ඉන්දීය ඉතිහාසයේ සංස්කෘතික උරුමය වික්‍රමශීලා | සිළුමිණ

ඉන්දීය ඉතිහාසයේ සංස්කෘතික උරුමය වික්‍රමශීලා

බිහාරයේ අගනුවර වූ පැට්නාවල සිට කිලෝමීටර් 300ක් නැගෙනහිරට වන්නට සුප්‍රකට වික්‍රමශීලා බෞද්ධ ආශ්‍රම විශ්වවිද්‍යාලය පිහිටා ඇත. බිහාරය සහ බෙංගාලය පාලනය කළ පාලා රාජ වංශයේ දෙවන අධිරාජයා වූ ධර්මපාල රජු ක්‍රිස්තු වර්ෂ 9 වන සියවසේ පිහිටවූ මේ ආශ්‍රම විශ්වවිද්‍යාලය වජ්‍රයානය නොහොත් තන්ත්‍රයානය ඉගැන්වූ මධ්‍යස්ථානයක් විය.

1930 වර්ෂයේදී සී. ඊ. ඒ. ඩබ්ලිව්. ඕල්ඩ්හැම් විසින් හඳුනා ගනු ලැබූ මේ ස්ථානය පුරාවිද්‍යාඥයන් විසින් වසර තිහක් තිස්සේ ගවේෂණය කරනු ලැබුවේ ටිබෙට් සාහිත්‍යයේ වූ මුලාශ්‍රය ආශ්‍රය කර ගනිමිනි.

පැරැණි ඉන්දියා ඉතිහාසය සහ පුරාවිද්‍යාව පිළිබඳ දෙපාර්තමේන්තුව සහ පැට්නා විශ්වවිද්‍යාලයේ මෙහෙයවීමෙන් පී. බී. සිංහ සහ ආර්. සී. ප්‍රසාද් යන මහාචාර්යවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් ප්‍රදේශයේ කැණීම් ආරම්භ කරනු ලැබුවේ 1960 වර්ෂයේදීය. 1969 දක්වා ඔව්හු කැණීම් කටයුතු කරගෙන ගියහ. අනතුරුව 1971, 1980 කාලය තුළදී ඉන්දියා පුරාවිද්‍යා ගවේෂණ දෙපාර්තමේන්තුව වික්‍රමශීලා ව්‍යාපෘතිය නමින් මහා පරිමාණ වැඩ සටහනක් ආරම්භ කරනු ලැබීය.

බොහෝ කාලයක් යනතුරු ඇත්තට ම එය පිහිටි ස්ථානය සහ එහි ඉතිහාසය පිළිබඳව විවිධ ප්‍රතිවිරුද්ධ මත පළ විය. නාලන්දාවල මෙන් නිල සලකුණු ද දක්නට නොවීය. එම ප්‍රදේශයේ කැණීම්වලින් සොයා ගත් කරුණු සහ ටිබෙට් ලාමාවරුනගේ වාර්තා පදනම් කරගනිමින් ඒ ස්ථානය හඳුනා ගැනීම තහවුරු කරනු ලැබීය.

ජනප්‍රවාදවලට අනුව මෙහි ආරම්භකයා වූ ධර්මපාල රජු නාලන්දාවේ උගත් තැනැත්තෙකි. ආචාර්ය කම්පියා නමින් ද හැඳින්වුණු හෙතෙම සිද්ධි (ඥානය ලැබු තැනැත්තා) තත්ත්වයට පත් වූවකු ලෙස සැලැකේ. සංචාරයේ යෙදෙන අතරතුර ගංගා ගං ඉවුර ආසන්නයේ පිහිටි දර්ශනීය කඳු ගැටයක් ඔහුගේ සිත ඇද ගැත්තේය. එම ස්ථානයේ යෝග්‍යතාව නිසා ඔහු එහි ආශ්‍රමයක් (විහාර) ඉදි කළේ ය. භක්තිමත් බෞද්ධයන් වූ පාලාවරු එම විහාරයට අනුග්‍රාහක දායකත්වය සපයමින් එහි දියුණුව උදෙසා කටයුතු කළහ.

