනජීවී බලධාරීහු පවසති. ඒ සමඟම තෝමස්ගේ පෙනහළු බැක්ටීරියාවකින් ආසාදනය වී ඇති බවකුත් බලධාරීන්ට දැනගන්නට ලැබිණ. මෙයින් දුර්වලත්වයට පත් තෝමස් හදිසියේම මියගියේ රෝගාතුරුව වැඩි දිනක් ගත වන්නට පළමුවයි.

තෝමස් මියගිය බව දැනගත් නොයෙල් දේහය අසලට පැමිණ තොමස්ගේ දත් තණකොළවලින් මදින්නට පටන් ගත්තේ කිසිවකු අපේක්ෂා නොකළ පරිද්දෙනි. ඈ මේ කාර්යය කළේ තමන්ගේ පූර්ව ගාත්‍රාවලින් තොමස්ගේ මුඛය හොඳින් විවර කර තබාගනිමිනි. ඈ දිගින් දිගටම තොමස්ගේ දත් පිරිසුදු කිරීමෙහි නියැළී සිටියාය. එමෙන්ම එය ඉතා ඕනෑකමකින් ඉටු කරන බවකුත් වනජීවී බලධාරීන්ට දක්නට ලැබිණ. නොයෙල් මේ කාර්යයෙහි නිරතව සිටින විට නොයෙල් හා තෝමස් ඇතුළත් වුණු චිම්පන්සි කණ්ඩායමේ සෙසු සාමාජිකයෝ ආහාර සෙවීම සඳහා වනයට පිටත්ව ගොස් සිටියහ.

නොයෙල්ගේ චර්යාව මැනවින් නිරීක්ෂණය කළ පර්යේෂක එඩ්වින් වැන් ලියුවෙන් කියා සිටින්නේ අනුකම්පාව, දයාව දැක්වීමෙහිලා සමත්කමක් වානර විශේෂවලට ඇති බවකි. එමෙන්ම ඔවුන් තම “පවුලට” අයත් යැයි කියා සැලකෙන සාමාජිකයකු මරණයට පත් වූ විට මෘතදේහවලට සැලකීමෙහි චර්යාවන් පවත්වාගෙන යෑමේ හැකියාවෙන්ද යුක්තයැයි කියාය. එකකු අනෙකාගේ දත් පිරිසුදු කිරීමේ ක්‍රියාව චිම්පන්සින් අතර දැකිය හැකි “සමාජීය” මට්ටමේ ක්‍රියාවක් බව පර්යේෂකයෝ පෙන්වා දෙති. එමඟින් චිම්පන්සීහු තම කණ්ඩායමේ අය අතර බැඳීමක් ඇති කරගන්නෝය.

“... මරණයට ප්‍රතිචාර දැක්වීම මානව ශිෂ්ටාචාරයේ විශේෂ ලක්ෂණක් ලෙස ගොඩනැඟුණේ මානවයන් තම සංස්කෘතීන් හරහා අවමංගල වතාවත් වර්ධනය කරන්නට පටන් ගැනීමත් සමඟයි. චිම්පන්සින් සාමාන්‍යයෙන් ජීවත් වන්නේ කණ්ඩායම් හැටියට. මිනිසුන් වගේම චිම්පන්සීන්ද මරණයට ප්‍රතිචාර දක්වනවා කියන දෙයින් නිරූපණය වන්නේ සමාජීය එකමුතුකම රැකගන්න එක් එක් සාමාජිකයා වැදගත් කාර්යයක නියැලෙන බව පෙන්වීමක්...” යැයි කියා චිම්ෆන්ෂි වනජීවී අනාථාගාරයේ පර්යේෂකයෝ පවසති. 

Comments