
ඉන්දියාවේ ඔඩ්ෂා ප්‍රාන්තය කේන්ද්‍රකර ගනිමින් ලබන මස 6 - 9 දා දක්වා පැවැත්වීමට නියමිත 22 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය ඉලක්ක කර ගනිමින් පැවැති තේරීම් තරගවලදී නව ශ්‍රී ලංකා වාර්තා තුනක් බිහිවිය.
යගුලිය විසි කිරීමේ ඉසව්වේදී චරිත් කපුකොටුව මීටර් 17.55 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් මීටර් 17.03 ක වාර්තාවද, ඉෂාර සඳරුවන් රිටි පැනීමේ ඉසව්වෙන් මීටර් 5.11 ක දක්ෂතාවක් ප්‍රදර්ශණය කරමින් මීටර් 5.10 ක වාර්තාවද, අනිතා ජෙගදීස්වරන් රිටි පැනීමේ කාන්තා ඉසව්වෙන් මීටර් 3.46 ක දක්ෂතාවක් ප්‍රදර්ශණය කරමින් මීටර් 3.45 ක වාර්තාවද මෙහිදී බිඳ දැමීමට සමත් වූහ. මෙකී පැරැණි වාර්තා ත්‍රිත්වයම චරිත්, ඉෂාර සහ අනිතා සතුවීම ද කැපී පෙනෙන සිද්ධියක් විය.
අවසන් වරට චීනයේ 2015 පැවැති තරගාවලියේදී ශ්‍රී ලංකාවට හිමි වූයේ මීටර් 800 ඉසව්වේ නිමාලි ලියනආරච්චි දිනා ගත් ලෝකඩ පදක්කම පමණි. මෙතෙක් පැවැති තරගාවලි 21 දී ශ්‍රී ලංකාව රන් පදක්කම් 18 ක් දිනා ගෙන තිබේ.
තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම විසි දෙනෙකුට අධික පිරිසක් සහභාගි කරවීමට නියමිත අතර, පුහුණුව සඳහා සති දෙකකට පමණ පෙර ඉන්දියාවට යාමට ද සැලසුම් කර තිබේ.
මෙතෙක් පැවැති තරගාවලි 21 දී සමස්ත රන් පදක්කම් සියය ඉක්මවා ලබා ගැනීමට සමත්ව ඇත්තේ චීනය සහ ජපානය පමණි. චීනය රන් 300, රිදී 197 සහ ලෝකඩ 109 ක් වශයෙන් සමස්ත පදක්කම් 606 ක් දිනා ගෙන තිබේ. මීට අමතරව ජපානය රන් 151, රිදී 186, ලෝකඩ 203 ක් වශයෙන් සමස්ත පදක්කම් 540 ක් දිනා ගෙන තිබේ. මෙවර සත්කාරක ඉන්දියාව රන් 74 සහ කටාර් රන් 61 ක් වශයෙන් රන් පදක්කම් අර්ධ ශතකය ඉක්මවා ලබා ගෙන තිබේ. ශ්‍රී ලංකාව මෙකී පදක්කම් සටහනේ දහවැනි ස්ථානයේ රැඳී සිටියි.
ආසියානු තරගාවලියේ ශ්‍රී ලංකාව සතු වාර්තා තුනකි. සුගත් තිලකරත්න මීටර් 400 ඉසව්ව තත්. 44.61 කින් නිම කරමින් 1998 ජූලි 20 දා වාර්තාව පිහිටුවා තිබේ. මීට අමතර දමයන්ති දර්ශා 2000 අගෝස්තු 30 දා මීටර් 400 වාර්තාව තත්පර 51.05 කින් සහ අගෝස්තු 31 දා මීටර් 200 වාර්තාව තත්පර 22.84 කින් පිහිටුවා තිබේ.
ශ්‍රී ලංකාව අවසන් වරට මෙම තරගාවලියේ රන් පදක්කමක් දිනා ගෙන ඇත්තේ 2009 චීනයේදීය. එහිදී මංජුල කුමාර විජේසේකර උස පැනීමේ ඉසව්වෙන් මීටර් 2.23 ක දක්ෂතාවක් ප්‍රදර්ශණය කරමින් රන් පදක්කම දිනා ගත්තේය.











