
ජීවිතයට විටමින් අවැසි වන්නේ කුමට ද? අප සාමාන්‍යයෙන් විටමින් ගන්නේ රෝගී තත්ත්වයක් හෝ කිසියම් අඩුලුහුඩු කමක් පුරවා ගන්නට ය. ඒ භෞතික වශයෙන් ය; එහෙත් ආධ්‍යාත්මයට විටමින් ගත හැකිද? මනසට විටමින් නිපදවන්නට නොහැකි බව ආගමික ශාස්තෘෘන් වහන්සේලා මෙන් ම සිග්මන් ෆ්‍රොයිඩ් වැනි මනස පිළිබඳ පර්යේෂණ කළ විද්වත්හු ද පැවසූහ. පෙත්තක් ම නොවූවත් මනසට දිය හැකි අපූර්ව විටමින් වර්ග තිබේ යැයි අපට සිතේ. ඒ විටමින් පරිකල්පනය නමැති ඉසියුම් නූලෙන් වියන ලද සාහිත්‍ය නිර්මාණය. අද තිබෙන්නේ භෞතික ගිලන් බව ඉක්මවූ ආධ්‍යාත්මික ගිලන් බවකි. එනිසා අහරට වඩා විටමින් අවැසි ව තිබේ.
විටමින් වැනි කවි, සාහිත්‍ය නිර්මාණ බිහි කරන්නට හැමෝට ම බැරි ය. ඒවා බිහි වන්නේ ද අති සුවිශේෂ නිර්මාණකරුවන්ගේ ආත්මයෙන් ය. ආත්මය දිය කර හැර නිර්මාණ බිහි කරන්නට සමත් වූ නිර්මාණකරුවන් ගැන සත්මඬල අප මේ කරන විමර්ශන අතිරේක පෙළ එවැනි විටමිනයක් ය.
විමලරත්න කුමාරගම කියන්නේ ද විටමින් වැනි කවි ලියූ කවියෙකි. ලස්සන ගැන සිතන වාරයක් පාසා ලස්සන කියන්නේ කුමක්දැයි හැඟෙන ප්‍රශ්නයට අපට ලස්සන ම, ගැඹුරු ම පිළිතුර දුන්නේ විමලරත්න කුමාරගම ය. ඔහු කියූයේ ලස්සන ගැන අමුතු ම නමුත් සනාතන ධර්මයකි.
ලස්සන ගැන මොන මිනිහ ද දන්නේ
ලස්සන තද රිදුමෙනි බිහි වන්නේ...
සෑම සුන්දරත්වයක් ම, ලස්සනක් ම පිටුපස ඇති වේදනාව පෑන් තුඩට ගොනු කර ගත හැක්කේ කීයෙන් කී දෙනාට ද? කුමාරගමයන් ගැන කියන්නට ඒ කව වුවත් ප්‍රමාණවත් ය. ඔහුගේ හැම කවියක ම තිබෙන්නේ හදවතේ කැකෑරෙන වදන්වලට පෙරළිය නොහැකි ආත්මකථන ය. ඒ ආත්මකථන බොහෝ කාලයක් තිස්සේ හදවතේ ගොළු වී තිබී මරණයත් සමඟ මිහිතලයට දිය කර හැරි ඒවා ය.
එවැනි හැඟීම් ඉපදී මියෙනයුරු දන්නේ ඒ බර දරන්නා ම පමණි. එහෙත් කවි කෙත පීරද්දී ඒ බර කරට ගත් කවියෙක් පැමිණ අප අත හෘදයංගම ව අල්ලා ගත්තේ ය. ඒ විමලරත්න කුමාරගම ය. මේ වෑයම ඔහුගේ හදවත විනිවිඳ දකින්නට ය.