
• ඔබේ නිර්මාණකරණය ක්ෂේත්‍ර කිහිපයක විහිදී තිබෙනවා. මින් ඔබ වඩාත් කැමති අංශය කුමක් ද?
කෙටිකතාව. ඊට හේතුව කෙටිකතාවකින් කෙටි කාලයකදී රසයක්, වින්දනයක් හා ජීවිතාවබෝධයක් ලැබීම යි.
• ඔබේ කෙටිකතාකරණය ආරම්භ වුණේ මොන අවධියේ දී ද?
නිශ්චිත ආරම්භය 1962 දී. නමුත් ඊට පෙර ශිෂ්‍යයකු ලෙස කෙටිකතා සැලකිය යුතු ප්‍රමාණයක් විටින් විට රචනා කර තිබුණා. 1962 දී සමස්ත ලංකා මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කළ කෙටිකතා තරගයකින් ජයග්‍රහණය කළ කෙටිකතා කිහිපයකට මගේ කෙටිකතාවත් තේරී තිබුණා. ඒ නිර්මාණ සමුච්චය එම වසරේදීම “අලුත් පාලම” මැයෙන් කෘතියක් හැටියට පළ වුණා. එම කෘතියට ඇතුළත් නිර්මාණවල රචකයන්ගෙන් වර්තමානය දක්වා නිර්මාණකරණයෙහි යෙදී සිටින්නේ ජයකොඩි සෙනෙවිරත්නත් මමත් පමණයි. සිසිර සේනාරත්න පසු ව සාහිත්‍යකරණයෙන් ඈත් වී ගායකයකු බවට පත් වුණා. එකල මම රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍යයෙක්.
ඉන් පසු කාලයේ මගේ පළමු කෙටිකතා සංග්‍රහය “සුද්දා පරාදයි” මැයෙන් පළ කළා.
• ඔබ ආභාසය ලැබූ දෙස් විදෙස් කෙටිකතාකරුවන් ගැන කීවොත්...
දේශීය කෙටිකතාකරුවන් අතරින් ගුණදාස අමරසේකර සහ ජී. බී. සේනානායක ප්‍රමුඛයි. ඇන්ටන් චෙකොෆ් සහ ගී ද මෝපසාං විදෙස් කෙටිකතාකරුවෝ.
• ඔබ කෙටිකතාවට අත්දැකීම් ලබාගන්නේ කොහොම ද?
මා ජීවත්වන පරිසරයේ දකින අහන නිරීක්ෂණය කරන දේවල් ඇසුරෙන් තමයි අත්දැකීම් ලබන්නේ. උදාහරණයක් හැටියට එක් කෙටිකතාවකට විෂය වුණේ බරකරත්තකරුවකුගේ ජීවිතයයි. ඔහු බොහෝ කලක් ගමේ සිට නගරයට බඩු මුට්ටු අරං ගියා. පසු කාලයේ දී කරත්තය අබලන් වුණා. ඔහු වියපත් වුණා. ගොනාගේ කාය ශක්තිය පිරිහුණා. නමුත් මේ කරත්තකරු සමහර වෙලාවට පුරුද්දට වගේ කරත්තයේ බඩු පටවගෙන, ඔහු ම ඇදගෙන යන එන අයුරු මා දුටුවා. එය අලුත් කෙටිකතාවක් ලිවීම කෙරෙහි බලපෑවා.
• ඔබේ කෙටිකතාවලට ලැබුණු ප්‍රතිචාර කොහොම ද?
සාමාන්‍ය පාඨකයන්ගෙන් මෙන් ම ප්‍රකට විචාරකයන්ගෙන් ප්‍රතිචාර ලැබුණා. සුද්දා පරාදයි පොතේ එක් කෙටිකතාවක් 9 වසර සිංහල පාඩම් පොතට ඇතුළත් වී තිබීම නිසා ඒ පොත අලුත් පරම්පරාව අතරටත් ගියා. නැවත මුද්‍රණය කිරීමට සිදු වුණා. ගඟ අද්දර කැලේ යොවුන් නවකතාවත් 5 වසර සිසුන්ට නිර්දේශ කර තිබෙනවා.
• ගඟ අද්දර කැලේ කෘතියෙහි විශේෂත්වයක් හැටියට එහි වාක්කෝෂය හඳුන්වන්න පුළුවන්. ප්‍රාදේශීය වහර කෙරෙහි ඔබ විශේෂ උනන්දුවක් දැක්වූයේ ඇයි?