මේ විශ්වවිද්‍යාලය වික්‍රමශීලා නොහොත් වික්‍රමාස්සීල් නමින් හැඳින්විණ. එය පිහිටුවීමේ අරමුණ වූයේ උසස් ගුණාංගයෙන් යුතු උගතුන් බිහි කිරීමයි. වික්‍රම යන්නෙන් ශක්තියත් සීල් යන්නෙන් විනය ගරුකත්වයත් අවධාරණය කරමින් කාලයත් සමඟ මෙම ස්ථානය අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස වර්ධනය විය. ටිබට් වාර්තාවලට අනුව මෙම විශ්වවිද්‍යාලය හැඳින්වූයේ නාම් ග්නොම් නම් ත්සුල් ලෙසයි. එහි අර්ථය වූයේ විනය ගරුක ස්ථානය යන්නයි.

මේ අධ්‍යාපන මධ්‍යස්ථානය උසස් තත්ත්වයකින් පවත්වාගෙන යාම සඳහා ඊට ඇතුළත් කර ගනු ලැබුවේ වි‍ශිෂ්ට උගතුන් පමණි. එහිදී ඔවුනට ද්වාරපණ්ඩිත නමින් හැඳින්වුණු මහාචාර්යවරුන් යටතේ පුහුණුව ලැබීමට සිදු විය. මෙම ද්වාරපණ්ඩිතවරු තර්ක ශාස්ත්‍රයෙන් ද උසස් තත්ත්වයකට පත්වූ අය වූහ. විශ්වවිද්‍යාලය තුළ අංශ හතරක් විය. ඒ එක් එක් අංශය ද්වාරපණ්ඩිත බුද්ධ ජනපද කෙනෙකු යටතේ පාලනය විය. ආශ්‍රමයේ ප්‍රධානියා අධ්‍යක්ෂ විය. මේ ආයතනයට ඇතුළත් වීමට හැකි වූයේ උගතුන් ටික දෙනෙකුට පමණි. ආරම්භයේදී මෙහි භික්ෂුහු 200ක් අධ්‍යාපනය ලැබූහ. කලක් ගත වන විට ආයතනය උසස් තත්ත්වයටත් කීර්තියටත් පත්වූ අතර එහි ඉගෙනුම ලැබු සිසුන් සංඛ්‍යාව 10000 දක්වා වර්ධනය විය.

ආගමික පමණක් නොව එවකට සමාජ අවශ්‍යතාවන්ට අනුව සකස් කළ ලෞකික විෂයයන් ද මේ ආයතනය විසින් සකස් කරනු ලැබු විෂය නිර්දේශයන්ට ඇතුළත් විය. මහායාන, තන්ත්‍රයාන, මන්ත්‍රයාන සහ වජ්‍රයානද ආගමික විෂ්‍ය ධාරාවේ අංශ ලෙස පැවතිණ. මීට අමතරව චිකිත්සවෛද්‍ය (වෛද්‍ය විද්‍යාව), ශිල්පසත්නාවිද්‍යා (කලා ශිල්ප), ශබ්දවිද්‍යා (ව්‍යාකරණ), හේතුවිද්‍යා (තර්ක ශාස්ත්‍රය), අභිධර්මවිද්‍යා (අභිධර්මය) සම්ඛ්‍යා (දර්ශනය) විෂ්‍ය නිර්දේශයට ඇතුළත්ව තිබූ අනෙකුත් විෂයයන් අතර විය. මෙහි අධ්‍යාපන මාධ්‍යය වූයේ සංස්කෘත භාෂාවයි. විවිධ විෂයයන්ට අදාළව සංස්කෘත භාෂාවෙන් පොත් ලියැවුණ අතර ඒවා ටිබට් භාෂාවට පරිවර්තනය කරනු ලැබීය. වික්‍රමශීලාහි විශාල පුස්තකාලයක් පැවැති අතර එහි පොත් සහ අත් පිටපත් විශාල සංඛ්‍යාවක් තැන්පත් කර තිබිණ.

