කුණාටුවෙන් මුහුදු පත්ලට ගිය කණ්ඩුල ඇදගෙන කොළඹ ගෙනා හැටි | සිළුමිණ

කුණාටුවෙන් මුහුදු පත්ලට ගිය කණ්ඩුල ඇදගෙන කොළඹ ගෙනා හැටි

 ඒ 1992 වසරේ දීප්තිමත් දිනකි. වැහි අඳුරක් අහස මායිමක හෝ දක්නට ලැබුණේ නැත. සාගරය ශාන්ත විය. හැමූ මඳ සුළඟින් මතු වූ හීනි දිය රැළි සීරුවට කපා දමමින් කණ්ඩුල මහා සයුරේ යාත්‍රා කරමින් සිටියේය. සෑම නෞකාවක්ම කාන්තාවක් සේ සලකණු ලබන බැවින් කණ්ඩුලද කාන්තාවකට උරුම අමන්ත්‍රණයන්ට හිමිකම් කීවද ශ්‍රී ලංකා නාවික හමුදාව සතුව එවකට පැවති මහා නෞකා අතරින් ප්‍රබල නෞකාවක් වූ කණ්ඩුල සයුර මට්ටු කළ දැවැන්තයෙක්ම විය. නිවුණු ශාන්ත මාරුතය මෙන්ම චණ්ඩ කුණාටුද කණ්ඩුලට එකසේ හුරුය. ඒ කිසිවකින් බිය නොවන වීර නාවිකයන් රැගෙන අහස සිඹින රළ මතින් ඉදිරියට යෑම කණ්ඩුලට අමුතු දෙයක් වූයේ නැත.

එදා ඒ ශාන්ත හිමිදිරියේ කණ්ඩුලගේ අරමුණ වූයේ මන්නාරම් ප්‍රදේශය බලා යාත්‍රා කිරීමය. මන්නාරම ආශ්‍රිතව පිහිටා තිබූ හමුදා කඳවුරු කිහිපයකට ලබා දීමේ අරමුණින් යුතුව ආහාරපාන සහ ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කණ්ඩුල නෞකාව තුළ ගබඩා කර තිබිණ.

අහසේ නිල් පැහැය වෙනුවට කැලඹුණු අඳුරු පැහැ වලාකුළු මතුවන විට කණ්ඩුල තලවිල ප්‍රදේශය පසුකරමින් සිටියාය. විනාඩි කිහිපයක් ගතවත්ම රළු සුළං සමගින් මුහුද වියරු වන්නට විය. කුණාටු හුරු වීර නාවිකයන් මුහුද සමග සටනට සැරසුණද මෙදා කණ්ඩුල පරාජය වන බව ඉවකින් මෙන් ඔවුන්ට දැනෙන්නට විය. ඒ හේතුවෙන්ම කණ්ඩුල මුහුදු පත්ල බලා යෑමට පෙර ඔවුහු සියලුදෙනාම ආරක්ෂිතව නෞකාවෙන් ඉවත් වූහ.

දළ රළවලට පරාජය වූ කණ්ඩුල සෙමෙන් සෙමෙන් මුහුදු පත්ල බලා ගියාය.

මේ කතාව ඇරඹෙන්නේ එතැන් සිටය.

රියර් අද්මිරාල් පියල් ද සිල්වා මා අබියස සිට එදා මතකය සිහිපත් කරන්නේය. එදා කණ්ඩුල ගිලී යන විට ඔහු ලුතිනන්වරයෙකි. කිමිදුම් අංශයේ කටයුතු කරන්නේය. කණ්ඩුල මුහුදුබත් වී සතියක් ගතවත්ම එය යළි ගොඩබිමට ගෙන ඒමේ වගකීම කිමිදුම් අංශයට පැවරෙන්නේය.

කිමිදුම් අංශය තලවිල ප්‍රදේශයට ළඟා වන විට දක්නට ලැබෙන්නේ ඉතා සාමකාමී සයුරකි. කණ්ඩුල ගිල්වා දැමූ චණ්ඩ රළ දැන් එහි නොවීය. ගොඩබිම සිට කිලෝමීටර් දෙකක් පමණ දුරින් ගැඹුරු මුහුදේ කණ්ඩුල අසරණව වැතිර සිටියාය.

