ලේඛකයාටත් ප්‍රාමාණික පරමාර්ථයක් තිබිය යුතු යි | සිළුමිණ

ලේඛකයාටත් ප්‍රාමාණික පරමාර්ථයක් තිබිය යුතු යි

• ඔබ වඩාත් ම ප්‍රකට, ‘පරිවර්තකයකු’ හැටියට යි. වෘත්තීය පරිවර්තකයකු වීම ද, මෙයට බලපෑ හේතුව? සැබැවින් ම සාහිත්‍යකරණය කෙරෙහි ඔබ පොලඹවා ලූ සාධක මොනවා ද?

අපේ පාසලේ ‘වර්තමාන තතු හැදෑරුම් කවය’ නමින් සංගමයක් පැවතුණා. එහි ‘පරිවර්තකයා’ මම යි. ඒ වන විට මා සිටියේ සීනියර් පන්තියේ. ඔය එක්දාස් නවසිය පණස් ගණන් මැද.

• එය අපූරු සංගමයක්! කාගේ සංකල්පනාවක් ද, ඔය?

මා ඉගෙනුම ලැබුවේ හංවැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ. එහි විදුහල්පති බෝගොඩ ප්‍රේමරත්න මහතාගේ අදහසක් අනුවයි එය පිහිටුවන්නේ.

• ඕ! ඔය පසුව කොළඹ රාජකීය විද්‍යාලයේත් විදුහල්පතිව සිටි, අධ්‍යාපන ක්ෂේත්‍රයට ලොකු මෙහෙවරක් කළ, මහත් ආගමික නැඹුරුවක් දැක්වූ බෝගොඩ ප්‍රේමරත්න මහතා ද?

ඔව් ඔව්, එතුමා තමයි.

• කොහොම ද, ඔබට ‘පරිවර්තක’ තනතුරක් පිරිනමන්න තරමට, ඔබ එතුමාගේ අවධානයට ලක් වුණේ?

ඔය කාලෙ වෙන කොට මම පුවත්පත්වල ළමා සමාජවලට ලියනවා. ඒවායේ මගේ නිර්මාණ පළ වනවා. සීගිරි ගී සියල්ල පරිවර්තනය වෙලා පවා නොතිබුණු කාලෙ ‘රසවතුන් සනසන සීගිරි ගී’ නමින් මා ලියූ එවන් ලිපියකට හොඳ ප්‍රතිචාර ලැබුණා. තව, මගේ නිර්මාණ තරගවලින් ජයග්‍රහණය කළ විට ත්‍යාග - සහතික පත් යොමු වූයේ විදුහල්පති බාරේ පාසලට. එතුමා ඒවා පාසලේ උදාසන රැස්වීමේදී ප්‍රශංසාත්මකව මා වෙත පිරිනමනවා. එය මට විශාල ධෛර්යයක් වුණා.

• එතකොට ඔබ ‘ගත්කරුවකු’ වූයේත් පාසල් වියේදී ම ද?

නැහැ. පාසල් අධ්‍යාපනයට සමු දුන් වහා ම වාගේ මා රජයේ මුද්‍රණාලයේ රැකියාවකට යොමු වෙනවා, ආයතිනක අංශයේ ලිපිකරුවකු ලෙස. එහි අපගේ ‘වැඩ කළමනාකරු’ වූ එල්ඩබ්ලිව්පී පීරිස් මහතා පොතපතට බෙහෙවින් ඇලුම් කළ කෙනෙක්. ඔය, සිංහලය රාජ්‍ය භාෂාව බවට පත් කෙරුණු අවධිය. බොහෝ රාජකාරි, නීති ලියවිලි සිංහල භාෂාවට නඟන්න සිදු වුණා. දවසක් පීරිස් මහතා ඉංගිරිසි පොතක් ගෙනැවිත් මා අත තබා, එය සිංහලට පරිවර්තනය කරන්න වටින පොතක් බව පැවසුවා: ‘ජෝන් වෝල්ටර්ස්’ නම් මහතකු ලියා තිබුණු ‘ද මයින්ඩ් අන්ශේකන්’. ඔහු එය ගෙනැවිත් දී නිකම් සිටියේ නෑ; නිතර නිතර විමසමින්, මා එය පරිවර්තනය කොට අවසන් කරන තෙක් ම මා උනන්දු කළා.

• ‘සන්සුන් සිත’ නමින් ඔබ ‘ග්‍රන්ථ පරිවර්තකයකු’ බවට පත් කළ පොත බිහි වුණේ එහෙමයි...

