සංස්කෘතික මිනිසකු නිර්මාණය කිරීමට ගත යුතු මඟ | Page 2 | සිළුමිණ

සංස්කෘතික මිනිසකු නිර්මාණය කිරීමට ගත යුතු මඟ

'අද සමාජයේ වැඩිපුර ඉන්නේ අර්ධ මිනිසුන්' යන සිරසින් හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා සමඟ කළ සාකච්ඡාවේ දෙවැනි කොටසේ (ජූනි මස 4 දා සිළුමිණ) පළ වූ කරුණු කෙරෙහි අප කාගේත් අවධානය යොමු විය යුතුව ඇත. “නැවත සමාජ වටිනාකම්, සංස්කෘතිය හර පද්ධති ආදිය ඇති කරගැනීමට අවශ්‍ය නම් එය කළ හැක්කේ යළි ශිෂ්ටාචාරගත සංස්කෘතික මනුෂ්‍යයකු නිර්මාණය කිරීමෙන් පමණි” යනුවෙන් එම සාකච්ඡාව අවසන් කර තිබුණේය.

මෙහි ඉතා වැදගත් වන්නේ සංස්කෘතික මිනිසා නිර්මාණය කරන්නේ කෙසේද යන්නයි. ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා දකින අන්දමින් අද සමාජගත වී ඇති ජනමාධ්‍ය වසංගතයක් බවට පත්ව ඇති රියැලිටි ෂෝ හා කුඩා ළමයින් මල් කැකුළු වැනි අපේ දක්ෂ ළමා පරපුරක් සිය රූපවාහිනි නාළිකාවල ආදායම් ඉහළ දමා ගැනීමක යෙදී සිටින බව පළමුව සඳහන් කළ යුතුව ඇත.

මෙය අද සමාජ ව්‍යසනයක් බවට පත්ව ඇත. ඉතින් ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා සඳහන් කරන සංස්කෘතික මිනිසා උපත ලබන්නටත් පෙර (ළමා පරපුර) මෙසේ විනාශ කිරීමට සමහර රූපවාහිනී නාළිකා වලට ඉඩදිය යුතුද?

අද පෞද්ගලික රූපවාහිනි මාධ්‍යවලින් ප්‍රචාරය වන ටෙලිනාට්‍යවලද (මාලා නාටක) ප්‍රමිතියක් තිබේද? වසර 2002දී පමණ මෙරට රූපවාහිනි ටෙලිනාට්‍ය ඒ ඒ නාළිකාවල ප්‍රචාරයට පෙර ඒ පිළිබඳ පෙර දර්ශන මඟින් සමීක්ෂණ මණ්ඩලවලට පෙන්වා අඩු පාඩු සැකසීමේ වැඩපිළිවෙළක් පැවතුණි.

එයින් තොරව කිසිදු රූපවාහිනී නාළිකාවක එම මාලා නාටක පෙන්වීමට අවසරයක් එකල නොවීය. මේ පිළිබඳ ඉතා වැදගත් අවබෝධයක් ඇත්තේ මේ ලේඛකයෝද කාලයක් තිස්සේ එම රූපවාහිනි නාට්‍ය හා විශේෂාංග වැඩසටහන් සමීක්ෂණ මණ්ඩලවල කටයුතු කළ නිසාය.

ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා සඳහන් කරන සංස්කෘතික මිනිසා නිර්මාණය කිරීමට නම් අද රූපවාහිනී නාළිකාවල දෝර ගලමින් පෙන්වන (සියලු රූපවාහිනී නාට්‍ය නොවේ) ඉතා අශ්ලීල වදන් පවසමින් පෙන්වන මේ මාලා නාටක කිසියම් සමීක්ෂණයකට පසුව පෙන්විය යුතු බවට නියාමනයක් අවශ්‍ය බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ගේ අවධානය වෙත ඉදිරිපත් කළ යුතුව ඇත.

දෙමාපිය දූ-දරු සබඳතා

ආචාර්ය ටියුඩර් වීරසිංහ විද්වතාණන් සඳහන් කළ පරිදි නැවත සමාජ වටිනාකම් සංස්කෘතික හර පද්ධති ආදිය ඇති කිරීමට‍ නම් අද සමහර රූපවාහිනී මාධ්‍යයන් තුළින් අපේ ආලින්දයට ගෙන එන ටෙලිනාට්‍යවල කතා බහ හා දර්ශන දෙමාපිය - දූදරු සබඳතා දෙදරා යන අවස්ථා නියාමනය කළ යුතුව ඇත. අප මෙහිදී විශේෂ අවධාරණය යොමු කරවන්නේ රූපවාහිනී ටෙලිනාට්‍යවලින් සමාජය තුළ ඇති වන අසංස්කෘතික හා අශ්ලීල වූ කතා බව දෙමාපිය දූ දරු සංවාදවල කිසියම් නියාමනයක් අවශ්‍ය බවය. ඒ සඳහා ප්‍රමිතිගත කිරීමක් සිදු කිරීමට කාලය එළඹ ඇත.