ඊට අමතරව පැරැණි හානි වූ පොත් පිටපත් කර ඒවා ද තැන්පත් කර තිබුණේ උගතුන්ගේ ප්‍රයෝජනය සඳහායි.

මේ ආයතනයේ විද්‍යා ශාලා නමින් හැඳින්වූ ප්‍රධාන ශාලාවක් විය. එය ප්‍රඥා පාරමිතා සූත්‍රය ඉගැන්වීම සඳහා පමණක් වෙන්කර තිබිණි. ප්‍රඥා පාරමිතා නමින් හැඳින්වුණ දේවතාවියකට ගරු කිරීම් වස් ප්‍රබන්ධ කළ ශ්ලෝක තිබුණි. මෙම ප්‍රඥා පාරමිතා හින්දු දේවතාවකු වූ ‘ශක්ති’ සංකල්පයට සමාන විය. බුදුන් වහන්සේගේ ගුණ කදම්බය කාන්තා වේශයෙන් සිටින ප්‍රඥා පාරමිතාව ඇතැයි සැලකිණ.

යන්ත්‍ර මන්ත්‍ර, ඉන්ද්‍රජාල සහ රහස් චාරිත්‍ර වාරිත්‍ර මෙහි වැඳුම් ක්‍රමවලට අයත් විය. මෙම නව පූජා විධි වජ්‍රයාන නමින් හැඳින්විණ. වජ්‍ර නොහොත් අකුණු සැර එහි සංකේතය විය. මෙහි බෝධිසත්ත්වයන් රෞද්‍ර ඉරියව්වලින් පෙන්නුම් කෙරිණ. තාරා, මාතංගී, පිශාචිනී, යෝගිනී, දකිණි වැනි ඒ වන විටත් මහායානයට අයත් යැයි සැලකුණු දේවතාවියන්ට ද වැඳුම් පිදුම් කෙරිණ. ඔව්හු අකුණු සැරයෙන් සන්නද්ධව සිටියහ.

නාලන්දාවේ මෙන් නොව වික්‍රමශීලා රාජකීය විශ්වවිද්‍යාලයක් විය. එහි කුලපතිවරයා වූයේ රජතුමායි. සියලු උපාධි පිරිනමනු ලැබුවේ රජතුමාගේ අනුමැතියෙනි. පණ්ඩිත සහ මහා පණ්ඩිත වැනි උපාධි ලබා දුන්නේ දැනුම ලබා ඇති මට්ටම අනුවය. මෙහි පරිපාලන කටයුතු කරනු ලැබුවේ ඉහළම උගතුන්ගෙන් සමන්විත පාලක සභාවකිනි. එහි ප්‍රධානියා අධ්‍යක්ෂ නමින් හැඳින්වුණ අතර ගුරුවරු ආචාර්ය ලෙස හැඳින්විණ.

වික්‍රමශීලාහි ඉගෙනුම ලැබූ භික්ෂුන් ගත කරනු ලැබුවේ සරල ජීවිතයකි. ආයතනයට ඇතුළු වූ නවකයන් ජ්‍යෙෂ්ඨ භික්ෂුවකගේ අධීක්ෂණය යටතට පත් කෙරිණ. ඒ සාමනේර භික්ෂුන්ට වැඩිහිටි භික්ෂුන්ගේ පෞද්ගලික සහකාරයන් ලෙස කටයුතු කිරීමට ද සිදු විය. මෙහි සේවය කළ ගුරුවරු තම සිසුන්ට න්‍යායික දැනුම ලබාදීමට අමතරව ආත්ම දමනය පුහුණු කරවන ලද අතර ලෝක ස්වභාවය පිළිබඳව ද දැනුවත් කළහ. වික්‍රමශීලාවල අධ්‍යාපනය ලැබු උගතුන්ට විදේශ රටවලින් ආරාධනා ලැබුණ අතර විදේශිකයෝ පුහුණුව ලැබීමට එම විශ්වවිද්‍යාලයට පැමිණියහ.