පොත පරිවර්තනය කළයි කියමුකෝ. මා එය රැගෙන පොත් ප්‍රකාශකයන් කිහිප දෙනකු ළඟට ම ගියා. ඒත් ඔවුන් ‘විකිණෙන පොතක් නෙවෙයි’ කියා මෙය බාරගන්න කැමැති වුණේ නෑ. ඉන් පසු මම කලක් ආනන්දයේ විදුහල්පතිවද සිටි, අධ්‍යාපන ක්ෂේත්‍රයට ලොකු මෙහෙවරක් කළ පී ද ඇස් කුලරත්න මහතා හමු වන්න එවකට ඔහු මරදානේ ආනන්දය ඉදිරිපිටට වන්නට පවත්වාගෙන ගිය ‘ස්වභාෂා ප්‍රකාශකයෝ’ වෙත ගියා. සතියකින් එන්නැයි පවසමින් ඔහු පිටපත තබාගත්තා. කියූ දවසේ මා ගියා. මෙපමණයි ඔහු කීවේ: ‘අයි විල් ප්‍රින්ට් දිස්!’

• ඔබ කියන ලෙස ‘සන්සුන් සිත’ පළ වන්නේ ඔබේ යොවුන් වයසේදී විය යුතුයි. දැන් ඔබට අසූ එක් (81) වසරක්! දිගු කාලයක්. හැබැයි ඒ දිගු කාලයට සරිලන ලෙස ඔබ අතින් සංඛ්‍යාත්මකව දිගු ග්‍රන්ථාවලියක් බිහි වී නැහැ...

ඒක ඇත්ත. ‘සන්සුන් සිත’ පොතට ලැබුණු ප්‍රතිචාර ඉතා ඉහළ යි. ඒත් ඒ සමඟ ම පරිවර්තකයකු ලෙස මා ගත යුතු මඟ පිළිබඳ නිර්දේශයකුත් මට ලැබුණු වගක් මට සිතෙනවා. ආගමික දාර්ශනික පොතපත කෙරෙහි වැඩි නැඹුරුවක් ඒ තුළ ගැබ් වුණා. කොහොමත් මම තුරුණු වියේ සිට ම නිවෙසේදී නිති පතා බුද්ධ වන්දනාවේ යෙදෙන කෙනෙක්. මගේ පරිවර්තන ශක්‍යතාව යොමු කළ යුතු දිශානතිය පිළිබඳ මුල පටන් ම මා තුළ අවබෝධයක් ඇති වුණා.

• මා ඊළඟට ඔබට යොමු කරන්න සිටි පැනයට, කලින් ම පිළිතුරු ලැබුණා! ඒ, ඔබගේ කෘතිවල ආගමික හා දාර්ශනික වශයෙන් දක්නට ලැබෙන තේමාත්මක සීමාව ගැන යි. හොඳයි. මේ කටයුතුවලදී ඔබට බලපෑ චරිත පිළිබඳවත් දැනගන්න සතුටුයි...

‘සන්සුන් සිත’ ලියා නිම වූ පසු මා එය පරීක්ෂා කරවාගන්න දුන්නේ ‘කහඳාමෝදර චන්ද්‍රකීර්ති ශ්‍රී පියරතන’ හාමුදුරුවන්ට. උන් වහන්සේ පාසලේ අපට පාලි හා බුද්ධධර්මය ඉගැන්වූ හිමිනම. ඒත් අප අතර මිත්‍රත්වය එයින් පසුවත් දිගට ම පැවතුණා. මෙහිදී මට උන් වහන්සේගෙන් බොහෝ උපදෙස් ලැබුණා. විද්‍යාලංකාරේ නූතන භාෂා අධ්‍යයන පීඨයේ ‘හැඳලගමුවේ ධම්මදින්න’ හාමුදුරුවනුත් මට මගේ ග්‍රන්ථකරණයේදී ශක්තියක් වුණා. පසු කලක මා මහා භාරකාර දෙපාර්තමේන්තුවේ රැකියාව කරද්දී මුණගැසුණු ‘ඇලන්සන් පියදාස’ මහතාත් මට බලපෑ චරිතයක්. ඉන් පසු මා අධිකරණ රෙජිස්ට්‍රාර් සේවයට එක් වනවා. මෙහිදී මහාධිකරණ විනිසුරු ‘ලෙස්ලි ප්‍රනාන්දු’ මහතා ආශ්‍රය කිරීමට ලැබෙනවා. මගේ ලේඛන ජීවිතයට මේ පුද්ගලයන්ගෙන් ලැබුණු බලපෑම විශේෂ කොට සඳහන් කරන්න පුළුවන්. ඒ හැරුණු විට සාහිත්‍ය පරිශීලනය කිරීමේදී මට මතවාදීව බලපෑ නම් කිහිපයක් ද සඳහන් කළ යුතුයි: ‘වගතුග’ තීරු ලිපි පෙළ ලියූ චන්ද්‍රරත්න මානවසිංහ මහතා, කොටහේනේ පඤ්ඤාකිත්ති හාමුදුරුවෝ, ශ්‍රාවස්ති ධම්මික හිමිපාණෝ එහෙම කිහිප දෙනෙක්. එයින් ශ්‍රාවස්ති ධම්මික හිමියන්ගේ පොත් කිහිපයක් පරිවර්තනයටත් මා පෙලඹුණා.

