මම සංගීතය තේරුම් ගන්නේ චිත්‍ර කලාවෙන් | සිළුමිණ

මම සංගීතය තේරුම් ගන්නේ චිත්‍ර කලාවෙන්

සාගර විෙජ්සිංහ

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් බටහිර සංගීතය පිළිබඳව විශේෂ උපාධිධාරියකු වන සාගර විජේසිංහ වසර 2006 දී ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ “අග්නි” ඔපෙරාවට දායක වන අතර එහිදී එතෙක් ස්වර ලිපි පිටපත් කිරීමකින් සංරක්ෂණය නොවී තිබූ අග්නි ඔපෙරාවේ සියලු සංගීත ස්වර ලිපි රචනය ඔහු අතින් සිදු විය. වසර හතරක කාලයක් රාජ්‍ය සංගීත කණ්ඩායමේ සේවය කළ ඔහු රූපවාහිනියේ විකාශය වූ “සැරිසර” පාරිසරික වැඩසටහනේ සංගීත අධ්‍යක්ෂවරයා ය. දැනට ඉඹුල්ගොඩ රාජසිංහ මහා විද්‍යාලයේ බටහිර සංගීත ආචාර්යවරයා ලෙස කටයුතු කරන සාගර විජේසිංහ පසුගියදා “නිහඬතාවට සවන් හැර” නමින් මීරිගම බජ්ජංගොඩ වනාන්තරයක් අතුළත පරිසරය තේමා කරගත් සංගීත සංරචනයක් එළිද­ැක්වූෙය්ය. මෙවර තුරුණු මඬල සංලාපය සාගර විජේසිංහ සමඟ ය.

• දැනට දේශියව පවතින ව්‍යවහාරික සංගීත පද්ධතියේ ස්වර ලිපි රචනය පවතින්නේ ඉතා දුර්වල මට්ටමකයි. ඒ, භාවාත්මක උද්දීපනයන් ස්වර ලිපි ඇසුරින් පෙන්නුම් කිරීම අපහසු බැවින්. භාවාත්මක උද්දීපනයන් රැසක් සහිත මෙන් ම ව්‍යවහාරික සංගීත ශිල්පීන් විසින් ඉදිරිපත් කරන “අග්නි” ඔපෙරාව ස්වර ලිපි මඟින් දේශීය හා ජාත්‍යන්තර ශිල්පීන් වෙත ඉදිරිපත් කිරීම සිදු වන්නේ කුමන ආකාරයකින්ද?

කේමදාසයන්ගේ සංගීත භාවිතාව ඒකතානීය සංගීතයක් ලෙස අවබෝධ කර නොගත යුතුයි. එය බහු නාදාත්මක සංගීතයක්. කේමදාසයන් වචන පෙළකට යටින් ස්වර පේළියක් ලියා තනුවක් යොදන සීමාව අතික්‍රමණය කරන්නේ බොහෝ කාලයකට කලින්. ඕනෑම නිෂ්පාදනයක් කිරීමට විවිධ ක්‍රම තිබෙනවා. චිත්‍රයක් අඳින්න පුළුවන් ක්‍රම ගණනාවක් අප දකිනවා. කඩ ඉරි මඟින්, දළ සටහනක් මඟින්, සම්පූර්ණයෙන් පාට තවරමින් වගේ ම තීන්තවල ඝනත්වය වැඩි කරමින් වෙනත් ම ක්‍රමයකට වුනත් චිත්‍රයක් අඳින්න පුළුවන්. මම නිතර ම සංගීතය තේරුම් ගන්නේ චිත්‍ර කලාවෙන්. අපේ රටේ චිත්‍ර කලාව ඉදිරියට යනවා. සංගීතය තාමත් විනාඩි තුනක ගීතයට සීමා වෙලා එක ම තැන.

චිත්‍රයකට අදාළ ඝනත්වය ආලෝකය හා අඳුර ආදී සියල්ල උපයෝගී කරගන්නා විට සියුම් හා උසස් කලාවක් බිහි වෙනවා. සංගීතයේත් ඒ ඝනත්වය තිබෙනවා. විශේෂයෙන් කේමදාස සංගීතය තුළ ඒ ලක්ෂණය වැඩිපුර දක්නට ලාබෙන නිසා එහි ස්වර ලිපි රචනය විශේෂයි. සංගීතයේ සුප්‍රානෝ, ඇල්ටෝ, ටෙනර් සහ බේස් කියලා හඬතල හතරක් පිළිබඳව කතා කරනවා. ප්‍රධාන තනුව සහ ඊට ආධාරක තනු තුනක් එකවර මේ හඩතල හතරෙන් ඉදිරිපත් කරමින් කේමදාසයන් සංගීතයේ ඒ ඝනත්වය ආරක්ෂා කරනවා. ඒ වගේ ම ඒ හඩතල හතරේ අඩු වැඩිභාවය විවිධයි. කේමදාසයන්ගේ මේ ඝණත්වයෙන් යුතු නිර්මාණ ඔබ පවසන ව්‍යවහාරික සංගීතයෙන් ලියන්න බැහැ. ව්‍යවහාරික සංගීත ප්‍රස්තාර ක්‍රමයෙන් දැක්විය හැකි වන්නේ ස්වර සහ කාලය පමණයි.

