පාහියන්ගල නාය යන්නේ නෑ! | Page 2 | සිළුමිණ

පාහියන්ගල නාය යන්නේ නෑ!

“පාහියන්ගල මවු පාෂාණයක්. එය ස්ථාවරයි. වසර මිලියන ගණනක් යද්දී පාෂාණය ජීර්ණය වී කුඩා කැබැලි කඩාවැටෙන්න පුළුවන්. එහෙත් පෙරළී යෑමක් කිසි විටෙක සිදු වන්නේ නැහැ. පාහියන්ගල ලෙනේ කිසි ලෙසකින් නාය යෑමකට ගොදුරු වී හෝ ගෙදුරු වෙමින් හෝ පවතින බවට ලක්ෂණ නැහැ.

වසර දහස් ගණනකට පෙර ලංකාවේ විසූ ප්‍රාග් මානවයාගේ වාසස්ථානයක් වූ පාහියන්ගල ලෙන නාය අවදානමකට ලක් වී ඇති බව ඉකුත්දා වාර්තා විණි. එය පුරාවිද්‍යා ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමු කරන කාගේත් සිත්තැවුලට කාරණයක් විය. අපේ මේ අමිල උරුමය අපට අහිමි වේදෝයි කාගේත් සිතේ කුකුසක් නැඟිණ. එහෙත් භූ විද්‍යාඥයන් හා ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් පවසන්නේ පාහියන්ගල භූ ස්තරය නාය යෑමකට ලක් නොවන බවයි.

“පාහියන්ගල මවු පාෂාණයක්. එය ස්ථාවරයි. වසර මිලියන ගණනක් යද්දී පාෂාණය ජීර්ණය වී කුඩා කැබැලි කඩාවැටෙන්න පුළුවන්. එහෙත් පෙරළී යෑමක් කිසි විටෙක සිදු වන්නේ නැහැ. පාහියන්ගල ලෙනේ කිසි ලෙසකින් නාය යෑමකට ගොදුරු වී හෝ ගෙදුරු වෙමින් හෝ පවතින බවට ලක්ෂණ නැහැ. ගලේ පැළීම් හෝ ඉරිතැළීම් දක්නට නැහැ. පවතින්නේ සාමාන්‍ය තත්ත්වයක්,“ යන්න ඔවුන්ගේ අදහසයි.

කෙසේ වෙතත් ලෙනට මීටර් 400ක් පමණ දුරින් වූ භූමිය නායට ගොදුරු වී ඇති අයුරු දැකගත හැකිය‍.

“ඔව්. ආසන්න ප්‍රදේශයක් නාය ගිය විට ඉන් ඇති වන කම්පනය හේතුවෙන් පිපිරීම් ඇති වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. එත් මේ පිපිරුම සිදු වී ඇත්තේ ලෙනෙන් ඉවත් කරන ලද පස් දමන ලද ස්ථානයක වීම විශේෂයි. එවැනි ස්ථානයන් ඛාදනය හා ජලය රැඳීම හේතුවෙන් පහළට රූටා යෑමට ඉඩ තියෙනවා. එත් මේ පිපිරීම 2008 වසරේද දක්නට ලැබුණා. ඒ සඳහා ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පිළියම් යොජනා කළා. එත් එවා සිද්ධ වුණේ නැහැ. මේ වාරයෙත් අතහැර අමතක කර දැමුව හොත් පස් තට්ටුව පහළට ලිස්සා එමේ ඉඩ වැඩියි.“ එසේ පවසන්නේ කළුතර දිස්ත්‍රික් ගොඩනැගිලි පර්යේෂණ නිලධාරී හර්ෂ ඒකනායක මහතායි.

