
ශ්‍රී ලංකාවේ ගැහැනිය පිළිබඳ තවත් දුක්ගැනවිල්ලක් මේ කවියෙන් ඉදිරිපත් කෙරේ. එය පැමිණිල්ලකට සමාන ය. එහෙත් චූදිතයකු නැත. විමර්ශන කටයුතු කරන පොලිසියක් ද නැත. නඩු විභාග කරන උසාවියක් ද නැත. ස්ත්‍රිය මූලික කරගත් මෙබඳු නඩු විශාල ප්‍රමාණයක් රට පුරා පවතී. හදවත් ඇත්තකුට මේවා දෙස හැරී බලන්නට පුළුවන. කිවිඳියගේ අරමුණ ද එය ම විය හැකි ය.
කවිය උපුටා ගත්තේ පරණ ‘විවරණ’ සඟරාවකිනි. කිවිඳිය රත්නා කහඳගමගේ ය. ‘විවරණ’ අද පළවන්නේ නැත. මා සතු සඟරාවේ මුල් පිටුව, පටුන හා තවත් වැදගත් පිටු ගණනාවක් අතුරුදන් වී ඇති බැවින් මෙය පළ වූ වර්ෂය හා මාසය සොයා ගත නො හැකි ය. මගේ මතකය නිවැරැදි නම්; මේ කවිය පළ වූ සඟරාව 1990 ගණන්වලට අයත් ය. ඉන් කියැවෙන්නේ අවම ලෙස මීට වසර විස්සකට වත් පෙර කවිය රචනා වී ඇති බව ය.
දසක දෙකක් යනු සැලකිය යුතු කාලයකි. ඒ අතර තාක්ෂණය වේගයෙන් ඉදිරියට ගියේ ය. සන්නිවේදනය දියුණු වූයේ ය. දේශපාලනය හා ආර්ථිකය විවිධාකාරයෙන් පරිණාමයට පත් විය. එහෙත් එදා රත්නා ගෙතූ කවියේ යථාර්ථය අදටත් එලෙස ම වලංගු ය. දසක දෙකකට වැඩි කාලයක් ගෙවී ගිය ද තේ දලු නෙළන්නියට ලැබුණු දෙයක් නැත. ඇය තව ම එතැන ම ය.
පැදි රස විඳින විට දසුන් දෙකක් මැවෙයි. එකක් නම්; මධ්‍යම කඳුකරයේ තේ වගාව ආශ්‍රිත සුන්දර පරිසරය යි. රූස්ස කඳු ශිඛර අතරින් හිරු එබෙන හැටි ද, කඳුකරයට උදෑසන ආරම්භ වන හැටි ද අප සිහියට නැඟේ. එය මනහර විචිත්‍ර අත්දැකීමකි. අනෙක නම්; තේ දලු නෙළන යුවතියගේ දිළිඳුකම පිළිබඳ හිත රිදෙන දසුන යි. පළමු දසුන ඡේදනය කරමින් දවෙන දසුන විස්තාරණය වෙයි.
“රොටි ගෙඩිය කබල මත
එහෙ - හැරෙයි, මෙහෙ - හැරෙයි”
අපේ ජීවන පැවැත්මට අනුව රොටිය යනු දුප්පත්කමේ සංකේතයකි. තුන් වේලට ම බත් බුදින සිරිතක් සමාජයෙහි පවතී. මේ රොටිය කාන්තාවගේ රාත්‍රී ආහාරය යි. එය නීරස බව ද, මස්-මාළු හෝ ව්‍යාංජන හෝ නැති ව අමු-අමුවේ ගිල දැමිය යුතු බව ද පෙනී යයි. රොටිය ඒ පැත්ත - මේ පැත්ත හැරෙන්නේ පිලිස්සීමට පමණක් නො වේ. ගැහැනිය රොටිය කෙරෙහි දක්වන අප්‍රසන්න බව ද ඉන් පෙනෙ යි. නොමැරී සිටින්නට රොටිය ගිල දමනවා වැනි ය. කාන්තාවගේ ජීවිතය ද රොටිය මෙන් ඒ පැත්ත - මේ පැත්ත හැරෙන බවක් පෙනෙයි. උදෑසන තේ වත්තට යන ඇය දකින්නේ සුබ දසුන් ය. හැන්දෑවේ පෙරළා නිවසට එන විට ඇය දකින්නේ අසුබ දසුන් ය.
ඇගේ දුප්පත්කමේ ලකුණු ද, වේදනාවේ ලකුණු ද කවිය පුරා ම දකින්නට ලැබේ. පිටකොන්දට ඇලුණු බඩ පොත්ත, තෙතමනය සිඳී ගිය පපු කුහරය, රිදුම් කන ඇඟපත, කේඬෑරි වී ගිය දෑත ඊට නිදසුන් ය. මේ ඔස්සේ චිත්ත රූපයට නැඟෙන්නේ දෑසේ කඳුළු පුරවාගත් කෘශ වූ වේදනාවෙන් පීඩිත ගැහැනියකි.
