ව්‍යාපාරික ලොව ජයගත්තවුන්ගේ කාර්මික තාක්ෂණික ප්‍රදර්ශනය | සිළුමිණ

ව්‍යාපාරික ලොව ජයගත්තවුන්ගේ කාර්මික තාක්ෂණික ප්‍රදර්ශනය

මගේ අවශ්‍යතාව දැන්වූ විට එයට සුදුසු තාක්ෂණය සහ මග පෙන් වීම ලබා ගන්න හැකි වුණා. ඇත්තෙන්ම මෙවැනි ආයතන තිබෙන බව දන්නේ කීයෙන් කී දෙනාද? මගේ ජයග්‍රහණය පිටුපස අයි.ටී.අයි. ආයතනය සිටිනවා.

රටේ ආර්ථිකය නංවාලීමට කුඩා කර්මාන්ත වෙතින් අත් වන්නේ මහත් පිටුබලයකි. ඒවායේ සාර්ථකත්වය මනාව පවත්වාගෙන යෑමටත් තරගකාරි වෙළෙඳපොළ ජය ගැනීමටත් අවශ්‍ය වටපිටාවක් සලසා දීමට කාර්මික තාක්ෂණ ආයතනය (ITI) පෙරමුණ ගනිමින් සිටි. පසුගියදා කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ පිහිටි (ITI) ආයතන පරිශ්‍රයේදී පැවැත්වූ ව්‍යවසායක ප්‍රදර්ශනය පිළිබඳව තොරතුරු රැසක් ඔබ වෙත ගෙන ඒමට අපට හැකි විය.

ප්‍රදර්ශනය ජනතාවට මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියතු වූවන්ටය. අලුතින් හැකියාවක් ඇති කරගෙන නව ව්‍යාපාරයකට අවතීර්ණය වීමට අවශ්‍ය දැනුවත් කිරීමේ පහසුකම්ද මෙහිදී සපයා තිබිණි.

මෙවර ප්‍රදර්ශනයේ රූපලාවණ්‍ය, කර්මාන්ත ක්‍රියාකාරිත්වයන් සදහා යන්ත්‍රසූත්‍ර, කර්මාන්ත ආශ්‍රිත වැඩ පසුබිම හෙවත් රසායනාගාර උපකරණ සැපයීම, වෙනුවෙන් මේ දැනුවත් කිරීම් සංවිධානය කර තිබිණි. කර්මාන්ත තාක්ෂණික ආයතනය වෙනුවෙන් මේ ව්‍යාපෘතිය සදහා නායකත්වය ලබා දී තිබුණේ ආචාර්ය චන්දිම අබේගුණවර්ධන මහතාය.

තරගකාරිව ලොව ජය ගත හැකි නිපැයුම් ප්‍රදර්ශනයේ දක්නට විය. බහුජාතික සමාගම් වෙළෙඳපොළ ජය ගන්නා ආකාරයට ශ්‍රී ලාංකික සුළු නිපැයුම්කරුවන් වෙළෙඳපොළ ජය ගැනීමට සමත් වී ඇති බව දුටු විට ඇති වන්නේ ආඩම්බරයකි. එය අදහාගැනීමට බැරිතරම්ය. නිෂ්පාදනය, අන්තර්ගතය සහ නිමැවුම්වල ඇසුරුම්කරණය සහ ආකර්ෂණය දුටු විට දේශීය නිෂ්පාදනයක්දැයි අදහාගැනීමටත් බැරිය.

මධූෂි තනුජා කුමාරි අරම්පත් මහත්මිය, වයඹ පළාතේ කුරුණෑගල තරුණ කාන්තාවකි. ඇය විසින් නිෂ්පාදනය කර වෙළෙඳපොළට යොමු කරන ලද නිෂ්පාදන පෙළක් ඒ අතර විය. මයි කෙයාර් (My Care) ඇයගේ නිෂ්පාදන නාමයයි. රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට අයත් ඇයගේ නිෂ්පාදන සියයට සියයක්ම දේශීය අමුද්‍රව්‍ය යොදා ඇත. ඇය සමග කතාබහට වැටීමේදී ඇය කියා සිටියේ වසර කිහිපයක් රූපලාවණ්‍ය ශිල්පිනියක ලෙස සේවා සැපයූ බවත්, බොහෝ කාන්තා පාර්ශ්ව දැනුමකින් තොරව ආලේපන භාවිතයෙන් තමන්ගේ රූප ස්වභාව විනාශ කරගන්නා වග තමාගේ අත්දැකීම බවත්ය. රසායනික ආලේපන සහ සමට නොගැලැළපෙන ආලේපන නිසා රුවට අත් වන විකෘතිතා පිළිබඳවය.

