අපේ සේසතම වතුරේ ගියා කොටු වූ තැන්වලින් පිටවෙන්න බෑ | Page 2 | සිළුමිණ

අපේ සේසතම වතුරේ ගියා කොටු වූ තැන්වලින් පිටවෙන්න බෑ

 මේ වන විට බංගලාදේශයේ සැරිසරන මෝරා අපේ රටට කඩාපාත් වූයේ නොසිතූ විරූ මොහොතකය. මෝරා රටට කළ විපත සුළුපටු නොවේ. විපත් සිදුවී සතියක් ඉක්ම ගොස් ඇති නමුදු මේ ලියන මොහොත වන විටත් විපතට පත් ජනතාව සිටින ප්‍රදේශවලට සහන කණ්ඩායම්වලට ළඟාවිය නොහැකි තරම්ය. ධාරානිපාත වැස්ස, කඳු කඩා වැටීම් හා ගංගා පිටාර ගැලීම් නිසා දිස්ත්‍රික්ක පහළොවක ජනතාව පීඩාවට පත් වූහ.

ගංවතුරේ පීඩාව ගැන පැවැසීමට දිනපතා උදේ හවස කලවානේ සිට කොළඹ පැමිණි කලවාන ලංගම බස්රථයේ රියදුරු නන්දසේන අප ඇමැතුවේය. අයගම ප්‍රදේශය දරුණු ලෙස ගංවතුර උවදුරට මුහුණ පෑ අයුරු ඔහු ඡායාරූප ශිල්පී සුදම්ට මෙසේ පැවැසීය.

බස් එක පාක් කරන්නේ ටවුමේ. නමුත් ගංවතුරෙන් බස් එක බේරුණා.

හිතාගන්න බැහැ සිද්ධ වුණේ මොකක්ද කියලා. 25 රෑ වැස්ස පටන්ගත්තා. 26 රෑ කන්ද කඩාගෙන බිමට පාත්වුණේ ගෙවල් පහළොවක් පමණ යට කරගෙන. ගෙවල් යට කරගෙන කඩා වැටුණු පස් ගඟට වැටුණා. ගංගාව පිටාර ගැලුවා. ගමට ලයිට් නැතිව ගියා. දැන් යන්න එන්න පාරකුත් නැහැ. අපි අයිති ගංගොඩකන්ද ග්‍රාමසේවා වසමට. කන්දක් කඩා වැටුණා. එකම පවුලේ අම්මා දූවලා තුන්දෙන ගමක් කන්දත් එක්ක තවත් නැති වුණා. තාත්තා කොන්ක්‍රීට් ලෑල්ලක් යට හිරවෙලා හිටියේ. පාන්දර පහමාරේ වගේ ඉඳලා උදේ දහය වනතුරු මේ එක්කෙනා කෑගහලා, අන්තිමට කෑගහගන්න පණ නැතිව ඉන්දැද්දි ඔහු කොන්ක්‍රීට් එක අස්සෙන් කෝටුවක් වනලා. ඒක දැකලා තමයි ගමේ අය ඔහුව බේරාගත්තේ. ගමට යාන්තමින්හරි එන්න පුළුවන් මතුගම කලවාන පාරෙන් ආවහම. මගේ ගේ බේරුණා. ගමේ මිනිස්සු දැන් ෆෝන් චාර්ජ් කරගන්නේ මගේ වෑන් එකෙන්. උදේ හවස තමන්ගේ බස් රථයේ ආව-ගිය කී දෙනෙක් දැන් ජීවතුන් අතර නැතිදැයි කියන්නට දන්නේ නැතැ”යි නන්දසේන කුලතුංග පවසන්නේ වේදනාවෙනි.

මහා ගංවතුර උවදුරින් විපතට පත් මිනිසුන්ගේ දිවි බේරා ගැනීමට ජාති ආගම් බේදවලින් තොරව මිනිස්සු ඉදිරිපත් වූහ. කවුරු කවුරුත් පෙන්වූයේ තම තමන්ගේ පරිත්‍යාගශීලීභාවයයි. නිරාන් දිලුක කියන කතාව එවැන්නකි.

“මගෙ ඥාතියකුගේ ගෙදර මංගල්‍යයක් තිබුණා. කුකුළේ ගඟ ප්‍රොජෙක්ට් හන්දියේ තමයි නැන්දගේ ගේ තියෙන්නේ. 26 දා මංගල උත්සවයට සහභාගි වෙන්න 25 දා ඥාතින් තිස් ගණනක් ගෙදර ඇවිත් හිටියා. ඒත් කඳු කඩා වැටිලා ගංගා උතුරලා නොසිතූ ව්‍යසනයක් සිදුවුණ නිසා මංගල්‍ය කරගන්න බැරිව ගියා. නමුත් මංගල උත්සවයට සූදානම් වෙලා හිටපු නැන්දලා ගෙදර කෑම උයලා ගංවතුරෙන් පීඩා වුණ අයට වගේම ගෙදර හිටපු ඥාතින්ට කන්න දුන්නා. කාලෙකට ඉතිං මේ ගම්වල මිනිස්සුන්ට ගොඩ එන්න බැරි වේවි.”