අපි තුන් කෝරළේ කැලණි ගඟ අසබඩ මිනිස්සු. ඒ පරිසරය ජීවන පැවතුම්, ආකල්ප අනුව මගේ භාෂාව සහ ජීවන ශෛලිය සකස් උනා. ලීදඬු සහ වැල් වර්ග යොදවාගෙන තනාගත් පහුරුවල උදව්වෙන් අගනුවර තෙක් බඩු ප්‍රවාහනය කිරීම එකල ජීවන සිරිතක් වනගහනයෙන් පිරී ගිය ඒ පරිසරයෙන් ලද අත්දැකීම් සමුදාය ගඟ අද්දර කැලේ කෘතියෙහි අන්තර්ගතයට බලපෑවා. ඒ පරිසරයේ ජීවත්වුණු ජනතාවගේ භාෂාව, වාගුක්ති, මේ පොතේ භාෂා ශෛලිය සකස් කළා.
• ඔබ නවකතාකරණයට පිවිසුණේ කොහොම ද?
1966 පමණ වන විට මා ලේක්හවුස් ආයතනයේ පුවත්පත් කලාවේදියකු හැටියට කටයුතු කළා. ඒ කාලයේ පාඨකයන් කෙටිකතාවට වඩා උනන්දු වුණේ නවකතාවට. මගේ පළමු නවකතාවේ නම “මාත්සර්යය.” පෙම්වතාගේ සිතෙහි පෙම්වතිය කෙරෙහි ඇති වන සැකය ලිංගික ඊර්ෂ්‍යාව යනාදී හැඟීම් විවරණය කිරීමට මා උත්සාහ කළා. පොතට තැබූ නම බර වැඩියි කියල හිතුවෙ නෑ.
මේ පොතේ නම් ගැළපෙන්නේ නෑ. ආදරය කියන වචනය අහුවෙන විදියට නමක් තියමු. පොත පළ කිරීමට බාර ගත් දයාවංශ ජයකොඩි මහතා කීවා. අන්තිමේ දී “ආදරයට බය මිනිස්සු” මැයෙන් පොතට නම තිබ්බා. නමුත් පොතේ නම ගැන මට ලජ්ජා හිතුණා. පොත පළ කර මාස තුනකින් පිටපත් සියල්ල විකිණී අවසන් වුණා. නමුත් නැවත මුද්‍රණය කිරීමේ අදහසක් ඇති වුණේ නැහැ. ඊට හේතුව ලජ්ජාවයි. 2008 වර්ෂයේ දී තමයි ඒ පොතේ දෙවැනි මුද්‍රණයක් නිකුත් වුණේ.
දෙවැනි නවකතාව “අඹු සැමියෝ” මගේ වියදමින් පළ කළේ. ඒත් පොත බෙදා හැරීම අතිශය දුෂ්කර කටයුත්තක්. ඒ නිසා ඒක අසාරථක වුණා. තෙවැනි පොත 1972 දී පළවූ “මවකගේ ගීතය” 1978 දී යශෝරාවයත් 1982 දී මැණික් නදිය ගලා බසී නවකතාවත් පළ වුණා. ප්‍රකාශකයන්ට බාර දුන් නිසා ඒ පොත් බෙදා හැරීම සාර්ථකව කෙරුණා.
• ඒ පොත් තුන ම රාජ්‍ය සම්මානයට පාත්‍ර වුණා නේද?
ඔව්. නමුත් එයින් පසු කාලයේ මා රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කළා. එකල එම මණ්ඩලවල කටයුතු කළ කේ. ජයතිලක, ලීල් ගුණසේකර සහ මිනිවන් පී. තිලකරත්න යන සියලු දෙනාම අප ලියූ නවකතා සම්මාන සඳහා සලකා බැලීමට ඉදිරිපත් නොකිරීමේ තීන්දුවක හිටියා. එසේ සලකා බැලීම ආචාරධාර්මික ප්‍රශ්නයක් නිසා.
• ඔබ ජීවන වෘත්තිය හැටියට මුලින් ම පුවත්පත් කලාව තෝරා ගත්තේ ඇයි?