දිගින් මීටර් 33ක් සහ පළලින් මිටර් 8ක් වූ කණ්ඩුලගේ සාමාන්‍ය බර ටොන් සීයකි. එහෙත් පටවා තිබූ ආහාර සහ අනෙකුත් ද්‍රව්‍ය සමග එහි බර ටොන් දෙසීයක් පමණ විය. එවකට කිමිදුම් අංශයේ ප්‍රධානියා වූ කැන්ටන් රංජිත් වෑත්තෑව එවකට ලුතිනන් කමාන්ඩර් තිස්ස ගුණතිලක සමග කණ්ඩුල ගොඩ ගැනීමේ සටනට අවතීර්ණ වූයේය.

යුද හමුදාවට ලබා දීම පිණිස රැගෙන ගිය පුපුරණ ද්‍රව්‍යද එහි වූයෙන් සියල්ල ඉතා සූක්ෂ්මව කළ යුතු විය. ප්‍රධාන සුළු නිලධාරී ජයරත්න ඇතුළු සියලුම කිමිදුම් නාවිකයන් කණ්ඩුල ගොඩ ගැනීමේ මහා මෙහෙයුම දියත් කළහ.

එහි ප්‍රථම පියවර ලෙස ජලය මතුපිට සිට අඩි 40ක් යටින් ගිලී තිබු කණ්ඩුල නෞකාවේ තිබූ අතට අසුවන සියලු දෑ ගොඩබිමට ගෙන ඒමේ කටයුත්ත ඔවුහු ආරම්භ කළහ. ඒ අනුව නැවේ භාණ්ඩවලින් විශාල ප්‍රමාණයක් සහ නැව ගොඩ ගැනීමට අවහිර වන සියලු දේ උපරිමයෙන් ගොඩබිමට ගෙන ඒමට ඔවුහු කටයුතු කළහ.

මහා කුණාටුව කණ්ඩුල මුහුදු පත්ලට ගිල්වා එතැනින් නැවතී තිබුණේ නැත. එය තම වියරු රළ යොදමින් මුහුදු පත්ලේ කණ්ඩුල ඒ මේ අත ඇදගෙන ගොස් තිබුණාය. සැබවින්ම මීයකු අල්ලා ගත් බළලකු ආහාරයට පෙර උගේ සිරුර උඩ දමමින් ක්‍රීඩා කරන්නා සේ කුණාටුව කණ්ඩුල ඒ මේ අතර විසි කර දමා තිබුණි. ඒ හේතුවෙන් නැවේ මතුපිට කොටස මුහුදු පත්ලේ වැදී විශාල හානි සිදුවී තිබෙනු කිමිදුම් කණ්ඩායමට දැක ගත හැකි විය. එය ඔවුන් විස්තර කර සිටියේ නැවේ මතුපිට තට්ටුව පිහියකින් කපා ඉවත් කර දැමුවා වැනි යැයි කියමිනි. මතුපිට තට්ටුවේ අසුරා තිබූ සියලු බඩු භාණ්ඩද විනාශ වී තිබිණි.

දැන් කළ යුත්තේ ඉතිරි වී ඇති කොටස කෙසේ හෝ මතුපිටට ගෙන යෑමය. කණ්ඩුල ගොඩ ගැනීමේ මෙහෙයුමට උර දුන් කිමිදුම් නාවිකයෝ එ් සඳහා ප්‍රථමයෙන්ම සැලැස්මක් සකස් කළහ. ඒ අනුව ප්‍රථමයෙන්ම නැව අභ්‍යන්තරයේ හිස් අවකාශය (Inbuilt Buoyancy) ඇති කොට හුළං පිරවීමත් ඉන්පසු යකඩ පොන්ටූන් යොදා නැවට උඩුකුරු තෙරපුරමක් ලබා දීමටත් යෝජනා විය‍. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සෙඩ්රික් මාටින්සටයින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව නෞකාවේ අභ්‍යන්තරයට කිමිදී අදාළ කටයුතුවල නිරත වූයේය. කොළඹ මාස්ටර් ඩයිවර්ස් ආයතනයද ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සහාය ලබා දුන්නේය.

ප්‍රථමයෙන්ම කළ යුතුව තිබුණේ නැවේ අභ්‍යන්තර හිස් අවකාශය ඇති කිරීම සඳහා බාධා ඇති කරන සිදුරු වසා දැමීමය. ඒ සියල්ල රබර් ආවරණ යොදා නට් සහ බෝල්ට් මගින් සවි කර දැමීමට ඔවුහු කටයුතු කළහ.

