අඹ යහළුවන්ගේ සාහිත්‍යය පැරණි වන්නේ නැත | සිළුමිණ

අඹ යහළුවන්ගේ සාහිත්‍යය පැරණි වන්නේ නැත

සුනිල් : “මටත් මිටියක් දෙන්න නිමල්”

නිමල් : “ඔයාට මේ වැඩේ කරන්න බෑ.

මේවට පුරුද්ද තියෙන්න ඕනේ.

ඔයාගේ අතේ දියපට්ට එයි.”

සුනිල් සියල්ල විමසන්නේ හුරතල් ලෙසිනි.

සුනිල් : “එහෙනං ඔයා කඩන්නේ?”

නිමල් : මට මේක පුරුදු වෙලා හින්දා ගානක් නෑ

සුනිල් : මමත් පුරුදු වෙන්නං

නිමල් : මොකට ද?

සුනිල් : ඔයා මොකට ද ගල් කඩන්නෙ?

නිමල් : අපිට හාල් ගන්න

සුනිල් : ඔයාට වැරදිලා ගල් කඩන්නෙ පාරට දාන්න.

නිමල් : ඔව්. ගල් කඩන්නේ පාරට දාන්න තමයි.

ගල් කඩපුවාම අපිට සල්ලි හම්බු වෙනවා. අපි ඒ සල්ලිවලින් හාල් ගන්නවා.

 

මේ දෙබස උපුටා ගනු ලැබුවේ අඹ යහළුවෝ ටෙලි නාට්‍යයේ තිර රචනයෙනි.

කෘතිය පළ වූයේ 1991 දීය. ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහි වූ ටෙලි නාට්‍ය අතරින් “අඹ යහළුවෝ” යනු විශිෂ්ටතම නිර්මාණයකි. ඒ විශිෂ්ටත්වයට බලපෑ එක් ප්‍රධාන හේතුවක් වනුයේ තිර පිටපතයි. සුදත් දේවප්‍රිය එහි පිටපත් රචකයා ය; අධ්‍යක්ෂවරයා ය.

අඹ යහළු‍වෝ ටෙලි නාට්‍යය නැවත වරක් ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වන මෙසමයෙහි ඒ පිළිබඳ අනුස්මරණයක යෙදීම මැනවැයි සිතිණ.

උපුටා ගත් දෙබසින් සුනිල් හා නිමල්ගේ පන්ති පරතරයත් ඔවුන්ගේ සිතුම් ලෝකවල ඇති වෙනසත් මැනවින් කියැවේ.

ඒ වෙනස මැකී යන්නේ මිතුරන් දෙදෙනාගේ අවබෝධයෙනි; සෙනෙහසිනි. මේ බලන්න

සුනිල් : කෝ බලන්න ඔයාගෙ අත? ඔයාගෙ අත ගොරෝසු වෙලා.

නිමල් : ගල් කැඩුවාම ඔහොම තමයි.

නිමල් තම අත්ල එක අතකින් පිරිමදිමින් තම මිතුරාගේ අත්ල හා සසඳා බලයි.

නිමල් : ඔයාගෙ අත හරි සිනිඳුයි.

සුනිල් අහිංසක ව සිනාසෙයි.

(අඹ යහළුවෝ තිර රචනය 13 පිටුව)

ටී. බී. ඉලංගරත්නගේ අඹ යහළුවෝ නවකතාව නූතන සිංහල සාහිත්‍යයෙහි අතිශයින් ජනප්‍රිය වූ ද හෘදයංගම වූ ද කෘතියකි. මුලින් පළ වී දශක කිහිපයක් ඉක්මවා තිබියදීත් ඒ පොතට තවමත් විශාල පාඨක ඉල්ලුමක් පවතී. මාර්ටින් වික්‍රමසිංහගේ අපේ ගමට හා මඩොල් දූවට හිමි ව ඇති පාඨක ප්‍රසාදයට සමාන ප්‍රසාදයක් අඹ යහළුවෝ කෘතියට ද ඇත.