පාසල් වියෙහි පටන් ම පුවත්පත් සඟරාවලට ලිපි ලිවීම පුරුද්දක්ව තිබුණා. විශේෂයෙන් ම නවයුගය සඟරාව අපේ ලිපිවලට ඉඩක් දුන්නා. ඒ අනුව පුවත්පත් කලාව කෙරෙහි ඇල්මක් ඇති වුණා. විද්‍යොදය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ මා ලේක්හවුස් ආයතනයට ඉල්ලුම් පත්‍රයක් යැව්වා. පුදුමෙ කියන්නෙ උපාධි පරීක්ෂණයට පෙනී සිටීමෙන් පසු දා ම සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවා තිබුණා. 1966 සැප්තැම්බර් මාසයේ දිනයක. ඒ අවධියේ සරසවිය හා නවයුගය දෙකේ ම කර්තෘ ධුරය හෙබවූයේ විමලසිරි පෙරේරා කවියා. ලිඛිත පරීක්ෂණයක් තිබුණේ නැහැ. මගේ ඉල්ලුම් පත්‍රයේ මා ලියූ ලිපිවල දින වකවානු සහිත ව සියලු විස්තර ඇතුළත් කර තිබුණා. ඒ කාලේ ඡායා පිටපත් ගැනීමේ ක්‍රමයක් තිබුණේ නෑ.
මුලින් ම මට දුන්නේ පියසේන රතුවිතාන කවියකු පිළිබඳ ලියූ ලිපියක් සංස්කරණය කරන්න. නවයුගයේ පළ කිරීමට සුදුසු පරිදි සකස් කර දෙන්නැයි කතුවරයා මට කීවා. ලිපිය කියවා බලා අනවශ්‍ය යැයි සිතුණු පළමු පරිච්ඡේද දෙකම කපලා දැම්මා. ඇතැම් කොටස් කෙටි කර නැවත ලීවා. මේ විදියට ලිපියෙන් සෑහෙන ප්‍රමාණයක් වෙනස් කළා. සකස් කළ ලිපිය බලලා විමලසිරි පෙරේරා මහතා ඔළුවෙ අත ගහගත්තා. ලිපිය වෙනස් කිරීමේ හේතු ඔහු මගෙන් විමසුවා. මම පිළිවෙළින් පැහැදිලි කළා. ඔහු එය පිළිගත්තා. එදාට පහුවදා ම වැඩට එන්න කීවා. එතැන් පටන් අවුරුදු විස්සක් පුවත්පත් වෘත්තියේ නියැළුණා.
• එකල පළවූ පුවත්පත් ලිපි සහ මෙකල පළ කෙරෙන ලිපි අතර වෙනසක් ඔබට පෙනෙනවා ද? ඒ වෙනස මොකද්ද?
වෙනසක් තිබෙනවා. එකල පළවූ ලිපිවල භාෂාව හා කරුණුමය අතින් නිරවුල් බවක් තිබුණා. ඒක අද දකින්න අමාරුයි. සාරවත් බව සහ කියවීමට ප්‍රිය උපදවන ගතිය අතින් එදා ලිපි ප්‍රබලයි.
• පුවත්පත් කලාවෙන් ඉවත් වෙන්න හිතුවේ ඇයි?
එහි දිගට ම රැඳී සිටීම නිර්මාණකරුවකු හැටියට මගේ ගමනට බාධාවක් යැයි සිතුණා. පුවත්පත් කලාවේදියකුටත් වඩා සාහිත්‍යකරුවකු ලෙස මගේ නම පාඨකයන් අතරට යමින් තිබුණා. පූර්ණ කාලීන ව සාහිත්‍ය නිර්මාණකරණයෙහි යෙදීමේ අරමුණක් තිබුණා. එ නිසා ඉවත් වුණා.
• ඒකට වෙනත් හේතු බලපෑවේ නැද්ද?
ඒ කාලයේ මගේ පරමාදර්ශී සාහිත්‍යකරුවන් බවට පත් වෙලා හිටියේ මාර්ටින් වික්‍රමසිංහ සහ ජී. බී. සේනානායක. මේ දෙදෙනා ම පුවත්පත් කලාවේ යෙදී සිට පසු ව පූර්ණ කාලීන සාහිත්‍යකරුවන් බවට පත් වුණා. එකල කිරි මණ්ඩල පාරේ මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ නිවෙසට නිතර යමින් ඔහු සමඟ බොහෝ දේවල් කතා කිරීමේ පුරුද්දක් මට තිබුණා. ඔහුගේ මහඟු උපදෙස් ද මට බලපෑවා. ජී. බී. සේනානායක මහතා කොළඹ පැමිණෙන අවස්ථාවල ලේක්හවුස් පඩිපෙළ නැඟලා ඇවිත් අප හමු වෙනවා. ඉන් පසු පැගෝඩා අවන්හලට ගොස් පිළිසඳරේ යෙදෙනවා.