"තරුණියන් හිසකෙස් වෙනුවෙන් නොයෙක් සත්කාර කරනවා. හිස්හොරි, හිසරදය වැනි ආසාදනවලට පිරිසුදු පොල්තෙල් සඳහා තවත් දේශිය ඖෂධ වර්ග විස්සක් පමණ එකතු කරගෙන හිසගල්වන තෙලක් නිශ්පාදනය කළා. කුරුලෑ, ලප කැළැල් සඳහා වෙනිවැල් කහ සමඟ ආලේපනයක් නිෂ්පාදනය කළා. සමේ වියළි බවටත් සුදුසුයි. ෂැම්පු නිෂ්පාදනය කළේ හිස කෙස් ගැලවීම, තුවාල හිස්හොරි සඳහායි. කුඹුක්, උළුහාල් සහ තවත් සංයෝග එකතු කළා. මීට අමතරව සබන් කැටයක්ද නිෂ්පාදනය කරනවා. සමේ වියළි බව, සම පැළීම වැනි ආසාදනවලට ප්‍රතිශක්තියක් මේ සබන් වෙතින් ලැබෙනවා" යැයි කීවාය.

ඇයගේ නිෂ්පාදන පෙළ ආකර්ෂණීය අන්දමින් පෙළගස්වා තිබිණි. ඇය සමග කතාවේ දී මම ඇයගෙන් ඇසුවේ, මේ නිෂ්පාදන සඳහා තත්ත්වපාලනය පිළිබඳවත් නිෂ්පාදනවල විශ්වසනීයත්වය පිළිබඳව සනාථ කරන්නේ කෙසේදැයි යන්නය. ඇය දුන් පිළිතුර සෑහීමකට පත් වීමට හොඳ පිටුබලයකි.

“කාර්මික තාක්ෂණ ආයතනය විවිධ නිෂ්පාදන සාර්ථකව කරගෙන යෑමට තාක්ෂණික උදව් දෙන බව අත් පත්‍රිකාවක් මගින් දැනගත්තා. මගේ රූපලාවණ්‍ය ආයතනයට එන අය වෙනුවෙන් රුපලාවණ්‍ය ආලේපන සුදුසු අන්දමින් නිෂ්පාදනය කරන්න මට සිත කිව්වා. මම කෙළින්ම කාර්මික තාක්ෂණ ආයතනයේ නිලධාරීන් හමු වුණා. එහිදී මගේ අවශ්‍යතාව දැන්වූ විට එයට සුදුසු තාක්ෂණය සහ මඟපෙන්වීම ලබාගන්න හැකි වුණා. ඇත්තෙන්ම මෙවැනි ආයතන තිබෙන බව දන්නේ කීයෙන් කී දෙනාද? මගේ ජයග්‍රහණය පිටුපස ITI ආයතනය සිටිනවා. මම මගේ නිෂ්පාදන කුරුණෑගල අවට ජනප්‍රිය කරගෙන තිබෙනවා." වෙළෙඳ විමසීමකට My Care දූරකතන අංකය.0779105725.

සමන් සිල්වා මහතාගේ ව්‍යාපාරය රසායනාගාර මෙවලම් නිෂ්පාදනයයි. දේශීය වශයෙන් කර්මාන්තයන්හි නියුතු වූවන්ට අවශ්‍ය පරිසර පද්ධති, සේවාවන් සිදු කිරීමට අදාළ සුදු යකඩ හෝ ඇලුමිනියම්වලින් සැකසූ උපකරණ නිෂ්පාදන සැපයීමේ සේවාවක යෙදෙයි. පාසල් රසායනාගාර උපකරණ සැපයීම ප්‍රධාන වශයෙන් සිදු කරන ඔහු දේශීය කර්මාන්ත සඳහා වූ උපකරණ නිෂ්පාදනයෙහි යෙදෙයි. ඔහු තම නිෂ්පාදන පිළිබඳ කතා කරන්නේ ආඩම්බරයෙනි. ඔහුගේ ආරම්භය ගැන මෙසේ කියයි:

