ගැටුම් මැද ඉදි වුණු ශක්තිමත්ම බාධකය අස්වාන් වේල්ල | සිළුමිණ

ගැටුම් මැද ඉදි වුණු ශක්තිමත්ම බාධකය අස්වාන් වේල්ල

 අප්‍රිකා මහාද්වීපයේ ඉහළ කොටසේ මහා වියළි වැලි බිමට ඇති එකම සැනසීම වන්නේ නයිල් නදියයි. එහෙත් මේ නයිල් නදියේ ජලයට තෙමා දැමීමට හැකි වන්නේ වියළි පොළොවෙන් ඉතා සුළු කොටසකි. ඒ හේතුවෙන්ම මුහුද කරා ‍ඔහේ ඇදෙන නයිල් නදියේ ජලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට නයිල් නදිය ආශ්‍රිත රටවල පාලකයෝ කටයුතු කළහ. ඊජිප්තුවේදී නයිල් නදිය හරස් කොට අස්වාන් වේල්ල ඉදිවන්නේ ඒ අනුවය.

අස්වාන් වේල්ල ඉදිවන්නේ 1960-1970 අතර කාලයේදීය. එහෙත් මෙහි ප්‍රථම පියවර ඉදි වූ වර්ෂය ලෙස සටහන් වන්නේ 1902 වර්ෂයයි. නයිල් නදිය හරහා වේල්ලක් ඉදි කිරීමේ අදහස් එතරම් පැරණි වුවද එය යාථාර්යක් කර ගැනීමට ඊජිප්තු ජනතාවට හැකි වන්නේ 1952 ඊජිප්තු විප්ලවයෙන් පසුවය.

අස්වාන් වේලලේ සම්පූර්ණ දිග මීටර් 3830කි. එහි පළල මීටර් 980කි. වේල්ලේ පත්ල මීටර් 40කි. වේල්ල මීටර් 111ක උසකින් යුක්තය. වේල්ල දරා සිටින ධාරිතාව ජලය කියුබික් මීටර් ලක්ෂ හතළිස් තුනක් පමණ වේ. මෙමගින් එකවර මුදාහැරිය හැකි ජල ධාරිතාව කියුබික් මීටර් ලක්ෂ හතරට ආසන්න වේ.

මේ වේල්ල ඉදිකිරීමේ පුරෝගාමියා වන්නේ ඊජිප්තුවේ හිටපු ජනාධිපති නසාර් ය. නසාර් යුගයේදී මේ වේල්ල ඉදි කිරීම සම්බන්ධව රසවත් කතාද බිහි වී තිබේ. වේල්ල ඉදිකිරීමට ආධාර ලබා ගැනීමට නසාර් විසින් ප්‍රථමයෙන්ම අමෙරිකාව අමතා ඇති බවද එහෙත් අමෙරිකාවට පෙර නිකිතා කෲෂෙව් යටතේ සෝවියට් රුසියාව ඊජිප්තුවට ආධාර ලබා දීමට ඉදිරිපත් වී ඇති බවද ඒ කතා අතර වේ. අමෙරිකාව සහ රුසියාව අතර සීතල යුද්ධය පැවති සමයේ තම රටට වාසිදායක ලෙස එම දෙරටේ දේශපාලන හැසිරීම උපයෝගී කර ගැනීමට තරම් නසාර් දක්ෂ වී තිබේ.

අතීතයේ සිටම නයිල් නදිය හරහා වේල්ලක් තැන‍ීමට ඊජිප්තුවරුන් සතු වූ අභිලාෂය මුදුන්පත් කරමින් 1912දී ග්‍රීක ඊජිප්තු ඉංජිනේරුවකු වූ එ්බ්‍රියන් ඩැනියෝස් ගේ මූලිකත්වය යටතේ වේල්ලක් ඉදි කිරීමේ මූලික පියවර තබනු ලැබීය. එහෙත් 1946දී එවකට ඊජිප්තුවේ රජු වූ ෆාරුක් ඩැනියෝස් ගේ සැලැස්මට අකමැති වූ අතර කලකිරීමට පත් වූ ඩැනියෝස් වේ‍ල්ලේ වැඩ නවතා දැමුවේය.