පාහියන්ගල ප්‍රාග් මානව ජනාවාසය මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් හානියට පත් වන්නේ 1940 වසරේදී පමණය. ඒ, එවකට විහාරයේ වැඩ විසූ ස්වාමීන් වහන්සේ විසින් ලෙනෙහි මතුපිට පස්තට්ටුව අඩි තුනක් පමණ ඉවත් කිරීම හේතුවෙනි. එසේ ඉවත් කරන ලද පස් තිබෙන තැන පුරාවිද්‍යාඥයන් හඳුනාගෙන තිබේ. එම ඉවත් කරන ලද පස් ස්තරය හා පසුකාලීන පර්යේෂණ කැණීම් මගින් ඉවත් කරන ලද පස් තැම්පතුව ඉරිතැළීමකට ලක්ව ඇති බව භූවිද්‍යාඥයන් හා ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසා සිටී. එය නාය යෑමක් නොවන බවද එම පස් ස්තරය පහළට ලිස්සා යෑම වැළක්වීම සඳහා භූ ස්ථායිකරණ ක්‍රමවේදයක් සැලැසුම් කර, ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දීමට ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සූදානම්ව සිටින බවද, එම පස් තට්ටුව යට රැඳී ඇති ජලය ඉවත් කළ යුතු බවද , එහිදී මව්පාෂාණය තෙක් සිදුරු කොට අවම සිමෙන්ති භාවිතයකින් මිනිස් ක්‍රියාකාරකමක් ලෙස තැන්පත් වූ පස් ස්තරය ශක්තිමත් කිරීමට කටයුතු යෙදිය හැකි බවද හෙතෙම පවසයි.

“එත් නායක් සම්පූර්ණයෙන් නවත්වන්න බැහැ. භූ ස්ථායී ක්‍රමවේදයක් අනුගමන කර සියයට අසූවක් නාය පාලනය කරන්න පුළුවන්.“

මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් ලබා දීමට කටයුතු යොදන බව වත්මන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මණ්ඩාවල මහතාගේ අදහසයි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රිශාන්ත ගුණවර්ධන පවසන්නේ පාහියන්ගල පුරාවිද්‍යාත්මක අගයෙන් යුත් භුමිය ආරක්ෂා කරගැනීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ උපදේශක මණ්ඩලයේ මහාචාර්ය ශිරාන් දැරණියගල, මහාචාර්ය කපිල දහනායක, ආචාර්ය නිමල් පෙරේරා, පුරාවිද්‍යා පශ්චාද් උපාධි ආයතනයේදී මහාචාර්ය ජගත් වීරසිංහ හා ආර් එම්ආර් රණවීර හා බස්නාහිර පළාත් සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ මහින්ද කරුණාතිලක යන මහත්වරුන් පත් කර ඇති අතර ඔවුන්ගේ උපදෙස් මත ඉදිරියේදී සංරක්ෂණයට කටයුතු යොදන බවයි.

නාය යෑම කෙරෙහි විශේෂ අවධානයක් යොමු වී අැති මේ අවස්ථාවේ ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කඳු බෑවුම්වල නිවාස හෝ ගොඩනැගිලි ඉදි කිරීමට පෙර ගොඩනැගිලි පර්යේෂණ ආයතන නිලධාරීන්ගෙන් උපදෙස් ලබා ගැනීමට පෙලඹෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. නාය කෙරෙහි අක්‍රමවත් මිනිස් ක්‍රියාකාරකම් බලපෑම් කරන බව පවසන හර්ෂ එකනායක මහතා ක්‍රමවත් ජලය බැස යෑමේ ක්‍රමයක් බෑවුම් සහිත භූමියකට යෙදීමෙන් නාය අවම කරගත හැකි බව පවසයි.

ලෝකයේ පැරණිම මානව ජනාවාස හමු වී ඇත්තේ නැඟෙනහිර අප්‍රිකාවේ චල්ලචුවාල්ගොච් ප්‍ර‍දේශයෙනි. ලංකාවේ පැරැණිම මානව ජනාවාස හමු වී ඇත්තේ යාපනයේ මයික්කායි ප්‍රදේශයෙනි. එතැනින් හමු වූ ගල් ආයුධ වසර ලක්ෂ අටක් පැරැණිය. ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ ආරම්භක සාධක කවර ප්‍රදේශයකින් ලැබේ‍ද යන්න නිශ්චිත නැත. අදින් වසර ලක්ෂ දෙකකට පමණ දින නියම වු ක්ෂුද්‍ර ශිලා මෙවලම් දකුණේ වෙරළබඩ රතු වැලි නිධිය ආශ්‍රිතව ලැබී ඇත.

හෝමෝ සේපියන් සේපියන් හෙවත් නූතන මානවයාගේ පැරැණිම සාධක හමු වී ඇත්තේ ලංකාවෙන්ය. ප්‍රාග් මානවයා පිළිබඳ තොරතුරු මධ්‍ය කඳුකරය ආශ්‍රිතව ලැබේ. ඒ පිළිබඳ පැරැණිම සාධක හමු වන්නේ පාහියන්ගලිනි. එය අදින් වසර 48000 ලෙස දින නියම වී ඇත. වසර දහස්ගණනකට පෙර හෝමෝ සේපියන් සේපියන් හෙවත් නූතන මානවයා පාහියන්ගලෙහි සිය සක්‍රීය ක්‍රියාකාරකම් සහිත ජනාවාසයක් පිහිටුවාගෙන වාසය කර තිබේ.