පසුගිය කාලයේ ගංවතුර හා නායයෑම්වලින් විපතට පත්වූ ජනතාවට ගුවන්විදුලි හා රූපවාහිනී මෙන් ම මුද්‍රිත මාධ්‍යවලින්ද දෙන ලද සහනයන් හා වෛද්‍ය සායන ද්‍රව්‍යමය ආධාරවලින් පෙන්නුම් කරන්නේ අප රටේ තවමත් සංස්කෘතික මිනිසුන් ගැහැණුන් සිටින බව ය. සංවේදී ජනතාවක් අප රට තුළ සිටින බවය.‍ මේ ජනතාවගේ රස වින්දනය උකසට තබා ඔවුන්ගේ හරපද්ධතිය සමාජ සබඳතා විනාශ කරන අතළොස්සක්වූ රූපවාහිනි නාළිකාවල ක්‍රියාකාරිත්වයට අදාළ ටෙලිනාට්‍ය නැවත වරක් නියාමනය කිරීමේ ක්‍රියාවලියකට යෑමට ජනමාධ්‍ය අමාත්‍යාංශයට සමාජ වගකීමක් ඇති බව මෙහිදී අවධාරණයක් කළ යුතුව ඇත.

පොදු බස් රථ තුළ නාය යෑම

මේ සමඟ තවත් කරුණක් මෙහිදී අවධාරණය කළ යුතුව ඇත. සංස්කෘතික මිනිසකු සමාජය තුළ බිහි කළ විට ඒ මිනිසුන් සංවේදී මිනිසුන් වන බව ඉතා ප්‍රකට කරුණකි.

මැයි මස 24 වැනිදා ආරම්භ වූ මහා ධාරානිපාත වැසි නිසා ගංවතුරද මේ වැසි පතිත වූ කඳු බෑවුම් නාය යෑමද නිසා සිදු වූ මරණ සංඛ්‍යාව 200 ඉක්මවා ඇත. තවත් අතුරුදන් වූ පිරිසද විශාල සංඛ්‍යාවකි. ගේදොර විනාශ වී, ඇඳි වත පමණක් බේරාගත් ජනතාව ලක්ෂ ගණනකි. ඒ ශෝචනීය කාලය සතියක් පමණ පැවතිණි. මේ කාලය තුළ පමණක් නොව ඊට ඉහතදීද මේ වසංගතය පොදු ප්‍රවාහන සේවයන් තුළ අපි දුටුවෙමු.

කුමක්ද මෙතරම් මනුෂ්‍ය ජීවිත හානි වූ, ගේදොර විනාශ වූ අපේම ජනතාවක් දුකට පත් වී සිටින අවස්ථාවක මහමඟ පොදු ප්‍රවාහන වූ බස් රථවල දෙදෙනෙකුට මේ සංවේදී මනස අතුරුදන්වී ඇත. ඔවුන්ගේ මනස ද නාය යෑමට ගොදුරුවී ඇති දෙය. ඔවුන්ට මේ මහා ඛේදවාචකය ගණන් ගන්නේ නැත.

ඔවුන් දෙදෙනා පොදු නමකින් හඳුන්වතොත් මගී ප්‍රවාහනයේ යෙදෙන රියැදුරු සහ කොන්දොස්තරවරයා ය. ඔවුන්ගෙන් මේ කාර්යය වන්නේ ඉහතින් සඳහන් කළ රියැලිටි ෂෝ හෝ කොහේ හෝ රාත්‍රී සංගීත සංදර්ශනවල වීඩියෝ පට නැතහොත් ගීත කැසට්පට වාදනය කිරීමයි. සමහර විට ඒ ශබ්ද තරංග කන්වල ආබාධ ඇතිවීමට පමණක් නොව ඒ බස් රථවල ගමන් කරන මගීන්ගේ මානසික නිදහසට ද තර්ජනයකි.

සිරිසමන් විජේතුංග

Comments