ඒ දෙකෙන් පමණක් මේ සංගීත වපසරිය ආවරණය කරන්න බැහැ. ස්වරයක් කොපමණ හඬ ප්‍රමාණයකින් වාදනය වෙනවාද, වාදනය වන වේගය, ඇති කළ යුතු භාවය ආදී කිසිවක් පවතින ව්‍යවහාරික ක්‍රමයෙන් ඉදිරිපත් කරන්න බැහැ. මේ සඳහා එක ම විසඳුම ලැබෙන්නේ එවැනි කාරණා සංෙක්ත විධානයන් තුන් හාරසියයකින් පමණ සමන්විත බටහිර සංගීතයෙන් පමණයි. එහෙත් සංගීතය කියන නාද මාධ්‍යය ලිඛිත මාධ්‍යයට පෙරළන විට කිසිසේත් ම එය සර්ව සම්පූර්ණයෙන් කළ නොහැකියි. බටහිර ප්‍රස්ථාර ක්‍රමයෙන් සියයට අනූවක් පමණ එය ලබා දිය හැකි නමුත් ඉතිරි සියයට දහය ශ්‍රවණ ප්‍රත්‍යක්ෂයෙන් ම අවබෝධ කරගත යුතුයි. වසර දෙකක් පමණ මා වෙහෙසවී මේ කාර්යය කරන්නේ බටහිර සංගීත ක්‍රමයටයි. ඒ නිසා එය ඕනෑ ම දේශයක සංගීත ශිල්පියකුට පහසුවෙන් භාවිතා කළ හැකි ආකාරයෙන් රචනාවී තිබෙනවා.

• ගීතයෙන් ඔබ්බට ගිය Relaxing Music, Music therapy, වැනි විවිධ සංගීත සංරචන පිළිබඳව අපට අත්දැකීම් තිබෙනවා. ඔබ වනාන්තරයක් තුළ වනාන්තරය තේමා කරගනිමින් Hearing the silence නමින් ඉදිරිපත් කරන සංගීත සංරචනය එවැනි තවත් එක් ලෝක ප්‍රවණතාවක් ද?

Modern theater now කියන සංකල්පය යටතේ අද වනවිට වේදිකාව කුමන තලයක් දක්වා වර්ධනයවී තිබෙනවාද කියන කාරණය පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕනැ. හැමදාම දකින පින්තූර රාමු වේදිකාවෙන් මිදිල සාමාන්‍යයෙන් බලාපොරොත්තු නොවන ස්ථානයක සංගීතය පිහිටුවීමක් මෙහිදී සිදු වුණා. අ‍ෙලවි ප්‍රවර්ධන වැඩක් විදියට මුදල් පරමාර්ථයෙන් ෙම් ප්‍රසංගය වෙනත් පසු තලයක් තුළ කැළයක් භාවිතා කරමින් පැවැත්වුණා නෙවෙයි. පරිසරය පිළිබඳව මට දැනුණ දේ නාද මාධ්‍යයට පරිවර්තනය කරමින් මා නිර්මාණය කළ සංගීත සංරචනයන් තමයි එහිදී වාදනය වුණේ. කෙනෙක් කැලයට ගිහින් ගීතයක් වාදනය කළාට ඒක තාර්කික වෙන්නේ නෑ. පරිසරයට ආදරය කරන්න, පරිසරය සමඟ ජීවත් වෙන්න, එය සුරකින්න කියන පණිවිඩය තමයි පරිසරය තුළ ම මගේ මේ ස්වයං නිර්මාණයෙන් ඉදිරිපත් වෙන්නේ.

• ඔබ එහිදී වාච්‍යාර්ථයෙන් මිදී නාද මාධ්‍යය පමණක් භාවිතා කරන්නේ ඇයි?