එහෙත් ඊජිප්තුවේ විප්ලවයෙන් පසු ඇතිවූ දේශපාලන වෙනසට පසුව ඉංජිනේරු ඩැනියෝස් ගේ සැලසුමට නැවත අනුමැතිය හිමිවූ අතර වේල්ල ඉදිකිරීමේ කටයුතු යළිත් ආරම්භ කරණු ලැබීය.

දේශපාලන වශයෙන්ද ක්‍රමයෙන් ජනප්‍රිය වූ නසාර් ජනාධිපතිවරයා 1955දී අරාබි ජාතික සංගමයේ නායකයා ලෙස බැග්ඩෑඩ් සම්මුතියටද අත්සන් තැබුවේය. එහෙත් නසාර් සහ සෝවියට් රුසියාව අතර සම්බන්ධයට අමෙරිකාව එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. මැදපෙරදිග ආධිපත්‍යය තමන් සතු කර ගත යුතු බවට දැඩි මතයක් අමෙරිකාව සතු වූ අතර ඒ සඳහා සෝවියට් රුසියන් ආධාර මත ඉදිවෙමින් පැවති අස්වාන් වේල්ලද දැඩි බාධාවක් විය.

මේ අතර ඇතිවූ ඊශ්‍රායෙල් ඊජිප්තු මත ගැටුම් වේල්ලේ ඉදි කිරීම් පමා වීමට හේතු විය. 1950 අගභාගයේදී ඊශ්‍රායලයට සූවස් ඇළ තහනම් කරමින් අරාබි යුද්ධය ද ආරම්භ විය. එහිදී ප්‍රංසය සහ බ්‍රිතාන්‍ය ඊශ්‍රායලයට ආධාර කළ අතර නසාර්ගේ සහයට සෝවියට් රුසියාව ඉදිරිපත් විය. වේල්ල ඉදි කිරීම වෙනුවෙන් ඩොලර් බිලියන 1.12කට අමතර රුසියානු යන්ත්‍රසූත්‍ර සහ ආරක්ෂාවද රුසියාව නසාර්ට ලබා දුන්නේය. මේ ලබා දුන් මුදල්වලට රුසියාව අය කළ පොලී ප්‍රතිශතය සියයට දෙකක් පමණක් වීම විශේෂයක් විය.

කෙසේ වුවද මේ හැලහැප්පීම් සියල්ල මැද්දේ අස්වාන් වේල්ල ඉදි විය. පසුව සෝවියට් රුසියාව බිඳ වැටුණු අතර ඊජිප්තුව අමෙරිකාවේ මිත්‍රයකු බවට පත් විය. එහෙත් අස්වාන් වේල්ල අද වන විටද එරට මහ ජනතාවට සෙත සලසමින් සේවය කරන්නේය.

ඊජිප්තුවේ නයිල් නදිය ආශ්‍රිත ගංවතුර වැළැක්වීම, ජල විදුලිය උත්පාදනය, ගොවි බිම්වලට ජලය සැපයීම, නියං අවස්ථාවන්හිදී පානීය ජලය සැපයීම අස්වාන් වේල්ල ඉදිකිරීමෙන් පසු ඊජිප්තුව ලැබූ ජයග්‍රහණයන් අතර විය. ඉදි කර දශක හයක් පමණ ගත වූවද අස්වාන් වේල්ල අදටත් ලොව ශක්තිමත්ම නිමැවුම් අතර සිටීමට සමත්ව ඇති බවද සටහන් කර තැබිය යුතුමය.

තිලක් පුෂ්පකුමාර සේනානායක

Comments