"වසර ගණනක් විවිධ ගෘහස්ථ උපකරණ නිර්මාණකරුවකු ලෙස වැඩ කරනවා. ඉඩ ප්‍රමාණය සහ අවශ්‍යතාව සදහා වූ මෙවලම් සහිතව උපකරණ සෑදීම මගේ හැකියාවයි. කාර්මික තාක්ෂණ ආයතනයේ සහායෙන් ක්‍රියාත්මක කෙරෙන ප්‍රතීතනය ලත් ආයතන සදහා වැඩ පරිසර උපකරණ මවිසින් නිර්මාණය කරනවා." පාසල් හෝ වෙනත් කිසියම් රසායනාගාරයක අවශ්‍යතාවක් වෙතොත් iLAB TECH LANKA 0727000580 ඇමතීමෙන් සමන් සිල්වා මහතාගේ සේවය ලබාගැනීමට හැකියි.

ආචාර්ය චන්දිම විජේසිරිවර්ධන කාර්මික තාක්ෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂණ විද්‍යාඥ ලෙස කටයුතු කරයි. ඔහු ප්‍රථම වරට එම ආයතනයේ පැවැත්වු ප්‍රදර්ශනයේ අරමුණු පැහැදිලි කළේය.

"තාක්ෂණ ආයතනය විද්‍යා හා පර්යේෂණ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මකයි. තාක්ෂණය ඔස්සේ ජාතිය වෙත ගමන් කිරීම අපේ අරමුණයි. ප්‍රධාන අංග කිහිපයක් ඔස්සේ අප ක්‍රියාත්මකව සිටිනවා. ඒවා ආහාර තාක්ෂණ අංශය, ශාක තාක්ෂණ අංශය, ද්‍රව්‍ය තාක්ෂණ අංශය ලෙස වෙන් වෙන්ව ක්‍රියාත්මක කෙරෙනවා. එළවුළු, ධාන්‍ය, පලතුරු, රසකැවිලි කිරි නිෂ්පාදන, මස්, මාළු සහ ආහාරයට ගන්නා සෑම දෙයක් පිළිබඳවත්, ශාක තාක්ෂණය යටතේ ශාක සාර ඖෂධ, ආලේපන සහ දියර වර්ගත්, ද්‍රව්‍ය තාක්ෂණය යටතේ සුසංහිත ද්‍රව්‍ය, පිරිසුදු කිරීමේ දියර, පිසීමට ගන්නා බදුන්, මෙන්ම සෙරමික් සහ මැටි නිෂ්පාදනවල අගය වැඩි කිරීමේ ක්‍රමයන් පිළිබදව තාක්ෂණික නිපුණතාවන් ලබා දීම ප්‍රධානයි. මේ ප්‍රදර්ශනය සදහා මූලිකත්වය දී ඇත්තේ ශාක සාර තාක්ෂණයයි.වෙළඳපොළේ සංසරණය වන විදේශීය විවිධ ඖෂධ වර්ග සමග තරග කළ හැකි සහ දේශීය දේශගුණයටත් අපේ ජනතාවගේ මුදල් පසුම්බියටත් මහෝපකාරි වන දෑ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීම තාක්ෂණ කර්මාන්ත ආයතනයෙන් සිදු කරනු ලබනවා. ඒ වාගේම නිෂ්පාදන ක්ෂේත්‍රයේ නියුතු වූවනට පවතින ගැටලු නිරාකරණය කරගැනීමටත් සහ මාර්ගෝපදේශනය ලබා දීමත් නිරන්තරව සිදු කරනු ලබන ව්‍යාපාරය දියුණු කරගැනීමට, පාරිභෝගික අධිකාරිය, නිෂ්පාදනයන් සඳහා පේටන්ට් බලපත්‍ර ලබාගැනීමය, ණය ආධාර සඳහා සහයන් ආදිය ලබා දීමත් ඒවාට නිවැරදි විසඳුම් ලබා දීමටත් කටයුතු කරනවා. මේ ප්‍රදර්ශනය මුල් වරට ආරම්භ කලේ අත්දැකීමක් ලබා ගැනීම සදහායි. ලබන වසරේ දී අනතර්ජාතික සහයෝගය සහිතව අපට තරග කළ හැකි වෙළෙඳ ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු කරනවා."

