ලංඩනයට උපදෙසක් | Page 5 | සිළුමිණ

ලංඩනයට උපදෙසක්

 පැණි වරකා ගස්වලට දු හෙණ ගසති’යි කියැවේ. ‍ෙව් මැ යි. හෙණයට වනාහි වැළ ද වරකා ද යනු පැනයක් නොවේ. ගසන විට උස ම තැන් බලා ගසයි. එ වුව ද පැණි වරකා නම් තමනට හෙණ නො ගසන තෙක් ම එසේ ගසති යි නො සිතයි.

ලංඩනයෙහි දු බෝම්බ පුපුරයි; මඟ යන එන්නනට වෙඩි තැබේ. කවර පුදුමයෙක් ද? ලංඩනයෙහි එසේ වෙතියි කවුරු නම් සිතූහු ද? නොසිතුවක් ම සිදු වේ.‍ සිතුවකුදු නොසිදුවේ.

අලින් මඳිවාට හරකුනැයි ද සිංහලයෝ කියති. සැබෑවෙකි. බෝම්බ මඳිවාට ගොඩනැඟිලි ද කඩා වැටේ. ඡන්දයෙනුදු සිතූ තරම් ප්‍රතිඵලයක් නො ලැබිණ. ලංඩනයට සෙනසුරු මාරුවෙන් නරක කාලයක් ලැබූ සැටි යි. මෙරට අවුරුදු නැකැත් සෑදූ ඇදුරන් ලවා හෝ අර ඛල්ලාට (තට්ට) ඇදුරා ලවා හෝ බිරිතනියේ හඳහන බලවා ගත හොත් මැනැවි.

ලංඩනයේ වේවා, කොළඹ වේවා, තූත්තුකුඩියේ වේවා කැරෙන මනුෂ්‍ය සංහාර කවුරු නම් අනුමත කෙරෙන් ද? ලොව කොතැන වුව ද කැරෙන මනුෂ්‍ය සංහාර වහා නැවැත්විය යුත්තේ ය. එහි ලා වාදයක් නැති වැරැදි වදනක් යොදා කිවහොත් ‘ත්‍රස්තවාදය’ වහා නැවැත්විය යුත්තේ ය. ත්‍රස්තවාදය? කවර ත්‍රස්තවාදයක් ද? ලංඩනයේ එ බඳු වාදයක් ඇති දැයි අපි නො දනිමු. මෙ රට නම් වූයේ විමුක්තිවාදයෙකි. අප වැරැදීමෙන් එයට ත්‍රස්තවාදය යැයි කියා කළ එ වරද නිවැරැදි කොට ඒ විමුක්තිවාදය යැයි කියා දුන්නේ ද ලංඩනය යි. ඒ විමුක්තිකාමීන් මෙරට ගැන තැන බෝම්බ පුපුරුවමින් ජන සංහාරයෙහි යෙදෙන කල්හි මරාගෙන මැරෙන්නන් යොදවා ජන සංහාරයෙහි යෙදෙන කල්හි අපේ දුෂ්ට පාලකයන් ඒ අහිංසකයන් මර්දනය කරන්නට වන් විට එයට එරෙහි වූවෝ මේ බිරිතනියෝ යි. ඔවුහු අපට මානව හිමිකම් කියා දුන්හ. ගැටුම් සමථකරණය කියාදුන්හ. එ මතු ද? මේ විමුක්තිකාමී සුරතලුනට රැකවරණ දු දුන්හ. කේසර සිංහයන් මෙ රටදී බල්ලන් බළලුන් මෙන් ඝාතනය වද්දී බාලසිංහයන් හොඳ සැපට රැකුණේ බිරිතනි‍ත්ගේ අවංක මානව හිමිකම් නිසා ම ය. බී.බී.සී. පින්වත්හු ද නිර්ලෝභ වැ මේ විමුක්තිකාමීන් ගේ රණ හඬ ලොවට බෙදා දුන්හ.

අපි නම් දෙවියනට පින් සිදුවන්නට යන්තම් ගැලැවී ගතුමු.‍ දැන් අපට ඒ ත්‍රස්තවාදය - නැත නැත විමුක්තිවාදය මතක දු නැත්තේ ය. ඒ විමුක්තිකාමීන් ගේ නායක පින්වත් ප්‍රභාකරන් මහතාණන් ම කී සේ දෙ සතියක් යන කල්හි සිංහල මෝඩයනට අතීතය නොමතක වැ යෙයි. ඒ නොමතක අතීතය ද නිකම් ම මතක් වනුයේ අපේ සුදු උතුමනට ද මේ විමුක්තිවාදීන් මෙසේ ම්ලේච්ඡ ප්‍රහාර එල්ල කරන කල්හි ය.

කවර පුදුමයෙන් ද? ජවනිකාව වෙනස් වැ ඇත්තේ ය. මේ බිරිතනියට පහර දෙන්නේ නම් මෙ රට සිටියන් මෙන් විමුක්තිකාමීහු නො වෙති. ඔවුහු නම් ‘ත්‍රස්තවාදීහු’ ම ය. අහෝ! කාලය මැවූ වෙනසෙක අරුමේ! අපේ රජයේ දුෂ්ට හමුදා විමුක්තිකාමී සුරතලුනට අවසන් පහර එල්ල කරන කල්හි අර මිලිබාන්දුව (මිලිබෑන්ඩ්) එවා සටන නවත්වන්නට බල කළෝ බිරිතනි පින්වත්හු ය. අප ගේ ම අභාග්‍යයකට මෙරට දෙස් පලු මෝඩයෝ එයට අවනත වූ හ. එ සේ අවනත වූවා නම් අපි අදත් ගිලන් රියවල මිහිරි නාදය කොළඹ පුරා අසන්නමෝ වම් හ.

වේ වා! අතීතය සිහිනයක් පමණි. ඒ නොමතක කරමු. අපේ පාලකයන් වැ සිටි සුදු උතුමනට සිදු වූ මේ විපත අපේ ම විපතක් කොට සලකමු. අපි වනාහි එ උතුමන් ගේ ගැත්තෝ වම්හ. එහෙයින් එ උතුමනට පත් මේ විපතට පිළියමක් සලසා දීම අප ගේ ද පරම යුතුකම යි. මෙන්න අපි නොවරදින මඟක් කියමු. ඇසුව මැනැවි.

සකල සංවර ශීලාදී ගුණයෙන් ආඪ්‍ය වූ බෝධිසත්ත්ව ගුණෝපේත භදන්ත ඥානසාරයෝ රජයේ අත්අඩංගුවේ සිටිති. අපේ රජයට වහා අණක් නිකුත් කොට එ තුමන් සිරෙන් මුදා බිරිතනියට ගෙන්වාගෙන එහි දු බල සේනාවක් පිහිටුවාගත මැනැවි. දිනක් දෙ දිනක් ගත වත් ම ඊනියා ‘ඉස්ලාම් ත්‍රස්තවාදීනට කටාරයට ම දුවන්නට පාර ද මඳි වනු ඇත.

හිත මිතුරා

Comments