නිරාන් පවසන්නේ කනගාටුවෙනි. ගංවතුර කතන්දර ලියා නිම කළ නොහැකිය. සෑම සිද්ධියක්ම හද සසළ කරන්නේය. ගංවතුරෙන්, නායයෑමෙන් අතුරුදන් වූ පිරිස සියයකට ආසන්නය.

බුලත්සිංහල පාහියංගල ප්‍රදේශයට නොසිතූ-විරු ලෙස පස් කන්දක් විලසින් මාරයා ගෙට කඩා වදින විට ඒ තාත්තා තම තුන් හැවිරිදි පුතු අල්ලා ගැනීමට වෙහෙසුණේය. නමුත් ඔහුට තම සිඟිති පුතු අතහැරුණේය. පුතු අහිමි වීමෙන් තැවෙන ඔහු හඬමින් පවසන්නේ ඉහිලිය නොහැකි දරු පෙම ගැනයි.

“හිතාගන්න බැහැ මගෙ රත්තරන්ට මොකද වුණේ කියලා. උදේ තමයි පුතාගේ මළසිරුර පැත්තක තියෙනවා දැක්කේ. පෙට්ටියක් ගන්න විදිහක් නැහැ. වළක් කපලා වැළලුවා. නමුත් මරණ පරීක්ෂණය තියන්න නැවත දරුවගෙ සිරුර ගොඩ ගත්තා. මේ තියෙන්නේ දරුවගේ ඇඳුමක් අපට ඉතිරි වුණේ මෙච්චරයි.” සිඟිත්තා අහිමි වූ පියා හිස අත්බැඳ වැළපෙමින් පවසන්නේය.

පවුල් පිටින් ගංවතුර රකුසා ගිලගන්නා විට ඇතැම් පවුලක එක්කෙනෙක් දෙන්නෙක් දිවි ගලවා ගත්හ. එදවස හැඩට තිබූ කඳුවැටි දැන් බිමට සමතලා වී ඇත්තේය. ඒ කොයි ඉසව්වදැයි කියා ජීවිත කාලයම එම ප්‍රදේශයේ ජීවත්වූවන්ට පවා සොයා ගැනීම අපහසුය. මුළුමහත් ජීවිත කාලයටම දහඩිය මහන්සියෙන් ඉපයූ දෙය ගංවතුරට ගසාගෙන යද්දී, පස් කඳුවලට යටවෙද්දි ඔවුහු ජීවිතය පමණක් බේරා ගැනීමට සිතූහ.

කුකුළේ ගඟට ආසන්නව ‍රත්නපුර කළුතර මාර්ගයේ මුනින්වත්ත ප්‍රදේශයේ අක්කර දහයක් පමණ වූ පයිනස් වත්ත ද නාය ගියේය. ඒ ආසන්නයේ පදිංචිව සිටියවුන් දිවි බේරා ගත්තේ බොහෝ වැරවෑයමෙනි.

සිද්ධියට මුහුණ දුන් රෝහණ පවසන්නේ මෙවැනි කතාවකි. “එදා උදේ පහමාරට විතර තමයි පළවැනි වතුර පාර ආවේ. අපි බොහෝම කල්පනාවෙන් හිටියේ. දෙවැනි වතුර පාර හයයි විස්සට විතර ආවා. අපි අපේ කිසිම දේපළක් ගැන බැලුවේ නැහැ. දරුවොත් අරගෙන කන්ද උඩට දිව්වා. මම පිටි කොටන මැෂිමක්, බ්ලොක්ගල් මැෂිමක් අරගෙන වැඩි දවසක් නැහැ. අපිට දැන් තියෙන්නේ මේ ඇඳගෙන ඉන්න ඇඳුම විතරයි. කවදා ආයෙත් පිළිවෙළක් වෙන්න ලැබේවිද දන්නේ නැහැ. ඔහු පවසන්නේ හඬමිනි.

දරුණු ගංවතුරෙන්, නායයෑමෙන් අහිමි වූ පාසල් සිසු සංඛ්‍යාව හතළිස් හතකි. එමෙන්ම ඇතැම් දරුවකු තවමත් අතුරුදන්ය. පවුල් පිටින් පස් අතර වැළලී යද්දි තම සැමියාත්, අනෙක් දරුවාත් අහිමි වූ පටාචාරා මවක අපට හමු වූවාය. ඇය මොරවක පදිංචිව සිටි චාන්දනීය. දුක වැඩිකමට ඇයට සිදු වූයේ කුමක්දැයි කියාගන්නටත් අමාරුය.