වික්‍රමශීලාවල සිටි ඉතා ප්‍රකට උගතකු වූ රත්නාකරශාන්ති ලංකාවේ රජුගේ ආරාධනයක් පරිදි මෙහි පැමිණ බුද්ධ ධර්මය දේශනා කළේය. අටිස නමැති භික්ෂුව තම අනුගාමිකයන් 35 දෙනකු සමඟ ටිබට් දේශයට ගොස් මහායාන බුද්ධාගම ප්‍රචාරය කළහ. අනතුරුව ඉන්දියාවට පැමිණි ටිබට් උගත්තු සංස්කෘත පොත් ටිබට් භාෂාවට පරිවර්තනය කළහ. ජයශීලා (නාග් ත්සෝ) සහ වීර්යසිම්හ (ගයි ත්සොන්) මේ සම්බන්ධයෙන් විශේෂයෙන් සඳහන් කළ යුතුය. වික්‍රමශීලා විශ්වවිද්‍යාලයෙන් උගත් බෞද්ධ භික්ෂුන් 84 නමක් ඉන්දියාවේ මධ්‍යමිකා මන්ත්‍රයාන ව්‍යාපාරය ආරම්භ කළහ.

වික්‍රමශීලා පිහිටියේ ගංගා නම් ගං ඉවුරේ රළු බෑවුම් සහිත කඳු ගැටයකයි. එහි සිවු දිසාවට විහිදුන දොරටු හයක් විය. ඒ අතර ප්‍රධාන දොරටු දෙකක් වූ අතර එම දොරටු අසල අමුත්තන් සඳහා විවේක කාමර විය. මෙහි මධ්‍යයේ චෛත්‍යයක් සහ ‘මහා බෝධි’ ජීවමාන ප්‍රමාණයේ පිළිමයක් ද විය. ඒ වටා ශ්‍රමණයන් සඳහා ඉදි කළ කුටි විය. මේ සියල්ල උස ප්‍රකාරයකින් වට කර තිබිණ.

මෙම ස්ථානයෙන් පළමුවෙන් හඳුනා ගනු ලැබුවේ ගඩොළින් ඉදි කළ ස්තූපයයි. එහි උස මීටර් 15ක් වූ අතර වට ප්‍රමාණය මීටර් 100 ක් විය. මෙහි සිවු දිසාවට මුහුණලා ඉඩකඩ සහිත ශාලා හතරකි. උතුරු ශාලාවේ තිබී අඩි 4 1/2 භූමි ස්පර්ශ මුද්‍රාවෙන් යුතු බුදු පිළිමයක් හමු විය. අනෙක් ශාලාවලදී පද්මාසන මත තැබු අවලෝකිතේශ්වර පිළිම හමු විය.

මීටර් දෙකක උසින් යුත් ප්‍රදක්ෂිණාපථ දක්නට ලැබිණ. එම ප්‍රදක්ෂිණාපථයේ බිත්ති හතර කැටයම්වලින් අලංකාර කර ඇත. උතුරු වන්නට ඇති ප්‍රධාන දොරටුව අනාවරණය කරගෙන තිබේ. එම දොරටුවට මීටර් 80ක් පමණ ඈතට වන්නට තවත් කුඩා දොරටුවක් සහ ආරක්ෂක වැටක නටබුන් හමු වී තිබේ. කැණීම්වලට අනුව ප්‍රධාන මන්දිරය සහ උතුරු දොරටුව දෙවරක්ම නැවත ඉදිකර ඇත. ප්‍රධාන දොරටුව ආසන්නයේ වොටිවා ස්තූපයක් (භික්ෂුන්ගේ අළු තැන්පත් කළ ස්ථානයක්) සොයාගෙන තිබේ.

