
• මේ ඔබගේ දිවියේ සැත්තෑ දෙවන වසර යි. සාහිත්‍යකරණයට පිවිස කොපමණ කලක් ගත වනවා ද යන පැනයෙන් මේ සංවාදය අරඹමු.
පාසලේ හය - හත පන්තිවල සිට ම මා කවි - රචනා ලියනවා. එහෙම බැලුවා ම දැන් මගේ සාහිත්‍යකරණයටත් සැට වසරකට ආසන්න කාලයක් වයස යැ යි සලකන්න පුළුවන්.
• මතක ද ඒ අතරින් මුද්‍රිත අක්ෂරයෙන් පළ වූ පළමුවන නිර්මාණය?
ඔව්. ඒ ‘මලක මඟුල’ නමින් පැදි පෙළක්. එක්දාස් නවසිය හැට හතරෙ, දවස පත්තර කන්තෝරුවෙන් ගහපු ‘ගීතාංජලී’ පත්‍රයෙයි පළ වුණේ.
• ළමා සහ යොවුන් සාහිත්‍යය සහ නවකතාකරණය යන මේ සාහිත්‍ය ප්‍රවර්ග යුග්මයේ ම ඔබ එක ලෙස සමත්කම් දක්වනවා. යොවුන් කෘතියක් සඳහා (මිතුරෝ) වරක් ඔබ අන්තර්ජාතික සම්මානයකින් ද පිදුම් ලබන අතරේ, නවකතාවක් (අයෝමා) සාර්ථක ලෙස චිත්‍රපටයට ද නැඟුණා. මෙදෙකෙහි වෙනස ඔබ දකින්නේ කොහොම ද?
ළමා හා යොවුන් සාහිත්‍යය එක්තරා වයස් සීමාවක් ඉලක්ක කරගෙනයි බිහි වන්නේ. නවකතාවට එහෙම සීමාවක් නැහැ.
• යොවුන් සාහිත්‍ය කෘතිවලදී ඔබ ජයග්‍රාහි, සුඛාන්ත නිමාවක් දක්වනවා. එහෙත් නවකතාකරණයේ දී එසේ දක්නට ලැබෙන්නේ නැහැ. මෑතදී පොත් ලෙස පළ වූ ඔබේ ‘යසා’ හා ‘ගිනිගත් සල් රුක’ නවකතා දෙකේ වුණත් නිමාව ඛේදාන්ත වශයෙනුයි නිරූපණය වන්නේ. මීට හේතුව කුමක් ද?
මීට බලපාන්නේ යොවුන් සාහිත්‍යකරණයේ නියැළෙන ලේඛකයාට පැවරෙන සමාජ වගකීම යි. මෙහිදී අවුරුදු 11 - 19 අතර ගැටවර වයසේ පිරිසක් සමඟයි ඔහුට ගනුදෙනු කරන්න සිදු වන්නේ. මේ වයස් කාණ්ඩයේ මනෝ විද්‍යාත්මක සාධක සලකන විට ලේඛකයා වැඩි වගකීමකින් බැඳෙනවා. මේ වයසේ මනස ඕනෑම අතකට හරවන්න පුළුවන් මැටි පිඬක් වගේ. විශේෂයෙන් ඔවුන් අනුකරණයට වෑයම් කරනවා. ඒ වගේ ම මේ වයසේ ගැටවරයන් වීර අත්දැකීම් විඳින්න ආසයි. හැබැයි මෙහිදී ඔවුන්ට මුණගැස්විය යුත්තේ පුහු වීරයන් නොවෙයි. බොහෝ ලේඛකයන් කුඩා ළමයින් කිහිප දෙනකු එක් වී කැලෑ පාළුවන්, නිදන් කොල්ලකරුවන්, ගංජා හේන්කරුවන්, ජාවාරම්කරුවන් වැනි භයානක මිනිසුන් අල්ලන අන්දම දැක්වෙන කතාන්දර ‘වීර කතා’ හැටියට සිතාගෙන සිටීම කණගාටුව කරුණක්. එහෙම නොවෙයි. එදිනෙදා ජීවිතය තුළින් ම ඕනෑ තරම් අපට ළමා වීරයන් හමු වෙනවා. කලකට පෙර ලේක්හවුසිය ඉදිරිපිට ලොතරැයි විකුණමින් ඇවිද ගිය දරුවකු දක්නට ලැබුණා. මේ ගැන සොයා බැලීමේදී අපට දැන ගන්නට ලැබුණේ පියා නැති පවුලක අම්මාත් නංගීත් ජීවත් කරවීමට මේ දරුවා වෙහෙසෙන බවයි. ඉතින් මේ ළමයා තමන්ගේ වයසට වීරයෙක් නොවෙයි ද? ලේඛකයන් හැටියට අප කළ යුත්තේ ළමයා තුළ සිටින මේ වීරයා මතු කිරීමයි.
