
1. ගාථා - ගාථා යනු පාලි තත්සමයෙකි. මෙහි අග (මහා ප්‍රාණ) ‘ථ’ යෙදෙන බව සැලැකිය යුතු ය. එ හෙයින් ‘ගාතා’ යනු වැරැදි වහරෙකි. මේ හා අනුරූප වැ සිංහලයෙහි යෙදෙනුයේ ‘ගා’ යනු යි එය ඒක වචන වූ කල්හි ‘ගය’ යි යෙදේ. ගාථා යන්නෙන් කියැවෙනුයේ පාලි පද්‍ය යි.
2. ගාමණී - මේ ද පාලි තත්සම රූපයෙකි. මේ හා අනුරූප වැ සංස්කෘතයෙහි යෙදෙනුයේ ‘ග්‍රාමණී’ යනු යි. මේ දෙ තැන්හි ම ‘ම’ විනා ‘මි’ නොයෙදන අයුරු ද (මූර්ධජ) ‘ණී’ යෙදෙන අයුරු ද වෙසෙසින් සැලැකිය යුත්තේ ය. ඒ අනුව බලන කල්හි ‘ගාමිණී’ යනු වැරැදි වහරෙකි. එ් වුව ද පුද්ගල (සංඥා) නාමයක් ලෙස ‘ගාමිණී’ යන්න අතිශය බහුල වැ යෙදේ. පාලියෙහි වනාහි (දන්තජ) ‘න’ කාර යුක්ත ‘ගාමිනී’ ශබ්දයක් ගමනාර්ථය හා සම්බන්ධ වැ යෙදේ (දුක්ඛ නිරෝධ ගාමිනී පටිඥා ඈ තන්හි මෙනි) ‘ගාමිණී’ යන්නෙහි ‘මි’ යොදනුයේ ඒ හා පටලවා ගැන්මෙකිනැයි ද සිතිය හැකි ය.
පුරාතන ශිලා ලේඛනවල ‘ගාමණී’ යන්න දැක්වෙන්නේ ‘ගමණි’ යනුවෙනි සංස්කෘතයෙහි ග්‍රාමණී යන්නට ‘වාණිජ ශ්‍රේණියෙක නායකයා’, ‘ග්‍රාම නායකයා’ ආදි නොයෙක් අරුත් දැක්වෙයි. එහෙත් ගමණි යන්න සිංහලයෙහි යෙදී ඇත්තේ තනතුරු නමක් වශයෙනැ යි පෙනේ. රාජකීය පරම්පරාවෙහි වූවනට එ තනතුර පිරිනැමී ඇත. පසු කලෙක ‘ගැමුණු’ බවට පෙරැළී ඇත්තේ මේ ‘ගමණි’ යනු ම ය.
3. ගැබිනි - ‘ගැබිනි’ යනු සංස්කෘතයෙහි ගර්භණී හා පාලියෙහි ගම්භිනී යන්න හා අනුරූප වැ සිංහලයෙහි යෙදෙන වදන යි. මෙහි (දන්තජ) ‘නි’ යෙදෙන හැටි විමැසිල්ලෙන් බැලිය යුතු ය. සංස්කෘත ‘ගර්භණී’ යන්නෙන් මෙ වදන බිඳුණු බව සලකන ඇතැම්හු ‘ගැබිණි’ යි ලියති. එහෙත් පුරාතන සම්භාව්‍ය ව්‍යවහාරයෙහි එනුයේ ‘ගැබිනි’ යනු ම ය. තව ද එහි ඒක වචනය ලෙස ‘ගැබිත්ත’ යනුදු යෙදී ඇති බැවින් ගැබිනි යනු ම නිවැරැදි බව තහවුරු වේ ‘නි’ විනා ‘ණි’ සිංහලයෙහි ද්විත්ව නොවන බැවිනි.
4. ගැලරි - මේ වනාහි ඉංගිරිසියේ සිංහලයෙහි යෙදෙන පරිදි යි. මෙහි (දන්තජ) ‘ල’ විනා යන්න (මූර්ධජ) ‘ළ’ නො යෙදේ. එ හෙයින් ඇතැමුන් යොදන ‘ගැළරි’ යන්න නිවැරැදි නො වේ. ප්‍රතිචීන (බටහිරි) භාෂාවල (මූර්ධජ) ණ, ළ, ශබ්ද නො යෙදෙති යි ද කියැවේ.
5. ගැලුම් - මෙ ද ඉංගිරිසියෙන් බිඳගත් වදනෙකි. ඉංගිරිසි වදන ‘gallon’ යනු යි. මෙහි දු (මූර්ධජ) ‘ළු’ යොදා ‘ගැළුම්’ යනු ලිවීම නිවැරැදි නො වේ.
6. ගැහැනි - මෙහි අග (දන්තජ) ‘නි’ යෙදෙන සැටි කෙරෙහි සැලැකිල්ල යොමු කළ යුතු වේ. ඇතැමුන් මෙහි (මූර්ධජ) ‘ණි’ යොදා ‘ගැහැණි’ යි ලියනු බෙහෙවින් දක්නා ලැබේ. පෙර කල්හි සිට වියතුන් ගේ වහරෙහි ද ගැහැණි යන්න යෙදී ඇත්තේ ය. ඇතැම් ගුරුකුලයක් එය නිවැරැදි වදන සේ පිළිගනිතුදු වදන නිපැදී ඇති සලකා බලන කල්හි එහි සාවද්‍යතාව මැනැවින් පෙනේ.
මේ ‘ගැහැනි’ යන්න හා අනුරූප වැ සංස්කෘතයෙහි යෙදෙනුයේ ‘ගෘහිණි’ සේ ද පාලියෙහි යෙදෙනුයේ ‘ගේහිනී’ සේ ද සැලැකේ. ගෘහිණී යන්නෙන් ම බිඳුණු බව සලකන වියත්හු ගැහැණි යන්න නිවැරැදි සේ සලකති. ‘ගේහිනී’ යන්නෙන් බිඳුණු සේ සලකන වියත්හු ‘ගැහැනී’ යනු යොදති. ඒ කෙ සේ වතුදු පෙර පටන් සිංහල ව්‍යවහාරයෙහි යෙදී ඇත්තේ (දන්තජ) ‘නි’ සහිත ‘ගැහැනි’ යන්න ම බව සම්භාව්‍ය ග්‍රන්ථ පරීක්ෂා කිරීමේ දී පෙනේ. ගැහැනු යන රූපය ද යෙදේ. ‘හ්’ ලෝපයෙන් ගෑනි, ගෑනු යන රූප ද යෙදේ.
පැරැණි වහරෙහි ‘ගිරිහිණී’ යැ යි වදනක් යෙදේ. එය සංස්කෘතයෙහි ගෘහිණී යන්නට හැම අතින් ම අනුරූප වෙයි.