දේශබන්ධු සිරිසුමන ගොඩගේ මහතා ගැනත් මෙහිදී සඳහන් කළ යුතු ම යි. මා එතුමා හමුවට මුලින් ම යන්නේ ‘සන්සුන් සිත’ නැවත මුද්‍රණයක් කරවාගන්නා අදහසිනුයි (ඒ පොත දැනට සිව් වරක් මුද්‍රණය වී තිබෙනවා). එයින් ඇරඹෙන දැනහැඳුනුමින් පසු මට පොත් ගණනාවක් ම පරිවර්තනය කිරීමේ ඉල්ලීම් ලැබුණේ එතුමාගෙන්. මගේ මෑත ම පරිවර්තන කෘතිය වන ‘දැහැමි අසෝක’ ග්‍රන්ථයත් කෙරුණේ එහෙමයි.

• මේ දවස්වල ඔබ යෙදී සිටින සාහිත්‍ය කටයුතු ගැනත් ඔබේ පාඨකයන් දැනගන්න සතුටු වේවි...

‘බොදු මඟ පහන් සිළු’ නමින්, බෞද්ධ ධර්මයේ චිරස්ථිතියට බලපෑ සුවිශේෂ පුද්ගල චරිත සතළොසක් ගැන ලියැවුණු කෘතියක් මුද්‍රණයේ පවතිනවා. සැබැවින් ම එයට මඟපෑදුණේ කලකට පෙර ලේක්හවුසියෙන් පළ වූ ‘නමස්කාර’ බෞද්ධ මාසික සඟරාවට මා ලියූ ලිපි පෙළක්. සඟරාව මඟින් ඒ ලිපි පෙළට ‘බොදු පුබුදුවේ පහන් සිළක්’ යන තේමාව දී තිබුණා. ඒ වගේ ම මේ වන විට ආනන්ද කුමාරස්වාමි පඬිවරයාගේ ‘ඊස්ට් ඇන්ඩ් වෙස්ට්’ කෘතිය මාතින් සිංහලයට නැඟෙමින් තිබෙනවා.

• ඔබේ දිගුකාලීන ජීවන පරිඥානයත්, ලේඛන පරිචයත් ඇසුරු කරගෙන වත්මන් තුරුණු ලේඛක පරපුරට ඔබට පැවසීමට ඇත්තේ කුමක් ද?

ලේඛකයාටත් කිසියම් ප්‍රාමාණික පරමාර්ථයක් තිබිය යුතුයි. සචාචාර ධර්ම සංරක්ෂණයටත්, සමාජ සංවර්ධනයටත් තුඩු දෙන කෘති පමණක් සමාජගත කිරීමට ලේඛකයාට වගකීමක් තිබෙනවා. සදාචාරය පරිහානියට පමුණුවන, සමාජ අපගමනයට හේතු වන සාහිත්‍ය කෘති බිහි වීම සමාජයේත් සාහිත්‍යයේත් පිරිහීමට හේතු වන බව අමුතුවෙන් කිව යුතු නෑ. මෙහිදී ලේඛකයන් ‘ධර්ම දේශකයන්’ විය යුතු නැහැ. එහෙත් දැක්මක් ඇතිව පෑන හසුරුවන ලේඛකයකුට නිර්මාණාත්මකව සමාජ උන්නතියට දායක විය හැකියි. මනස කෙලෙසන නිර්මාණ එබඳු ලේඛකයන් අතින් බිහි වන්නේ නෑ.

Comments