
දේදුන්න - 1951
සිව් වසරකට පෙර විත් මගෙ ඇසුර බලා
මේ වන තුරුම මගෙ තනිකම බැහැර කළා
අද අලුයමම උණුසුම් වෙන විටදි වලා
පිංචිත් මාත් මරමින් ටාසන්ද මළා
හඟුරන්කෙතේ පෙරහැර පැවතුණු දාක
මා උඹ ගෙනාවේ මහ කළුවර රෑක
මා පමණක්ම දුටු ඉඩකඩ ඇති ගේක
උඹ මා සෙවූ සැටි මට වැටහෙන දේක
රෑ සුළැඟිල්ල උරමින් නිදි වැදුණු ඇඳේ
මගෙ කට, නහය ලෙවකෑවෙහි නැඟිට උදේ
උඹ ගැන මතක නොනැවත හදවතට ඇදේ
මගෙ හිස ඇසද පපුවද එක විලස රිදේ
පිටිසර ලියන් දිය සැනහෙන තැනට පැන
දිව ආවෙහිය තනපට හෝ හවරි ගෙන
උන් උඹ අඹා ආ විට හුරතලට බැන
උඹ දත්තෙහිය මා නැවතී සිටිය තැන
දිව දිව පෙරළි පෙරළී උඩ පැනපු හැටි
ගස් දිග යන්ට ඉගිළෙන්නට හැදුව හැටි
පූසී සමඟ උඹ සෙල්ලම් කරපු හැටි
මා උඹ මෙන්ම මියයෙන තුරු මතක හිටී
දරු සයදෙනෙකුගේ පියෙකුව මළද උඹ
මම 'නිදරු වී' වැඩුවෙමි උඹ නිතර සිඹ
මීයන් අඹා දොළ බඩ ගල් තුළට පිඹ
උඹ යළි එතිද පීරා මඩ වතුර ගොබ
සන් දෙන වෙණක් සේ සිහිපස හඳ පානේ
දුන්නෙහි උඹත් මට හුදු සෙනෙහස දානේ
දැන් මට දැනෙන්නෙ හැබැහින් හෝ සීනේ
රන් කිරියා මල් සුවඳයි උඹෙ මූණේ
මියගිය පසුව උඹ ඉව කර යුතුව සෙනේ
පිංචී කිමද මා ළඟටම තුරුලු වුණේ
ඇය හට දැනුදු තනි වූ බව හොඳට දැනේ
මට අද උඹෙන් මුළු ලොව එක තැනක පෙනේ
මහ කළුවරක් බිහි විය හැක උදාසනින්
මළ බෙර හඬක් සැනසුමකට යොදාගනින්
ටාසන් මළා මගෙ පා ළඟ නිදාගනින්
මා මෙන් උඹත් පිංචී හිත හදාගනින්
වැඩිවිය බලා යන බිලිඳුගෙ සිනා මත
අඩියෙන් අඩිය දුක් රසයක් කවා ඇත
වැඩි පද කුමට කටු අකුලක නිවා සිත
පොඩි පෙඳ පැළය මට කඳුළට පවා ඇත
(1941)
අතපය දෙ ඇස දන් දී ඔබගෙ නාමෙට
අසරණයකුගෙ සරණින් දොරට ආ විට
කිසිවක් එපා මිහිරිය කුසට කෑමට
මඳහස පානු මැන දොරටුවට ආවට
(1941)
පසු වන අතර රුක් අත්තන තුරු වදුලේ
පවනක් වුයෙහි නම් ඔබ වගුරන සිහිලේ
හැපෙමින් බිඳී දිය වෙන්නට ඔබ දෙතොලේ
සැඟවෙමි සොරා ගොස් පෙණ බුබුළක් ඇතුළේ
(1941)
රස කවියකුගෙ විජිතයෙ මිස සුපියකරු
ආලය කියන පිරිසිදු පද තුළෙහි සරු
අදහස උරාගන්නට නැත ලොවට හුරු
ආලය ලොවට යා යුතු පාලමකි දිරු
(1945)
රිදුමක සුසුම් හඬ මෙන් ගඟ දිය ඇද්දේ
තුරු ලිය හඬහඬා උමතුව මෙන් පැද්දේ
කේතකි ගුහාවල කළු උණ බට මැද්දේ
සුළඟින් වැයේ සෝකී මළ බෙර සද්දේ
(1945)
ගෙඋයන් ලතා ගල් මුල් බැමි මැඳුරු තුරු
මීදුම් පලස හළ විට වැද උදය මරු
බිලි පුද පිණිස ගැලවූ පිළි සිරුරු දැරු
හිරකාරයන් පිරිසක් වැනි දුටුව මරු
(1945)
දින දින දියුණු වන විට මිනිසුනගෙ මොළේ
දන රැස් කිරීමෙන් ළං කර ගනිති බලේ
වෙන දේ කිවොත් මෙහි මගෙ කවි රසය තැළේ
ගුණවත්කම තිබෙනුයේ අසරණ ම පැලේ
(1945)
වැරදුණු තෙමී සිය ලැගුමට යන ගමනේ
කවුඩන් පෙළකි වෙවුලන උණ අතු සෙවණේ
පොල් ගස් තුරුලු වී සිටගත් ගඟ අයිනේ
හිස හපහපා වැලපෙති ගනඳුරු සෙවණේ