නවකතාව අනුසරින් ටෙලි නාට්‍යයක් නිර්මාණය කිරීම ඔස්සේ සුදත් දේවප්‍රිය මුල් නිර්මාණයේදී සැඟවී ඇති ඇතැම් සියුම් තැන් මනාව විදාරණය කිරීමට ද සමත් විය.

“එදා තරගය තිබුණේ හොඳ නිර්මාණයකට. අද තරගය තිබෙන්නේ බාල ම නිර්මාණයට”

නූතන ටෙලි නාට්‍ය සම්බන්ධයෙන් පසුගිය දිනෙක මේ අදහස පළ කළේ ප්‍රවීණ සාහිත්‍යවේදියකු හා තිර පිටපත් රචකයකු වන සෝමවීර සේනානායකයි. එය සනාථ කිරීම සඳහා අඹ යහළුවෝ ද හොඳ ම සාක්ෂියකි.

අඹ යහළුවෝ නිර්මාණය කෙරුණේ සිංහල ටෙලි නාට්‍යයේ මුල් දශකයේදී ය. එසේ වුව ද එය විශිෂ්ට නිර්මාණයක් බවට පත් විය. මුල් යුගයේ ටෙලි නාට්‍ය අතර, කන්දේ ගෙදර, පලිඟු මැණිකේ, වෙද හාමිනේ, කඩුල්ල, ගිරය අනුස්මරණීය මතක රැසක් ඉතිරි කර ඇත. අඹ යහළුවෝ ද එම නාමාවලියට ඇතුළත් වෙයි.

“රූප රචනයත්, රාමුව තුළ නළු නිළියන් ප්‍රමුඛ කොටගත් ක්‍රියාදාමයන් පෙළගැස්වීමත්, කැමරා භාවිතයත්, කිසියම් කෘතියක තබා කරන සුසංයෝගය අපගේ ටෙලි නාට්‍යයන්හි මා නොදැක ඇති තරමට දුර්ලභ ය. ‘අඹ යහළුවෝ’ එවැනි දුර්ලභ අවස්ථාවකි. ශූර සිනමාකරුවකු හෝ බලාපොරොත්තු තැබිය හැකි අංකුර සිනමා ප්‍රතිභාවක් හෝ හඳුනා ගැනීමේ ප්‍රධාන නිමිත්ත එය යැයි සිතමි.”

තිස්ස අබේසේකර අඹ යහළුවෝ පිළිබඳ එසේ ලිවී ය. ආරම්භයේ ඇතැම් කලා විචාරකයන්ගේ ගැරහුමට හා අනතුරු ඇඟවීමට ලක් වූ ශ්‍රී ලාංකික ටෙලි නාට්‍ය කලාව ස්වාධීන කලා මාධ්‍යයක් හැටියට ප්‍රවර්ධනය කිරීමට යත්න දැරූ කිහිප දෙනෙක් ම වෙති. ඒ නිර්මාණ අතිශය ජනාදරයට පත් විය. රූපවාහිනී යන්ත්‍ර මෙන් ම නාළිකා ද සුලබ නොවූ එකල රූපවාහිනියක් ඇති නිවෙසකට විලක්කු හෝ පන්දම් ආධාරයෙන් දුර ගෙවා ගොස් ටෙලි නාට්‍ය නැරැඹීමේ සිරිතක් තිබිණ.

විදුලි බලය නොතිබූ එකල ගම්වල රූපවාහිනී යන්ත්‍රය ක්‍රියාත්මක වූයේ කාර් බැටරිවල ආධාරයෙනි. අඩු පහසුකම් මැද්දේ වුව ද එකල රූපවාහිනිය අවරසිකත්වයේ ගොදුරක් බවට පත් නොවී ය.