එසේ ජීවත් වූ හොමෝ සේපියන් සේපියන් හෙවත් නූතන මානවයා මුහුද සමග ගනුදෙනු කළ බවටද සාධක හමු වී තිබේ. පක්ෂීන්, මිරිදිය මසුන්, කුඩා සතුන්, ගස් බෙල්ලා, වල් දෙල්, ඇටිකෙසෙල් ආහාරයට ගත් බවට ද සාධක හමු වී ඇත. මේ ලෙන් කැණීමේදී අලි, ගවර, සිංහ, රයිනෝසර හා බංගලාදේශ ව්‍යාග්‍රයෙකුගේ අස්ථි කොටස් හමු වී තිබේ.

මධ්‍ය ශිලා යුගයට අයත් ජ්‍යාමිතික හැඩයෙන් යුත් ගල් මෙවලම් හා සත්ත්ව ඇට භාවිතයෙන් සකසාගත් උල් ආයුධ ද මේ ස්ථානයෙන් හමු වී ඇත. ඩබ්ලිව්එච් විජේපාල මහතා 1986/87 කාලයේ කළ කැණීමේදී ප්‍රාග්-ඓතිහාසික යුගයට අයත් මානව ඇට‍ෙසැකිලි හතරක් හමු වී තිබේ. 2012 වසරේ පස් තට්ටු 131කට වෙන් කරමින් සිදු කරන ලද කැණීමේදී විශාල ලෙනට ආසන්නයේ වූ කුඩා ලෙනකින් තරුණ කාන්තාවකගේ සම්පූර්ණ ඇටසැකිල්ලක් හමු වී ඇති අතර, එය වසර 37000කට කාල නිර්ණය කර ඇත.

මේ ස්ථානයෙන් හමු වූ මානව හිස් කබල්හි ගුරු ගල් ආලේප කර තිබූ බවද එකල විසූ ජනයා අභිචාර හා ඇදහිලි කෙරෙහි අවධානය යොමු කරන්නට අති බවද පුරාවිද්‍යාඥයන් අදහස් දක්වයි. ප්‍රාග් ඵෙතිහාසික මානවයාගේ සංස්කෘතික ලක්ෂණ, සිරිත් විරිත්, ආහාර පුරුදු, සත්ත්ව හා වෘක්ෂ ප්‍රජාව පිළිබඳව මෙන්ම අතීත ලංකාවේ දේශගුණික රටාවන් හඳුනාගැනිමට මේ ලෙන් කැණීමේදී තොරතුරු අනාවරණය කොටගෙන තිබේ.

පස්දුන්කොරළයේ යටගම් පිටියේ පිහිටි පාහියන්ගල එහි සුවිශාලත්ත්වය හේතුවෙන් මෙන්ම ඓතිහාසික වටිනාකම හේතුවෙන්ද බෙහෙවින් ප්‍රචලිතය. මුහුදු මට්ටමෙන් අඩි 460 උසින් පිහිටි පාහියන් ලෙන පළලින් අඩි 282ක්ද උසින් අඩි 175ක්ද වේ. චීන ජාතික පාහියන් භික්ෂුව මෙහි වැඩ සිටියායැයි මතයක් පැවැතියද එය මෙතෙක් සනාථ වී නැත. එකවර තුන්දහසකට පමණ වාසය කළ හැකි මේ ලෙන අවට පරිසරය අදත් මනස්කාන්තය.

පාහියන්ගල පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතාගේ මෙන්ම අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේද අවධානය යොමු වී ඇති බැවින් සංරක්ෂණ කටයුතු තවත් පමා නොවනු ඇතැයි අපි විශ්වාසයෙන් සිටිමු.

මේ පස් ස්තරයට හානි වුව හොත් අනාගතයේදී අපට කැණීම් මඟින් ලබාගත හැකි මානව ඉති හාසයේ සුවිශේෂ දත්ත සමූහයක් අහිමි වි යනු ඇත. ඒ සමඟම අපගේ සැඟවුණු අතීතයේ තතු තවදුරත් වැළලී යනු ඇත.

ටෙක්ලා පද්මිණී කාරියවසම්

Comments