මුල අමතක නොකළ නිමාලි ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේ නැවතත් බැබළෙයි | Page 2 | සිළුමිණ

මුල අමතක නොකළ නිමාලි ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේ නැවතත් බැබළෙයි

ක්‍රීඩා තරුවලින් බැබළුණු දෙවැනි ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේ අඛන්ඩව දෙවැනිවරටත් විශිෂ්ටතම ක්‍රීඩිකාවට හිමි සම්මානය හිමිකර ගැනීමට සමත් වූයේ මලල ක්‍රීඩිකා නිමාලි ලියනආරච්චියි. මේ නිමාලිගේ හඬට අප වෙන් කළ ඉඩකඩයි.

ඇත්තටම දෙවැනි පාරටත් විශිෂ්ටතම ක්‍රීඩිකාවට හිමි සම්මානය ලැබෙයි කියලා නම් හිතුවේ නෑ.

රියෝ ඔලිම්පික් උළෙලට ගිය ගීතානි අක්කත් හිටපු නිසා මම කොහොමත් වැඩි බලාපොරොත්තු තබා ගෙන හිටියේ නෑ. ඇත්තටම දෙපාරක් විශිෂ්ටම ක්‍රීඩිකාව වෙයි කියලා නම් හිතුවේ නෑ.

ඔබ දශක දෙකකට වැඩි කාලයක් තිබ්බ මීටර් 800 ශ්‍රී ලංකා වාර්තාව බිඳ දමනවා. හැබැයි ඒ වාර්තාව මෑතකදී ගයන්තිකා අබේරත්න තව ඉදිරියට ගෙන යනවා. මේ ප්‍රවණතාව ඔබ දකින්නේ කොහොමද?

ඇත්තටම හොඳ දෙයක්. මටත් කාලයක් තිස්සේ ම මේ ඉසව්වේ තරගයක් නැති එක ලොකුවට බලපෑවා. ඔය අතර තමයි ගයන්තිකා ඉදිරියට ආවේ. දැන් මට හොඳ තරගයක් තියෙනවා. ඒක මගේ ඉදිරි ගමනටත් අපේ මීටර් 800 ඉසව්වටත් හොඳ කාලයක් සටහන් කරන්න රුකුලක් වෙයි කියලා විශ්වාස කරනවා.

පසුගිය ආසියානු ග්‍රෝන් ප්‍රී තරගාවලියේ ඔබට මොකද වුණේ?

මම ආබාධයකට ලක්වෙලා හිටියේ. ඒ නිසා සුපුරුදු දක්ෂතා අතරට එන්න බැරි වුණා.

පසුගිය ජාත්‍යන්තර තරගවල ඔබ ක්‍රීඩා ජීවිතයට එකතු කරගත් දේවල් මොනවද?

ලොකු ආත්ම විශ්වාසයක් ඇතිවුණා. ධම්මිකා මැණිකේ අක්කාගේ ශ්‍රී ලංකා වාර්තාවට පවා යන්න පුළුවන් කියලා හිතුණේ ඒ තරගවල ලබපු අත්දැකීම් තමයි.

අන්තිම අවුරුදු දෙක තුන ගත්තොත් මුලින්ම දිනා ගත්තේ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ ලෝකඩ පදක්කම?

ඔව්. ජාත්‍යන්තර වශයෙන් මම 2015 දී මුලින්ම ගියෙත් ඒ තරගාවලියට.

ඔබ කාලයක් තිස්සේම ආසියානු තරගාවලියේ පදක්කමක් ගැන හීන දැක්කා?

ඇත්තටම ඔව්. මම මේ ක්‍රීඩාවට යොමු වෙලා ගෙවිලා යන්නේ 11 වැනි අවුරුද්ද. මේ අවුරුදු 11 පුරාම තිබ්බෙත් ඒ බලාපොරොත්තුව කිව්වොත් හරි.

මීටර් 800 ඉසව්වට ඔබ යොමුවුණේ කොහොමද?

මම පටන් ගත්තේ මීටර් 3000 බාධක දිවීමෙන්.මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව 2008 දී මගේ නමට ලියා ගත්තේ. 2009 වෙනකොට පස් වතාවක් මම ඒක අලුත් කළා. ඔය කාලේ ඇතුළත ගැස්ට්‍රයිටිස් තත්ත්වය හැදිලා හුඟක් දුර්වල වුණා.

ඔබ ඉසව්ව මාරු කළේ ඊට පස්සේද?

ඔව්, ඊට පස්සේ 2012 දී සුජිත් සර් තමයි කිව්වෙ අපි ඉසව්ව මාරු කරලා බලමු කියලා.

ඒකෙන් පාඩුවක් වෙලා නෑ?

ඇත්තටම.

පුහුණුවීම් කොහොමද?

අඩුපාඩු නැතුව නෙවෙයි. මම ඒවා ගණන් නොගෙන, අඩුපාඩු මඟහරවා ගෙන තමයි වැඩ කරන්නේ.

ගුවන් හමුදාව පවුලක් විදියට එකතු වෙලා ඔබට උපරිම සහය දක්වනවා?

ඔව්, වචනවලට පෙරලන්න බැරි තරම් ගුවන් හමුදාපතිතුමා ඇතුළු ගුවන් හමුදාවම මට උපරිම දේවල් කරලා දෙනවා.

ඔබේ පවුලේ තොරතුරු?

තාත්තා ගොවිතැන් කළේ. හදිසි අනතුරකින් 2002 නැති වෙනවා. එතකොට මම ක්‍රීඩා කරන්නෙත් නෑ. 2004 දි මම ක්‍රීඩාවට යොමු වෙනවා. අම්මා තමයි තාත්තා නැතිවුණාට පස්සේ නංගියි, අයියලා දෙන්නගෙයි බර සම්පූර්ණයෙන්ම කරට ගත්තේ.

ඔබ ක්‍රීඩා කළේ නැත්නම්?

ඒක හිතා ගන්නවත් බෑ. මොන විදියේ රැකියාවක් කරයි ද කියලවත්.

නිමාලිට ජීවිතයේ හීන තිබුණද?

එහේම මහා ලොකු හීන තිබුණේ නෑ. ජොබ් එකක් වුණත් ලැබෙන එකක් කරනවා කියලා හිතුවා.

ක්‍රීඩිකාවක් වීම ගැන අද මොකද හිතෙන්නේ?

ගොඩක් සතුටු වෙනවා.

ඒ කියන්නේ නිමාලිට, නිමාලිව හොයලා දුන්නේ ක්‍රීඩාව?

ඒක බොරුවක් නෙවෙයි. මේ ගමන පිටිපස්සේ එදා 2004 ඉඳලම හිටියේ සුජිත් සර්. ඒ දවස්වල මට කොළඹින් ගොඩක් ආරාධනා ලැබුණා. මම ඒවා පිටිපස්සේ ගියෙත් නෑ.

මම මුල අමතක කරපු නැති නිසා අද මෙතැන ඉන්නවා කියලා හිතනවා. මගේ පුුහුණුකරු ගුවන් හමුදාව වගේම මාව වචනයකින් හරි දිරිමත් කරන අයත් ආදරයෙන් මේ වෙලාවේ සිහිපත් කරනවා.

 

 

 
 

Comments