නැවක පා වීමේ හැකියාව රඳා පවතින්නේ බෝයාන්සි ටැංකි මතය. මේ ටැංකි පිරවීම සහ හිස් කිරීම මගින් නැවට පා වීමේ හැකියාව ලබා දීමට හැකිය. කණ්ඩුල නැව මතුපිටට ගෙන ඒම සඳහා බාහිරව විශාල ටැංකි හතරක් යොදා ගැනීමට කිමිදුම් කණ්ඩායම කටයුතු කළහ. මේ එක් ටැංකියකින් බර ටොන් දහයක් ලබා දිය හැකි විය. මේ අතර ඇති කරන ලද අභ්‍යන්තර අවකාශයට සුළං පිරවීමේ කටයුතුද සිදු විය. මේ සියලු බලය යෙදීම් හමුවේ තවදුරටත් දිය යට සිටීම ප්‍රතික්ෂේප කළ කණ්ඩුල යළිත් දිය මතුපිටට පැමිණියාය.

දැන් ඉතිරිව ඇත්තේ ඇයත් රැගෙන ආරක්ෂිත වරායක් කරා යෑමය. එහෙත් නාවික හමුදා කිමිදුම් අංශයට එසේ කිරීමට මහ සයුර ඉඩ දුන්නේ නැත. කණ්ඩුල තම පත්ලේ සඟවා තබා ගැනීමට වඩාත් ආශා කළ නිසාදෝ කණ්ඩුල රැගෙන යෑමට සූදානම් වන විට මහ සයුර යළිත් ප්‍රචණ්ඩ වූවාය. නෞකාව ඇදගෙන යෑමට සූදානම් කර තිබූ කේබල් කැඩී ‍ගොස් කණ්ඩුල නැවත වරක් සයුරු පත්ලේ අසරණව තැන්පත් වූවාය.

යළිත් වරක් මුල සිට වැඩ පටන් ගැනීමට නාවික හමුදා කිමිදුම් අංශය සිදු විය. නාවික හමුදාවට අයත් වූ වික්‍රම නමැති නෞකාව කණ්ඩුල නෞකාව තිබූ මුහුදු ප්‍රදේශයට පැමිණ කිමිදුම් අංශයට සහාය දක්වන්නට විය. වික්‍රම නෞකාවේ අණ දෙන නිලධාරී එවකට කපිතාන් කරන්නාගොඩ මෙහෙයුම බාරව කටයුතු කළේය.

යළිත් වරක් මුළ සිට කණ්ඩුල ගොඩට ගැනීමේ කටයුතු අරම්භ කළ කිමිදුම් කණ්ඩායම් දින කිහිපයකින් ඇයව ගොඩට ගෙන යා හැකි අන්දමට සූදානම් කළාය. මෙවර කණ්ඩුල උඩට ඇදී ආවද එක් පැත්තක් සමබර වූයේ නැත. එබැවින් යළිත් වරක් මුහුද යටට ගොස් ඇතුළත වානේ රාමුවක් සාදා වාහන ගෙන යෑම පිණිස සකස් කර ඇති තට්ටුව ආවරණය වන පරිදි යකඩ රාමු යොදා ඒ මත හිස් තෙල් බැරල් 98ක් යෙදීමට කිමිදුම් කණ්ඩායම් කටයුතු කළහ. ඉන් පසුව එම තෙල් බැරල්වලට හුළං පිරවූහ.

කණ්ඩුල සමබරව උඩට මතු වූයේ ඉන් පසුවය.

දැන් වික්‍රම නැව මගින් කණ්ඩුල නැව ඇදගෙන යන්නේය. හරියටම කියන්නේ නම් ගමන් ආරම්භය තලවිල වූ අතර ගමනාන්තය කොළඹ වරාය විය. මේ ඇදගෙන යෑමේදී තවත් යාත්‍රා දෙකක් ඒ සඳහා සහාය විය. උපරිම වැර යෙදුවද කණ්ඩුල කොළඹ ආවේ ඉතා සෙමෙනි. එය පැයට මුහුදු සැතපුම් එකහමාරක් පමණ විය. කොතෙක් අකැමැත්ත දැක්වූවද නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් දින දෙකක් ඇතුළත කණ්ඩුල කොළඹ වරායට කැඳවාගෙන ආවෝය.

මහ මුහද තරමටම මහ මුහුදු දියට දහදිය එක් වන තෙක් කය වෙහෙසූ මහා මෙහෙයුමක් නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් එසේ අවසාන කළහ. එහෙත් බෑ බෑ කියමින් කොළඹ පැමිණි කණ්ඩුල යළි කිසිදා නාවික හමුදාවේසේවයට එක් නොවූවාය. යළි සෙවයේ යෙදීමට නොහැකි තරමට අබලන් වූ බැවින් ඇය යකඩවලට විකුණා දැමීමට තීරණය විය.

ලබන සතියට

ටිරෝනි වෑවලගේ

Comments