සුපිරි ක්‍රීඩකයෙක් නින්දෙන් රිය පදවයි | සිළුමිණ

සුපිරි ක්‍රීඩකයෙක් නින්දෙන් රිය පදවයි

දිනය පසුගිය 05 වැනි සඳුදාය. වේලාව පාන්දර දෙකට ආසන්නය. ස්ථානය ඇමෙරිකාවේ ෆ්ලොරිඩාවේ ජුපිටර් අයිලන්ඩ්හි මහා මාර්ගයකි. මේ මාර්ගය දිවා කාලයේනම් අධික රථවාහන තදබදයකින් යුක්තය. මේ මාර්ගයේ රාත්‍රී මුර සංචාරයේ නිරතවෙමින් සිටි ජුපිටර් පොලිසියේ නිලධාරීන් දුටුවේ ඈත සිටි අමුතු ගමනිකින් එන මෝටර් රියකි.

එම රථය වරෙක මාර්ගයේ එක පසෙකට යයි. තවත් ‍වරෙක තවත් ‍පසෙකට යයි. සිග්සැග් ගමනින් ඉදිරියට එන මේ වාහනය සුඛෝපභෝගී මර්සඩිස් බෙන්ස් වර්ගයේ රථයක් බව පොලිස් නිලධාරී‍හූ රථය ළං වෙද්දී හඳුනා ගත්හ.මහා මාර්ගය පුරා ගමන් කරමින් පැමිණි මේ වාහනය ඒ මොහොතේත් පැමිණියේ පැයට කිලෝමිටර හතළිහක පමණ වේගයකිනි. නිලධාරීහූ වහා ඉදිරියට පැන වාහනය නවත්වා ගත්හ. මද දුරක් ඉදිරියට ගිය වාහනය නැවැත්විණි.

නතර කළ වාහනයේ රියැදුරු අසුන ළඟට ගිය ජුපිටර් පොලිස් නිලධාරියකු රියට එබී බලද්දී දුටුවේ රියැදුරා ඒ වෙද්දීත් හොඳ නින්දක පසුවන අන්දමය.පොලිස් නිලධාරියා වහා රියැදුරා අවදි කර රියෙන් බසින ලෙසට අණ කළේය. අන්දමන්දව සිටි රියැදුරා වාහනයෙන් බිමට බැස්සේය. යන එනමන් නොදැන සිහි විකලෙන් මෙන් එහි සිටි සුපිරි ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් දුටු පොලිස් නිලධාරීහු වහා ඔහුගෙන් ප්‍රශ්න කිරීම ආරමභ කළහ.

හතළිස් එක් හැවිරිදි මේ සුපිරි ක්‍රීඩකයා නින්දෙන් වාහනය පැදවූ කතාව පසුගියදා ලොව පුරා මාධ්‍ය ජාලා හරහා පැතිර ගියේ ජුපිටර් පොලිසිය එම සිද්ධියේ වීඩියෝ පටය නිකුත් කිරීමත් සමඟය.

මිනිත්තු 98ක් පුරා දිවෙන එම වීඩියෝ පටයට අනුව පොලිසිය ක්‍රීඩකයා රථයෙන් බැස්සවීමෙන් පසු ඔහුගෙන් ප්‍රශ්න කරද්දීත් ඔහු තමන් ගමන් කරමින් සිටියේ කොහේටදැයි කීමට දැන නොසිටි බව ‍ප්‍රචාරය විය. කෙළින් සිට ගැනීමටවත් නොහැකිව වික්ෂිප්තව සිටි වුඩ්ස් අත්අඩංගුවට ගැනීමට පෙර ප්‍රශ්න කරද්දි පිළිතුරු දීගත නොහැකිව වචන පැටලී ඇත.