“මිස්ටර් කවද්ද අස් වෙන්නෙ?” ඔහු මගෙන් නිතර අහන ප්‍රශ්නය එය යි. ඔය විදිහට මේ ලේඛකයන් දෙදෙනාත් ගේ තීන්දුව කෙරෙහි බලපෑවා.
• පුවත්පත් කලාවෙහිත් සාහිත්‍යකරණයෙහිත් දැවැන්තයන් හැටියට ජී. බී. සේනානායක සහ මාර්ටින් වික්‍රමසිංහ යන දෙදෙනාගෙන් නූතන ලේඛකයන් හට ලැබිය හැකි ආභාසය කුමක් ද?
ඔවුන්ගේ ලේඛන කියවන විට හැඟෙන්නේ බර අතකින් ලියා ඇති බව යි. එනම් බොහෝ පොත් කියවා ටිකක් ලිවීමේ ගුණයයි. නිවැරැදි බස සහ සමාජ හිතකාමී දෘෂ්ටිය දෙවැනි වැදගත්කමයි. ඔවුන්ගේ සාහිත්‍යයට ප්‍රේමය විෂය වූ අවස්ථාවක උනත් පසුබිමේ තිබෙන්නේ ගැඹුරු සමාජ විවරණයක්. විරාගයේ අරවින්ද යනු ඕපපාතික ප්‍රේමවන්තයකුගේ චරිතයක් නොවෙයි.
තෙවැනි වැදගත් ලක්ෂණය තමයි සාහිත්‍ය කෘතියක් නිර්මාණය කිරීම සඳහා දැරූ විශාල පරිශ්‍රමය. ජී. බී. සේනානායක මහත්තයාගෙ යම් ප්‍රදේශය එනම් කුරුණෑගල අඹකොටේට මම ගිය අවස්ථාවක දුටු දෙයක් මතක් වෙනවා.
ඔහු ජීවත් වූ නිවසෙහි මේසය, ඇඳ යනාදී විවිධ තැන්වල ඉංග්‍රීසි භාෂාවෙන් ඉන්දියාව පිළිබඳ ලියැවුණු විවිධ පොත්වල පිටු පෙරළලා කියැවීමට පහසු විදියට බරක් තබා තිබුණා. පොත් රාශියක්. ඒ වෙද්දි ඔහු නවකතාවක් ලිවීම සඳහා අවශ්‍ය පසුබිම් තොරතුරු ඇතුළත් තවත් පොතක් ලියමින් හිටියා. පුරාණ භාරතයේ ආහාර සංස්කෘතිය, සිරිත් විරිත් යනාදී වශයෙන් නවකතාවේ චරිතවලට වැදගත් වන සමකාලීන සමාජ දේශපාලන සංස්කෘතික තොරතුරු සමුදායක් සටහන් කරමින් සිටියා. ඒ තොරතුරු සමුදාය ඔහු යොදා ගත්තේ වරදත්ත නවකතාව ලිවීමට. සාහිත්‍ය කෘතියක් වෙනුවෙන් ඒ තරම් කැපවීමක් කළ ලේඛකයන් අඩුයි.
• සාහිත්‍යකරුවකු ලෙස නමක් දිනූ ඔබ ඉන් පසු චිත්‍රපටි හා ටෙලි නාට්‍ය තිර රචකයකු ලෙස කැපී පෙනෙන්න පටන්ගත්තා. ඔබ ලියූ ‘කන්දේගෙදර’ වැනි ටෙලිනාට්‍ය නැවත ප්‍රදර්ශනය කෙරෙන තරමින් එහි අන්තර්ගතය ප්‍රබල වුණත් වර්තමාන ටෙලිනාට්‍යවල එබඳු සාරවත් අන්තර්ගතයක් නැහැ. ඊට හේතුව කුමක් ද?
