
ඉතා ත්‍රාසජනක මොටෝ ග්‍රෝන් ප්‍රී (මොටෝ ජී. පී.) 2017 ලෝක ශූරතාවලියේ 07 වැනි තරගය අද (11) ස්පාඤ්ඤයේ කැටලන්හිදී පැවැත්වීමට නියමිතය. ගිය වසරේදී මෙම තරගය ජය ගත්තේ ඉතාලියේ වැලෙන්ටිනෝ රොසි විසිනි.
මේ වන විට පවත්වා තිබෙන මෙම වසරේ ලෝක ශූරතාවලියේ තරගවලට අනුව ප්‍රසාද ලකුණු 105 ක් හිමිකර ගනිමින් ස්පාඤ්ඤයේ මැව්රික් විනාලෙස් ඉදිරියෙන් සිටියි. 22 හැවිරිදි විනාලෙස් නියෝජනය කරන්නේ යමහා කණ්ඩායමයි.
ලකුණු 79 ක් හිමි කරගෙන සිටින ඉතාලියේ 31 හැවිරිදි ඇන්ඩ්‍රෙයා ඩොවිෂියෝසෝ හට දෙවැනි ස්ථානයයි. හෙතෙම ඩුකාටි කණ්ඩායම නියෝජනය කරයි. සුපිරි ඉතාලියානු ක්‍රීඩක වැලෙන්ටිනෝ රොසි හට තෙවැනි තැනය. යමහා කණ්ඩායම නියෝජනය කරන 38 හැවිරිදි රොසිට ලකුණු 75 කි.
ඉකුත් සති අන්තයේදී මෙවර ලෝක ශූරතාවලියේ හය වැනි තරගය පැවැත්විණි. ඒ ඉතාලියානු තරගයයි. එය ජය ගැනීමට සමත් වූයේ ඩොවිෂියෝසෝ විසිනි. එහිදී දෙවන තැන විනාලෙස්ටය. තෙවැනි තැන ඉතාලියේ ඩැනිලෝ පෙට්රුචිටය. ඔහුගේ කණ්ඩායම වන්නේ ඩුකාටිය.
මේ අතර හිටපු ලෝක ශූරයෝ වන මාර්ක් මාර්කෙස් සහ ජෝර්ගේ ලොරෙන්සෝ ද මෙවර ලෝක ශූරතාවලියේ හොඳම තරගකරුවන් දස දෙනා අතර සිටිති. 24 හැවිරිදි මාර්කෙස් හොන්ඩා සහ 30 හැවිරිදි ලොරොන්සෝ ඩුකාටි කණ්ඩායම් නියෝජනය කරති.