(1945)
ළැව් ගිනි නැගෙන තරමට පවනින් ගින්නේ
බිහිසුණු විජිතයක රුදු වග වලසුන්නේ
මෙලෙසින් කටුක ජීවිතයක් ගෙන යන්නේ
අප වැනි අය ම බව නැත සමහරු දන්නේ
(1946)
නමා ගැරැහු මුත් නින්දිත පදම දිවේ
සමාජයේ නිවැරදි කිසි කෙනෙකු නොවේ
පමාදයෙන් බැඳුණත් අතිදරුණු පවේ
සමා නොදිය හැකි වරදක් නොමැත ලොවේ
(1946)
ඉතිරියකගේ කැළැලක් ඇගෙ කඳුළු වැලේ
සෝදාගතොත් ඒ ලපයෙන් අඩය මළේ
සෙසු අඩ මකන්නට සත් සමුදුරෙහි ජලේ
දුබලය - මැරුණු පසු එය ඇගෙ නමට ඇලේ
(1946)
මගෙ හොඳ නොහොඳ මම කිසිවිට නොම වැසිමි
මා පිස්සෙක් ද සමහර විටකදි ඇසිමි
මල් වී පිපෙමි මම පිනි පොද වී වසිමි
අද පැරදුණත් හෙට මරණින් එළි බසිමි
(1953)
ඔබ ගෙයි නැතිව ආපසු ගොස් කඳුළු පුදා
යම් කිසි තැනක සඳරැස් බොන සුළඟ බදා
උණ මදුරුවන් හට පපුවත් වතත් පුදා
ජනේලයක් ළඟ සැතපී ගතිමි එදා
(1947)
හොඳ දිය තිබෙන හේවාහැට උඳුන තනා
මෙය බිම යුතුය රසවත් රස නහර පිනා
තේ නැති රිදුම දැක ඔබ එවු ලියුම ගෙනා
මගෙ හදවතේ ලේ ටික තේවතුර වුණා
(1950)
සංසාරයේ හැටි උපතයි වැනසිල්ලයි
මරණය උපත වැනසුණ කල නැවතිල්ලයි
දුක පසු පස ඇදී එනුයේ සැනසිල්ලයි
වියෝගයක් හමුවීමක සෙවණැල්ලයි
(1951)
මෙදවස කුමන මොහොතකදී රෑ වේද
ගිලිහුණු බිඳුණු සමනළ තටු හා වේද
පවනේ සුනිල් මුදු කෙස් රොද පා වේද
තිගෙ නෙත් කැලුම මගෙ නෙත්වල ගෑවේද
(1956)
විමලරත්න කුමාරගම කවියා
අවසන් වරට ලියූ
කවි දෙක:
අලුත් එළියක ලකුණු මතු වෙයි
එදෙස තරු රැස් අනුව යන්නම්
මගේ අදහස් මැරෙන්නේ නෑ
ඔබට එය අඩු නැතිව දෙන්නම්
උදෑසන මල් වී පිපෙන්නම්
රෑට හඳ එළියකින් එන්නම්
ඔබේ සුවඳත් මගේ සුවඳත්
එකට කැටි කළ හුළඟ වෙන්නම්
මට දැන් අමාරුයි - හදවතෙහි දිය රතු
නික්මී කටින්, ගෑ මෙන් දැනෙයි ඇඟ ලතු
සොහොයුර, ලොවේ ඉර හඳ අතට ගෙන මතු
මගෙ නිදහසට ඔබෙ නිදහසද දිය යුතු
විමලරත්න කුමාරගම කවියා 1962 දෙසැම්බර් 29 වන දා එළි වන යාමයේ සදහට ම දෙනෙත් පියා ගත්තේ ය. රම්බොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කුමාරගමගේ අන්තිම කවි දෙක ලියා තිබුණේ ඔහුගේ රෝගය අසාධ්‍ය වන්නට පැය දෙකකට කලිනි. ඔහු ඒ කවි දෙක ලියා රෝහල් සේවකයකු අතට දී තිබුණේ එය පීබී අල්විස් පෙරේරා කවියාට තැපැල් කර යවන ලෙස දන්වාය. නමුදු අල්විස් පෙරේරා කවියා අතට කවි දෙක ලැබී තිබුණේ විමලරත්න කවියා මිය ගොස් දින එකොළහකට පසුවය. මේ කවි දෙක ලියා විනාඩි දහයකට පමණ පසු කුමාරගම කවියා සිහිසුන් වී තිබෙන අතර, අවසන් හුස්ම හෙළන තුරු ම කුමාරගමයන්ට ප්‍රකෘති සිහිය ලැබී නැත.
සංස්කරණය - සුමුදු චතුරාණී ජයවර්ධන
සංස්කරණ සහාය - ජයත් පියදසුන්, ඉනෝකා සමරවික්‍රම
පිටු සැකසුම - හේමන්ත චන්ද්‍රසේකර
සිතුවම් - කුමුදු පීරිස්
පරිගණක අක්ෂර සංයෝජනය - එච්. ඒ. සමරවංශ, අමිල මලවිසූරිය, දිනුක්ෂි පෙරේරා