ඒ අතරේත් හිටගෙනම නින්දට වැටෙමින් දැස් ඇරගෙන සි‍ටීමට අපහසුවෙන් සිටින මේ සුපිරි ක්‍රීඩකයා බීමත්ව ඇති බවට සැක පහළ කළ පොලිස් නිලධාරීහු ඔහු අදාළ පරීක්ෂණවලට යොමු කළහ.පොලිසිය සමඟ ඉතා සහයෝගයෙන් කටයුතු කර ඇති වුඩ්ස් පොලිස් පරීක්ෂා කිරීම් සියල්ලටම මුහුණ දුන්නේය. පොලිස් නිලධාරීන් ඔහුට ඉංග්‍රිසි හෝඩිය අග සිට මුලට පවසන ලෙස අණ කරද්දී ඔහු ඇමෙරිකානු ජාතික ගීය අග සිට මුලට කීමට ඉදිරිපත් වී ඇත. අවසානයේ මේ සියලු පරික්ෂා කිරීම්වලින් පසු ඔහු මත්පැන් පානය කර නොසිටි බව හෙළිවී ඇත්තේය.

වුඩ්ස් පදවා ගෙන ආ වාහනයේ රෝද ඉතා දරුණු ලෙස කඩතොලුවී තිබූ අතර වාහනයේ බඳද තැනින් තැන තැලී පොඩිවී තිබීමෙන් හෙළිවී ඇත්තේ එන අතරමඟදී ද වාහනය තැනින් තැන අනතුරට ලක්ව ඇති බවය.

කෙසේවෙතත් පොලිසිය වුඩ්ස් අත්අඩංගුවට ගෙන ජුපිටර් පොලිස් ස්ථානය වෙත කැඳවා ගෙන ගොස් තිබේ. එහිදී කළ මූත්‍රා පරීක්ෂණවලදී වුඩ්ස් අසනීපයක් සඳහා වෛද්‍යවරුන් නියම කළ ඖෂධ හතරක් හැර වෙනත් කිසිම මත් ද්‍රව්‍යයක් භාවිත කර නොතිබූ බවද හෙළිවිය. මේ අපරික්ෂාකාරී රිය ධාවනය සම්බන්ධයෙන් පැය කිපයක් පොලිස් අත්අඩංගුවේ පසුවූ වුඩ්ස්ට විරුද්ධව ජුපිටර් පොලිසිය දැන් අධිකරණයේ නඩු පවරා තිබේ. එම‍ නඩුව මේ ග්‍රීෂ්ම ඍතුනේ පසු ඇසීමට නියමිතය.

ලොව ගොල්ෆ් කිරුළ කීප වරක්ම දිනා ගත් මේ සුපිරි ක්‍රීඩකයා ගොල්ෆ් ක්‍රිඩාවේ වාර්තා රැසක් බිඳ හෙළමින් නව වාර්තා තැබූවෙකි. එපමණත් නොව ලෝකයේ වැඩිම මිලක් අය කරන ක්‍රීඩකයන් අතරින් ඔහු ද අයෙකි. ටයිගර් වුඩ්ස් සතු වත්කම ඩොලර් මිලියන 750කට අධික වෙතැයි පැවසේ. මේ සුපිරි ක්‍රීඩකයා පිළිබඳ ප්‍රසිද්ධ තවත් කරුණක් වන්නේ ඔහු සතු දැවැන්ත යාත්‍රායි.

'ටයිගර්' ලෙසින් නම්කර ඇති මේ එක් යාත්‍රාවක දැවැන්ත ගොල්ෆ් ක්‍රීඩාංගණයක් ද වෙයි. වසර කීපයක සිට කොන්දේ හා දණහිසේ ආබාධ හේතුවෙන් ගොල්ෆ් ක්‍රීඩාවෙන් ඈත්ව සිටින මොහු පිළිබඳ වංහුං යළි කරළියට ඒමට ඔහුගේ මේ නින්දෙන් රිය පැදවීම හේතු විය. කෙසේවෙතත් මෑතදී කළ සැත්කම් කීපයකින් පසු යළිත් ගොල්ෆ් පිටියට පිවිසෙන බව ඔහු මෑතකදී ට්විටර් පණිවුඩයකින් පවසා තිබිණ.

Comments