එකල විකාශය වූ ටෙලි නාට්‍ය නැවත නැවත විකාශය කරන්නට සිදු වී ඇත්තේ අවරසිකත්වය විසින් රූපවාහිනී මාධ්‍යය මුළුමනින් ම ගොදුරු කරගෙන ඇති සමයක ය.

මේ නිසා අපගේ ආස්වාදයට හේතු වූ පැරැණි ටෙලි නාට්‍ය නැවත විකාශය වන විට අප සිත්හි පහන් සංවේගයක් උපදී.

අඹ යහළුවෝ නවකතාවෙහි කතා ප්‍රවෘත්තිය පොහොසතාගේ අනුකම්පාවට ලක්වන දුප්පතාගේ ජනප්‍රිය තේමාව ගෙන ඇතැයි බැලූ බැලුමට පෙනේ. එසේ වුව ද එහි වස්තුව (Plot) ගොඩනැ‍ඟෙන්නේ ඊට එහා ගිය අරුත් සමුදායක් ජනනය කරමිනි. ඇති නැති පරතරය, කුලීකරුවාගේ වහල් චින්තනය, මධ්‍යම පාන්තිකයන්ගේ කුහකකම් යනාදී වශයෙන් තල කිහිපයක කතාව විහිදෙයි. මේ සියල්ල අතරින් හුයක් මෙන් දිවෙන මානව බන්ධුතාවල ගම්භිර බව මතු කිරීම නවකතාවේ විශේෂත්වයයි. සුනිල් හා නිමල් යන දෙමිතුරන්ගේ ප්‍රතිවිරෝධතා සහ මානුෂීය බැඳීම් එහි ප්‍රධාන වෙයි.

සුදත් දේවප්‍රිය ඇතැම් තන්හි දී ටී. බී. ඉලංගරත්න ඉක්මවා යමින් මානුෂීය අර්ථවලට වැඩි අවධානයක් යොමු කරයි. මෙය සුදත්ගේ කලා භාවිතයෙහි අවංක බව පිළිබඳ නිශ්චිත සාධකයකි. ඔහු පසු කලෙක නිර්මාණය කළ දඬුගම්යාය චිත්‍රපටය ද ඊට සාක්ෂියකි.

දරුවන්ට තම සුන්දර ලෝකය අහිමි කිරීම වත්මන් අධ්‍යාපනයෙහි මූලික ලක්ෂණයකි. දරුවන්ගේ නිදහස තරගය විසින් බිලි ගෙන තිබේ.

එකල ගමේ විදුහල්වල ඉගෙනුම ලැබූ දරුවෝ දුක්කම්කටොලු මධ්‍යයේ වුව ද නිදහස භුක්ති වින්දෝ ය. බඩගින්න හා රණ්ඩු සරුවල් මැදින් දරුවන්ගේ සෙනෙහස් බැඳීම් ලියලා ගියේ ය. අභියෝගවලට මුහුණ දීම, දයාව කරුණාව, ආදරය යනාදී ගුණාංග වැඩිහිටි විය තෙක් පැවතුණේ දරුවන්ගේ උරුමයෙනි.

ඉලංගරත්නගේ, අඹ යහළුවෝ සහ විලම්භීත නවකතා වැදගත් වන්නේ එම සත්තාව සාහිත්‍යකරුවකු හැටියට ග්‍රහණය කරගත් හෙයිනි. අඹ යහළුවෝ නවකතාව ටෙලි නාට්‍යයක් බවට පත් කිරීමේ දී සුදත් දේවප්‍රිය සාර්ථක වී ඇත්තේ උසස් කලාකරුවකු සතු ව තිබිය යුතු අවංක බව නිර්ව්‍යාජ බව සහ සමාජ උන්නතිකාමී ජීවන දෘෂ්ටිය හේතුවෙනි.

ටෙලි නිර්මාණ විෂයයෙහි පාඨමාලා දැනුම ඇති ශිල්පීන් බොහෝ දෙනකු සතු ව නොමැත්තේ ද එම ගුණාංග ම ය.

Comments