ITI තාක්ෂණයෙන් ව්‍යාපාරයක් අරඹන්න අවස්ථාවක් ඇතිබව පැවැසුවේ පර්යේෂණ විද්‍යාඥ රම්‍යා පිටිපන ආරච්චි මහත්මියයි. ඇය පවසා සිටියේ රටේ අවශ්‍යතාවට අනුව පාරිභෝගික වුවමනාකම් සදහා ඕනෑම පැතිකඩකින් ව්‍යාපාරයක් ආරම්භ කළ හැකි බවයි. විවිධ ක්ෂේත්‍රවල නිපුණතා ලැබූ කාර්ය මණ්ඩලයක් සිටීම, තාක්ෂණික විශ්ලේෂණ උපකරණ සහිත නවීන විද්‍යාගාර පැවැතීම සහ ඒවා ISO 9001:2008 තත්ත්ව සහතික ලත් විද්‍යාගාර මෙන්ම SWEDAC සහ SLAB ප්‍රතීතනය ලත් (Accredited) විද්‍යාගාරවලින් සමන්විත වීම සුවිශේෂතා බවය. ඒ අනුව තාක්ෂණ සේවා, පර්යේෂණ සහ සංවර්ධන සේවා, ආදියත් ආයතනයේ තවත් ක්‍රියාකාරකම් බවයි. ඒ සම්බන්ධව හෝ නව ව්‍යාපාරයක් සදහා උනන්දු වන අයට 0112379800 අංකයෙන් විස්තර ලබාගත හැකිය. ලිපිනය: කාර්මික තාක්ෂණ ආයතනය, 363. බෞද්ධාලෝක මාවත, කොළඹ 7.

චතුරි පෙරේරා මෙණෙවිය දේශිය නිෂ්පාදන ක්‍රියාවලියෙහි නිරත වූවනට උසස් තත්ත්වයේ රසායනයන් ආනයනය කරන්නීය. PURECHE ඇයගේ වෙළෙඳ නාමයයි.

"විවිධ ක්ෂේත්‍රවලට අයත් නිෂ්පාදන වෙනුවෙන් රසායන ද්‍රව්‍ය විදෙස් රටවලින් ගෙන්වනවා. ඒවා ඉතා උසස් ප්‍රමිතියෙන් යුතුයි. ශාකසාර ආලේපන සදහා ආරක්ෂාකාරක ලෙස යෙදෙවිය හැකි රසායනයන්, සම හිරු එළියෙන් ආරක්ෂා කරන රසායනත් ඒ අතර මුල් තැනක් ගන්නවා. මහ පරිමාණයේ නිෂ්පාදන ආයතන පමණක් නොවෙයි; සුළුවෙන් ආරම්භ කරන ඕනෑම අයකුට අත්හදාබැලීම් සහ පර්යේෂණ කිරීම් සඳහා නොමිලයේ සම්පල ලබා දීමත් කරනවා. කුඩා පරිමාණයෙන් නිෂ්පාදනය කරන අයට සුළු ප්‍රමාණයෙන් යුතුවත් රසායනයන් මිල දී ගත හැකියි. සබන් නිෂ්පාදනය රූපලාවණ්‍ය ඖෂධ සදහා පමණක් නොවෙයි පිරිසුදු කිරීමේ, කල් තබාගැනීමේ නිෂ්පාදන සදහාත් සිය ගණනක් වූ රසායනයන් ආනයනය කරනවා." 0113094484 ඇයගේ දූරකතනයයි.

කාර්මික තාක්ෂණ ආයතනයේ උපදෙස් මත නව නිෂ්පාදන බිහි කර වෙළෙඳ ලොව ජය ගත් පිරිස තමන්ගේ අනාගතය පමණක් නොව, රටේ අනාගතයද දීප්තිමත් කරන බව ප්‍රදර්ශනයෙන් සනාථ විය.


අනිල් ලසත් පෙරේරා
පන්නිපිටිය විශේෂ 

Comments