එකල ටෙලිනාට්‍යවල අන්තර්ගතය, කොටස් ගණන යන සියල්ල තීන්දු කළේ එහි රචකයා. එය ඔහුගේ වගකීම. එමෙන් ම එක ටෙලි නාට්‍යයකට එක අනුග්‍රාහකයයි. රාජ්‍ය ආයතනයක් හෝ පෞද්ගලික ආයතනයක්. ටෙලි නාට්‍යය ආරම්භයේ සහ අවසානයේ මිනිත්තු එකහමාර බැගින් දැන්වීම් දෙකක් පමණයි පළ කළේ. ටෙලි නාට්‍යය හරවත් එකක් වීම අනුග්‍රාහක ආයතනයේ කීර්ති නාමයට වැදගත් උනා. නමුත් පසු කාලයේදී ඒක වෙනස් වුණා. දැන් එක ටෙලි නාට්‍යයට අනුග්‍රාහකයන් ගොඩක් ඉන්නවා. මේ නිසා ටෙලි නාට්‍යයේ හැම තැන ම දැන්වීම්. ඒ අයට කීර්ති නාමය එච්චර වැදගත් නෑ. වගකීමකුත් නෑ. තිර රචකයකුටත් බරපතළ වැඩක් එහි නැහැ. මේ නිසා ටෙලි නාට්‍යවල තත්ත්වය බාල වුණා. අනෙක් කරුණ තමයි දකුණු ඉන්දියාවෙන් අවර ගණයේ ටෙලි නාට්‍ය ලාබෙට ගෙන්වීම. ඇතැම් ඒවා සිංහල දෙබස් කවා ඉදිරිපත් කරනවා.
ඒ අවධියේ උසස් නිර්මාණයක් ඉදිරිපත් කිරීම සඳහා තිබුණේ තරගකාරී බවක්. වත්මනෙහි තරගය තිබෙන්නේ බාල නිෂ්පාදන අතර බාල ම එක ඉදිරිපත් කිරීමට යි.
• සාහිත්‍ය නිර්මාණවල ඉදිරි ගමනට සාපේක්ෂ ව විචාරයේ ප්‍රගමනයක් නැති බවට නැඟෙන චෝදනාව සාධාරණ ද?
ඒ චෝදනාව සාධාරණයි. විචාරයේ පිරිහීමට හේතු කීපයක් බලපෑවා. ඉන් පළමුවැන්න සාහිත්‍ය විචාරයට විශාල ඉඩක් ලබා දෙමින් පළ වූ සඟරා සියල්ල ඇන හිටීම. විශ්වවිද්‍යාල, විද්‍යා පීඨ හා පිරිවෙන් ආශ්‍රිත ව ගොඩනැඟී තිබූ සාහිත්‍ය විචාර සම්ප්‍රදාය අභාවයට ගියා. විචාර දිරි ගැන්වීමක් සිදු නොවීමත් වරදක්. වර්තමානයෙහි සාහිත්‍ය විචාරය යම් පමණකින් හෝ කෙරෙන්නේ පුවත්පත් මාධ්‍යයෙන්. එකල ගුවන්විදුලියේ විවේචන විමර්ශන වැනි සාහිත්‍ය වැඩසටහන් තිබුණා. වත්මනෙහි විද්යුුත් මාධ්‍ය ඒ සඳහා කාලය වෙන් කරන්නෙ නෑ. පුවත්පත් මාධ්‍යයෙහි තිබූ සම්ප්‍රදායන් ද වෙනස් වෙලා. එකල පුවත්පත් කතුවරයා හෝ විශේෂාංග ප්‍රධානියා, අලුතින් පළ වෙන හොඳ පොතක් සුදුසු විචාරකයකුට යවනවා. ඔහු ලවා විචාරයක් ගෙන්වාගෙන පළ කරනවා. එම ලිපිය සඳහා මුදලක් ගෙවනවා. මේ නිසා විචාරය ස්වාධීන වුණා. වත්මනෙහි බොහෝ විට කෙරෙන්නේ පොත ලියූ ලේඛකයා කාට හෝ කියා ලිපියක් ලියවාගෙන පළ කිරීම යි. ඒ විචාරය ස්වාධීන නැහැ. එමෙන් ම කෘතියෙහි සාරය මතු නොකර හැඳින්වීමක් ලිවීමෙන් නිසි විචාරයක් සිදු වන්නේ නෑ.