“මට මගෙ දරුවෝ දෙන්නයි මහත්තයයි නැති වුණා. අවුරුදු හතක පුතාගේ මළසිරුර හමු වුණා. ඒත් මහත්තයයි අනිත් පුතයි තාමත් හමු වුණේ නැහැ” ඇයට කීමට හැකි වූයේ එපමණකි. මිනිසුන් ජීවිත කාලය පුරා ගොඩනඟා ගත් දේ ක්ෂණයකින් ගංවතුරේ ගහගෙන ගියේය. ලහිරු නම් තරුණයකු තම නිවෙස යටවීම පිළිබඳ සමාජ ජාලයේ ඡායාරූප හා වීඩියෝ ඇතුළත් සටහනක් තබා තිබුණේ මෙලෙසිනි.

“හම්බ කරපු හැමදේම වතුරේ ගියා තාත්තේ” යනුවෙනි.

මේ ලිපිය ලියන මොහොත වන විට මෙම ඛේදවාචකයෙන් මියගිය සංඛ්‍යාව දෙසීය ඉක්මවා ඇත්තේය. ඇතැම් මළසිරුරු භූමදානය කෙරුණේ ගංවතුරේ පැදගිය ඔරු පාරු බෝට්ටු මතින් මිනී පෙට්ටි ගෙන්වා ඒවායේ තැන්පත් කරය. මල් ශාලාවට ගෙන ගිය ඇතැම් සිරුරු යළිත් ගමට ගෙන ආවේ බෝට්ටුවලිනි. ඇතැම් සිරුරු මිහිදන් කැරුණේ ඉටිරෙදිවල ඔතාය.

දිනමිණ තිහගොඩ වාර්තාකරු කැළුම් අපට කී කතාවකි මේ.

“ගංවතුර ගලපු දා ඉඳලා විවිධ ප්‍රදේශවලට යෑමට උත්සාහ කළා. මුල් දවස්වල යන්න හුඟක්ම අපහසු වුණා. මේ ගිය ගමන්වලදී එක ගැමියෙකු මා සමඟ කිව්වා මරණයක අවසන් කටයුතු කිරීමට පන්සලේ හාමුදුරුවන්ව ගෙන්වගන්න ක්‍රමයක් නැහැ කියලා. ඒ ඔවුන් ගංවතුරේ කොටුවී සිටිය නිසා. ඒ නිසා අවසන් කටයුතු කිරීමට පෙර භික්ෂුන් වහන්සේ ෆෝන් එකෙන් පාංශුකූලය දුන්නා කියලා ඔහු කිව්වා.”

දැන් කෙමෙන් ගංවතුරින් දැඩි හානියට පත්වූ තවත් නගරයකි නෙළුව. නෙළුව ආමි පාලම තිබෙන ප්‍රදේශය විනාශ වී ඇත්තේය. ආමි පාලම හන්දියෙන් ගිය විට ලංකාගමට, දූවිලි ඇල්ලට යාමට හැකිය. නමුදු දූවිලි ඇල්ල ප්‍රදේශයේ පිහිටි ඉපැරැණි තේ කර්මාන්ත ශාලාව නාය ගියේය. ගිං ගඟ පිටාර ගැලීමෙන් දැන් ලංකාගමට යාමට ඇති මාර්ගය මුළුමනින් අවහිර වී ඇත්තේය. විදුලි බලය ඇනහිටීම් නිසා පසුගිය විසිපස් වැනිදා සිට ඉකුත් බ්‍රහස්පතින්දා වනතුරුම එහි දුරකථන අක්‍රිය වී තිබිණි. නමුත් ඉකුත් දා රාත්‍රියේ ලංකාගම ගැමියෙක් අප ඇමතුවේය.

“ලංකාගම ඉස්කෝලේ කොට තාප්පයක් ගිං ගඟට ගහගෙන ගිහිල්ලා. දැන් ගිං ගඟ තවත් පළල් වෙලා. පාපැදියකින් විතරයි යන්න පුළුවන්. අපිට ගමෙන් පිටට යන්න විදිහක් නැහැ. පිට අයට ගමට එන්න විදිහකුත් නැහැ. පහුගිය දවස් ටිකේම ගස්වල තියෙන කොස් කඩාගෙන කෑවා. ආධාර ලැබෙන්නේ මඟට විතරයි. අපටත් මොනවාහරි ලැබෙනවානම් හොඳයි. තව කී දවසක් අපට ගමටම කොටුවෙලා ඉන්න වේවි ද දන්නේ නැහැ. ගැමියා, පවසන්නේ මේ අවස්ථාවේ ගමේ කාටත් උදවු අවශ්‍ය බවය.

Comments