ඉතින් ගැටවර විය ඉලක්ක කරගෙන නිර්මාණ කරණයේ යෙදෙන ලේඛකයකුට තම පාඨකයන් වඩා හොඳ මට්ටමකට ඔසවා තැබීමේ, ඔවුන් තුළ යහපත් අරමුණු පරමාර්ථ දැනවීමේ, ඔවුන් සුභවාදී ධනාත්මක මිනිසුන් බවට පත් කිරීමේ බරපතළ සමාජ වගකීම පැවරී තිබෙනවා.
මෙහිදී සුඛාන්ත ස්වරූපයකින් ප්‍රබන්ධය නිරූපණය කිරීමට නිතැතින් ම සිදු වනවා.
වයස් සීමාවක් නැති නවකථාවකදී ලේඛකයාට එහෙම බැඳීමක් නැහැ. ඔහුගේ ඉලක්කය පොදුවේ බුද්ධිමත් - පරිණත පාඨක පිරිසක්. සමාජය යථාර්ථවාදීව විවරණය කිරීමේ දී අමිහිරි තත්ත්වයන් නිරූපණය නොකර ඉන්න ලේඛකයාට බෑ. මෙහිදී වැදගත් වන්නේ පාඨකයාගේ මනස තුළ අවසාන වශයෙන් ජනනය වන ආකල්පයයි. ඔබ වටහාගෙන තිබෙන නිමාවේ වෙනසට හේතුව එයයි.
• ඔෙබ් බොහෝ නවකතා කලින් පුවත්පත්වල පළවූ ඒවා. කොටස් ගැන නොසිතා අඛණ්ඩව ලියා නිම කළ කෘතිවලත්, කොටස් වශයෙන් සතිපතා පළ කරන අරමුණින් කළ නවකතාවලත් නිර්මාණාත්මක පාර්ශ්වයේ වෙනස ඔබ දකින්නේ කොහොමද?
කොටස් වශයෙන් ලියන නවකතාවකදී සාමාන්‍යයෙන් ලේඛකයකුට කොන්දේසි කිහිපයකට අවධානය යොමු කරන්න සිදු වනවා. පළ වන පිටුවේ ප්‍රමාණය මත සතියකට ලිවිය යුතු ප්‍රමාණය ඉන් එකක්. අනෙක් අතට ඊළඟ සතියේ ආරම්භය ගැන කුතූහලයක් ජනනය කරන අවසානයක් සති පතා ඉල්ලා සිටිනවා. හැබැයි, මට නම් කවදාවත් පුවත්පත් කතුවරුන්ගෙන් මේ වගේ බලපෑම් ඇවිත් නැහැ. ඒ නිසා මා කවදාවත් සතියේ නැවැත්විය යුතු තැන ගැන සිතුවේ නැහැ. කතාව අඛණ්ඩව ගලාගෙන ගියා බාධාවක් නැතුව.
අනෙක් අතට ‘කරමසෝ සහෝදරයෝ’, අපරාධය හා දඬුවම’ වැනි ලෝක සාහිත්‍යයේ සම්භාවනාවට පාත්‍ර වූ පොත් පවා මුලින් ලියවී තිබෙන්නේ සඟරාවල යි. එයින් පෙනී යන්නේ ලේඛකයාගේ ශක්‍යතාව මත මේ වෙනස ප්‍රකට වෙනවා ද නැද්ද යන්න තීරණය ව බව යි.
• ඔබ සැබෑ ජීවිතයේ දී සමාජ අසාධාරණයට එරෙහිව නොබා පෙනී සිටි සටන්කරුවෙක්. අසූවේ සුපතළ වැඩ වැරුමේදී ඔබට රැකියාව අහිමි වනවා. ඒත් ඔබ අදීනව පොළේ සහල් විකුණනවා. එහෙත් අපේ බොහෝ සටන්කාමි ලේඛකයන් අරගල භූමියේ සිටියේ නැහැ. වත්මන් දේශපාලන - සමාජ යථාර්ථය තුළ ‘අරගලය’ කොතරම් දුරට වලංගු ද? ප්‍රායෝගික ද?
ජනතාවට අවංකව සේවය කරන පක්ෂයක් නැත් නම් කිසිම සටනක් කළ නොහැකියි. සමාජ අවශ්‍යතාවක් මත යම් යම් විරෝධතා පැන නැඟුණත් නිසි නායකත්වයක් නැති ව ඉබාගාතයේ යනවා මිස, කිසිවක් වන්නේ නැහැ. වරින් වර එහි නායකත්වය ගන්නට ‘කොන්ත්‍රාත්කාරයන්’ ඉදිරිපත් වුවත් තම අරමුණු ඉටු වූ පසු ඔවුන් ඉවත් වනවා. ඉන් පසු සමාජ අවශ්‍යතාවට කිසියම් වෙනම ‘ලේබලයක්’ ඇලවී එයත් හෑල්ලු වීම මිස වෙන දෙයක් සිදු වන්නේ නැහැ. චීනයේ අසහාය නායක මාවෝ සේතුං තුමා පවා මේ තත්ත්වය විග්‍රහ කර තිබෙනවා. අපේ රටේ වත්මන් තත්ත්වයත් ඔය ඇසුරෙන් ම වටහා ගන්න පුළුවන්.
