
ඕස්ට්‍රේලියාවේ සිට මැලේසියාව දක්වා පියාසර කරමින් තිබූ මඟීන් තුන්සිය තිස් හත් දෙනකු ගමන් කළ මැලේසියා ගුවන් සේවයට අයත් එම්.එච්. 128 (MH 128) ගුවන් යානයේ ගමන් කළ ශ්‍රී ලාංකික තරුණයකු බලහත්කාරයෙන් නියමු කුටියට ඇතුළු වී බෝම්බයක් ඇතැයි පවසා කාර්ය මණ්ඩලය බිය ගැන්වූ පුවතක් බී.බී.සී ගුවන් අඩවියෙන් වාර්තා වේ.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපළින් ජූනි 1දා මැදියම් රැයේ ගුවන්ගත වූ මේ යානය මැලේසියාවේ ක්වාලාලම්පූර් බලා විනාඩි 30 ක් පියාසර කිරීමෙන් අනතුරුව, මේ සිදුවීමෙන් පසු නැවත හරවා මෙල්බර්න් ගුවන්තොටුපළින් ගොඩ බස්වා තිබේ.
තමන් අත බෝම්බයක් ඇතැයි පැවසුව ද ඔහු අත තිබී ඇත්තේ බෝම්බයක් නොව කුඩා බැටරියක් යැයි මැලේසියාවේ ප්‍රවාහන බාර නියෝජ්‍ය ඇමති අබ්දුල් අසිස් බින් කප්රාවි ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
අත්අඩංගුවට ගත් අදාළ ශ්‍රී ලාංකිකයා මානසික රෝගයකින් පෙළෙන්නෙක් දැයි පරීක්ෂා කිරීමට වික්ටෝරියා පොලීසියේ ප්‍රධාන පොලිස් අධිකාරී ග්‍රැහැම් ඇක්ෂන් මේ වන විට කටයුතු කරමින් සිටියි.
මේ ගුවන් යානයේ ගමන් කළ මගියකුගෙන් ගත් ප්‍රකාශයක් මේ වන විට අන්තර්ජාලය වෙත මුදා හැර තිබේ. එහිදී අනන්‍යතාව සටහන් කිරීමට අකමැති ශ්‍රී ලාංකික මගියකු ප්‍රකාශ කළේ, කළු පැහැති ඇඳුමකින් සැරසුණු තරුණයකු එක්වර කලබලයෙන් නියමු කුටියට ඇතුළු වූ බවත් ඕස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනෙක් මැදිහත් වී ඒ තරුණයා අල්ලා ගත් බවත් ය. මගීන් සියල්ලෝ ම බියට පත් වී සිටි අතර අනතුරුව ආරක්ෂක අංශ විසින් ඔහු ව අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු පවසන්ෙන් ගුවන් සේවාව ගැන අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති අතර මෙවැනි දේ සාමාන්‍යෙයන් සිදු විය හැකි බව ය.
ශ්‍රී ලාංකිකයකු මෙවැනි දෙයක් කළ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. ෆ්‍රී (FREE) නම් සිය දරුවාගේ අයිතිය ඉල්ලමින් සේපාල ඒකනායක අලිතාලියා නම් ගුවන් යානයක් පැහැර ගත් මානුෂීය ගුවන් යානා කොල්ලය මෙහිදී සිහිපත් වුවත් එය හා මේ සිද්ධිය සමාන නම් නොවේ. එදා සේපාල ඒකනායක වෙනුවෙන් අතීතයට ගැළපෙන පරිදි නීති සම්පාදනය කිරීමට එවකට ජනාධිපතිවරයා වූ ජේ. ආර්. ජයවර්ධනට සිදු විය. අද ඒ නීති සම්පාදනය ව ඇති බැවින් මේ තරුණයා වෙනුවෙන් එකී නීතිය ක්‍රියාත්මක වනු ඇත්ද?
සුමුදු චතුරාණී