ගැහැනිය, දිළිඳුකම, සූරා කෑම හා වේදනාව ගැන පද්‍ය රචනා අතීතයේත් පැවැතියේ ය. එය සිංහල කවි සමයෙහි පොදු මාතෘකාවක් සේ ගත හැකි ය. විමලරත්න කුමාරගමගේ අසරණ ගැහැනිය නම් කවි පන්තිය අප සිහියට නැඟේ. එය රචනා වී ඇත්තේ 1952 දීය.
පිනවා පෙරදි කළමුත් මුළු ගම ම රස
දනපතියකුගෙ මැදුරෙන් මහ මගට බැස
සැනසෙන ලෙසක් නැතියෙන් උණු කඳුළු පිස
මොනවා කරන්න ද අබිසරුවත ම මිස
ප්‍රභූ චරිතයක විසින් විනාශ කරන ලද සුන්දර ගැමි තරුණියකට අත් වී ඇති ඉරණම “අසරණ ගැහැනිය” කවි පන්තියෙන් ප්‍රකාශයට පත් කෙරේ. රත්නා කහඳගමගේ ෙග් පද්‍යයෙන් ප්‍රකාශයට පත් වන්නේ රටේ ධනවතුන්ගේ ව්‍යාපාරයක් උදෙසා තම ජීවිතය කැප කළ ගැහැනියකගේ ශෝකාන්තය යි.
රටේ ආර්ථිකය ගතහොත් විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ග කිහිපය ම කාන්තාව මත රැඳී තිබේ. තේ කර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය හා මැදපෙරදිග ගෘහ සේවය ඊට නිදසුන් ය. මේවා මුළුමනින් ම පාහේ කාන්තාවගේ ශ්‍රමය සූරා කන ව්‍යාපාර බවට පත් ව තිබේ.
“රන් දියර වළලමින්
රිදී බන්දේසි මත
රන් මිලය ගොඩ කරන
දෑත කේඬෑරි වෙයි”
දලු නෙළන්නියගේ දහදිය රන් දියරක් වී බන්දේසි මතින් පිටරටට ඇදී යයි. ඒවායින් රටට හා අයිතිකරුවන්ට මුදල් ගලා එයි. එහෙත් දලු නෙළන දෑත සවිමත් වන්නේ නැත. ඒවා දිනෙන් දින කේඬෑරි වෙයි. කිවිඳිය දකින සමාජ යථාර්ථය එය යි. සමාජවාදී කවියෝ යථාර්ථ නිරූපණයෙන් ඔබ්බට ගොස් විරෝධාකල්ප මතු කරති. රත්නා එබඳු ආස්ථානයක් ගන්නේ නැත.
හිතට දුක දැනෙන තවත් අර්ථ දෙකක් මේ කවිය තුළ සැඟව තිබේ. එක් අර්ථයකින් කියැවෙන්නේ දලු නෙළන්නියට ඉදිරියට පිළිබඳ යම් අපේක්ෂාවක් ඇති බව ය. අනෙක් අර්ථයෙන් කියැවෙන්නේ මේ දුක හා වේදනාව උරුමයක් බව ය. නැතහොත් කරුමයක් බව ය. එය මතු වන්නේ කවියේ සමස්ත අර්ථයෙන් හා රිද්මයෙන් ය.
කවියේ නිරූපණවලට අනුව දලු නෙළන්නිය අවිවාහක ය. ඉන් පෙනී යන්නේ ඇගේ මුළු ජීවිතය ම තේ කර්මාන්තයට දිය වී ඇති බව ය. එහෙත් යහපතක් සිදු වී නැත. ඇතැම් විට අනාගත සුරක්ෂිතතාව පිළිබඳ යම් අදහසක් ඈ ළඟ තිබෙන්නට ඇත. එයත් දැන් විසිරී ගොසිනි.
“අපේක්ෂා ගොඩ කරන්
ඩා බින්දු ලියලවයි
පිළුණු වන ඥානයෙන්
අධිෂ්ඨාන විසිර යයි”
සැමුවෙල් ටෙලර් නම් කවියාට අනුව පැදිය යනු හොඳ ම වචන හොඳ ම පිළිවෙළට ගැළපීම ය (The best words in the best order). රත්නා කහඳගමගේ කිවිඳිය ද තෝරාගත් වචන හොඳ ම පිළිවෙළකට ගළපා ගැනීමට වෑයම් කරයි.