වික්‍රමශීලා විශ්වවිද්‍යාල භූමියෙන් ටෙරාකොටාවලින් නිම කළ මිනිස් සහ සත්ත්ව රූප, අලංකාර කැටයම් පුවරු, කැටයම් කළ ගඩොල්, තඹ කාසි, ඇත් දළින් කළ භාණ්ඩ, තඹවලින් තැනු පහන් සහ මුදු, ඇණ ආදිය හමු වී තිබේ. තන්ත්‍රයාන චාරිත්‍රවලට අනුව සකස් කළ මැටියෙන් පිලිස්සු උපකරණ සහ පාලා අක්ෂරවලින් ලියැවුණ සෙල්ලිපි වොටිවා ස්තූපයේ තිබී හමු වී තිබේ. මේ අතර හින්දු සහ බෞද්ධ පිළිම හමු විය. හින්දු විෂ්ණු, උමාමහේශ්වර, කාමදේව, සූර්ය, චාමුන්ද, කුබේරා, ගනේෂ, පාර්වතී ආදින්ගේ ගල් පිළිම හමු වී ඇත. විවිධ ඉරියව්වලින් යුත් ගලින් නෙළුෑ බුදු පිළිම ද දක්නට ලැබිණ. භූමි ස්පර්ශ, අභය මුද්‍රා පිළිම පද්මාසන මත තබා තිබේ. බුදුන් වහන්සේගේ පිළිම වැඩි ප්‍රමාණයක් තඹවලින් නිම කර ඇත.

සියවස් හතරක පමණ කාලයක් සංශ්‍රීකත්වයෙන් බැබළුණ වික්‍රමශීලා ක්‍රිස්තු වර්ෂ 1199ත් 1206 අතර නැතිවී ගිය බව පෙනී යයි. එහි පරිහානියට විවිධ හේතු බලපා ඇත. බෞද්ධ ඉතිහාසඥයන්ට අනුව තුර්කි රජ කෙනෙකු වූ තුරුක්ෂා නමැත්තා (බොහෝ විට භක්තියාර් කාලිජ් විය හැකිය) වික්‍රමශීලා විශ්වවිද්‍යාලය ආක්‍රමණය කර එහි සිටියවුන් මරා දමා එම ගොඩනැඟිලි කඩා දමා ඒවා ගංගා නම් ගඟට විසි කර දමා ඇත. නටබුන්වලට අනුව හිංසාකාරී ක්‍රියාවන් සිදුවී ඇති බව පෙනී යන නමුදු තවමත් එය තහවුරු කිරීමට තරම් පුරාවිද්‍යාත්මක සාක්ෂි ලැබී නැත.

ප්‍රධාන ගොඩනැඟිල්ලේ ඇති අළු ගොඩවලට අනුව හදිසියේ ඇතිවූ ගින්නකින් මේ ස්ථානය විනාශ වී තිබේ. පැරැණි විහාරය විනාශ කිරීමෙන් පසු තුරුක්ෂා විසින් ප්‍රධාන ආශ්‍රමයට කිලෝමීටර් බාගයක් පමණ දුරින් බළකොටුවක් ඉදි කරනු ලැබ තිබේ.

හේතුව කුමක් වුවත් වික්‍රමශීලා විශ්වවිද්‍යාලය ක්‍රිස්තු වර්ෂ 13 වන සියවසේ සිට අතුරුදන් වූයේ ඉන්දියා ඉතිහාසයට තවත් සංස්කෘතික උරුමයක සටහනක් ඉතිරි කරමිනි.

Comments