ගීතය අපට බලෙන් අස්සවන තරමට ඕනවටත් වඩා තිබෙනවා. ඒ සඳහා විශාල පිරිසකුත් සිටිනවා. සංගීතය කියන සාගරයේ විනාඩි තුනක ගීතය කියන්නේ දිය බිඳක් පමණයි. ගීතයේත් වටිනා දේ තිබෙනවා. විනාඩි තුනකට ගැඹුරු සංකල්පයක් ගොණු කිරීම ම අසීරු කාර්යයක්. එහෙත් ඊටත් ගැඹුරු යමක් කිරීමට සිටින පිරිස අඩුයි. අපේ සංගීත රසිකත්වය ඉතා දුර්වල මට්ටමක පවතින්නේ. සංගීත ක්ෂේත්‍රයේ ශ්‍රේෂ්ඨතම ශානරය වන්නේ ඔපෙරාවයි. ඔපෙරා රස විඳින්න ශ්‍රී ලංකාවේ රසිකත්වය ප්‍රබල මදි. ඒ රසිකත්වය ගොඩනැගීමට ගීතයේ සිට ඔපෙරා රසවින්දනයට පාලමක් තනන්නයි මෙවැනි වාද්‍ය ප්‍රසංගයක් පැවැත්තුවේ. ඒ වගේ ම සොබාදහම පිළිබඳව මගේ පණිවිඩය භාෂාවක් භාවිතා නොකර කිරීමෙන් එය අන්තර්ජාලය ඔස්සේ ලෝකයේ ඕනෑම කෙනෙක් ළඟට ගෙනයාමේ හැකියාවත් ලැබෙනවා.

• ඔපෙරා රසිකත්වය වගේ ම උත්තර භාරතීය ධෘපද්, ධමාර් වැනි ගැඹුරු ගායනාත් පිරිත්, ඕසේ වැනි ජන ගායනාවක් වුණත් රස විඳින්න රසිකත්වය අවම මට්ටමක් පවතින පසුබිමක ඔබ මෙවැනි නිර්මාණයක් කිරීමෙන් ඔබේ පණිවිඩය රසිකයා අතරට ගෙන යාහැකි වේ යයි ඔබ සිතනවා ද?

සපත්තු දාන්න දන්ෙන් නැති රටක් තියනවානම් අපි ඒ රටට සපත්තු දාන්න පුරුදු කරන්න ඕනැ. ඒ වගේ රසිකත්වයත් දියුණු කරන්න වෙනවා. එහිදී අපි මුලින් ම අපේ කලාවට අවංක වෙන්න වෙනවා. මට තව ම ඔපෙරා මට්ටමට යාම අපහසු නිසා මේ අතරමැදි තත්ත්වයේ නිර්මාණ කරනවා. මේ ප්‍රසංගය Green සංකල්පය යටතේ වනාන්තරයක සිදු කළා. ඊළඟට Blue සංකල්පය යටතේ දිය ඇල්ලක දොළ පාරක හා White සංකල්පය යටතේ කඳු මුදුනක මෙවැනි ප්‍රසංගයක් පවත්වනවා. මා පරිසරවේදියකු ලෙස උපදෙස් දෙන්නේ නෑ. අපි අපේ සීමා දැනගෙන කටයුතු කළ යුතුයි. ඒ නිසා මගේ වපසරියෙන් කළ හැකි දේ කරනවා. වැරදි තැන්වලින් අල්ලාගැනීම භයානකයි.

• මානව වංශ සංගීතයේදී සොබාදහාම් හඬ හා රිද්ම ලක්ෂණ පිළිබඳව අධ්‍යයනය කරනවා. ඔබගේ මේ සංගීත සංරචනයට එවැනි අධ්‍යයනයක් බලපෑවාද?

සංගිතය කියන්නේ සොබාදහම නැවත අනුකරණය කිරීමක්.සොබාදහම අමතක කර සංගීතය පිළිබඳ කතා කරන්නවත් බැහැ. සංගීතය නිර්මාණය වන්නේත් සංගීත භාණ්ඩ හා විවිධ ශෛලින් නිර්මාණය වන්නේත් සොබාදහමේ බලපෑමෙන්. පයිතගරස් කියන දාර්ශනිකයාට කම්මලක යකඩ තළන හඬ ඇසෙන විට ඔහු එය නිරීක්ෂණය කිරීමෙන් ස්වර හත නිර්මාණය වුණා කියලා මතයක් තිබෙනවා. ඒ වගේ ම සංගීත සංස්කෘති ලෙස හඳුන්වන සංගීතයේ වෙනසුකම් ද සිදුවන්නේ මෙසේ සොබා දහමේ වෙනසත් සමඟයි. ශීත ප්‍රදේශයක සංගීතය වැඩිපුර ශබ්ද වන්නේ නෑ. අප්‍රිකානු රටවල හොඳින් කට ඇර ගායනය කරනවා. අපට මෙවැනි අත්‍යාවශ්‍ය සාධකය අතහැර ශීත කාමර ඇතුළේ ඉඳන් සංගීත නිර්මාණ කරනවානම් ඒක බොරුවක්. මේ ප්‍රසංගයේදී සුමුදු පතිරාජ කියන ඔපෙරා ශිල්පියා ද, කෝසල ප්‍රියම් කුමාර කියන චිත්‍ර ශිල්පියා ද සමඟ අප තිදෙනා සාකච්ඡා කරමින් තමයි මේ නිර්මාණයන් සිදු කරන්නේ.

Comments