• මෑතක සිට ඔබේ කෘතිවල විශේෂ අාධ්‍යාත්මික නැඹුරුවක් දක්නට ලැබෙනවා. සැබැවින් ම මෑතකම මුද්‍රණද්වාරයෙන් නිකුත් වූයේ නවකතා දෙකක් වුවත්, ඒවා කලකට පෙර පත්‍රවල පළ වූ නිර්මාණ. අලුතින් ම ඔබතින් ලියැවුණු මෑත නිර්මාණ සියල්ල මා කී දෙයට නිදසුන්. මේ කරුණට අර සමාජ අරගලවල නිෂ්ඵලකම ගැන ලද ජීවිතාවබෝධයත් බලපෑවා ද?
මගේ ජීවිතයේ එක යුගයක් සමාජයට සේවය කරන්න කැප කළා. ඒ යුගයේ බෞද්ධයකුව ඉපදුණත් ඒ අනුව ජීවිතය හැඩගසා ගන්නය කියා විශේෂ නැඹුරුවක් තිබුණේ නෑ. හැබැයි ඒ සඳහා අවශ්‍ය පොතපත රාශියක් කාලයක් තිස්සේ මා එක් රැස් කළා. අවුරුදු 60 විතර වෙනකොට ඒ පොතපත ගැඹුරින් කියවන්න මා නිතැතින් ම පෙලඹුණා. මා තුළ ආධ්‍යාත්මික නැඹුරුවක් ඇති වන බව දැනෙන්න පටන් ගත්තා; භාවනාවට යොමු වුණා. මෙවර ද මා ලබන ජීවිත අවබෝධය මට පුරුදු ලේඛන මාධ්‍යයෙන් පාඨකයන් අතරට ගෙන යෑමට සිතුවා.
• දැන් ඔබ සිතන්නේ සමාජ අරගලය සඳහා ලිවීම නිෂ්ඵල බව ද?
ගොවියා කරන්නේ ජීවන වෘත්තියක්. හැබැයි ඔහු සමාජයට ‘වැඩක්’ කරනවා. පෙදරේරුවත් එහෙමයි. ඔහුත් සමාජයට ‘වැඩක්’ කරනවා: ගෙයක් හදනවා. ඒ වගේ ම ලේඛකයාත් සමාජයට ‘අවැඩක්’ නොකර ‘වැඩක්’ කළ යුතු යි. මේ නිසා ලේඛකයාට පැවරී ඇති වගකීම කවදාවත් බාල වන්නේ නැහැ.
හැබැයි හොඳ ලේඛකයන් වගේ ම සමාජ වගකීම පිළිබඳ හැඟීමක් ඇති විචාරකයනුත් සමාජයට අවශ්‍යයි. අපේ සාරධර්ම හා සමාජ ඇගයීම්වලට පහර ගැසූ විශ්වවිද්‍යාලයීය කුලකයක් නිසා කලක් අපේ නවකතාව හා කවිය හිස්, පරාජිත, අනාගමික අදහස්වල තෝතැන්නක් බවට පත් වුණා. ඉන් පසුව යුගයේ සප්ත අපදාන වස්තුව (සේන තෝරදෙනිය), වඩබාගින්න (අනුලා විජේරත්න මැණිකේ), පාරාවළල්ල (අනුල ද සිල්වා), රෝගීන් මැද නිරෝගීව (රත්නායක තිලකරත්න), කඳුයාය නිසලයි ත්‍රිත්වය (කමල් පෙරේරා), හඳපළුව සහ තනි තරුව (නිශ්ශංක විජේමාන්න), මරිය සිලෝනිකා වස්තුව (පී.බී. ජයසේකර), මාණික්කාවත (මහින්ද මස්ඉඹුල), වැහි බිත්තර (ගාමිණි කන්දෙපොළ) වගේ හොඳ නිර්මාණ ගණනාවක් බිහි වුණත්, අර වගකීමට බැඳුණු යහපත් විචාරක පරපුරක් නැති අඩුව දක්නට ලැබෙනවා.
ඒ වගේ ම එදා අපට ලෝකයේ විශිෂ්ට කෘති මවුබසින් කියවන්න ලැබුණා. සිරිල් සී. පෙරේරා, ජස්ටින් විජයවර්ධන, කේ.ජී, කරුණාතිලක, දැදිගම වී. රුද්රිගු, එස්. ජී. පුංචිහේවා, මුනිදාස සෙනරත් යාපා, කේ. වී. අමරදාස වගෙ පරිවර්තකයන් මෙහිදී විශාල කාර්යභාරයක් ඉටු කළා. ඔවුන් බොහොම පරිස්සමින් තෝරාගත් පොත් අපේ රටට ගෙනාවා. එහෙත් අද බොහෝවිට අපට විදේශයන්ගෙන් සිංහලයට නැඟී එන්නේ ලිංගිකත්වය හුවා දක්වන හිස් ප්‍රලාපයි. අරගලය ගැන වේවා අන් කවරක් ගැන වේවා සමාජයට අවැඩක් වන දෙයක් ලිවීමට ලේඛකයකු වූ පලියට කෙනකුට වරමක්, වරයක් ලැබෙන්නේ නෑ.