
දශක ගණනාවක් තිස්සේම ලොව ජනප්‍රියතම රාජකීය පවුල ලෙසට සැලකෙන්නේ බ්‍රිතාන්‍ය රාජකීයයන් ය. පසුගියදා එම පවුලේ තවත් රාජකීය විවාහයක් සිදු විය. ඒ අනාගත බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි විලියම් කුමරුගේ බිරිය වන කේට් කුමරියගේ නැගණිය වන පිලිපා හෙවත් පීපාගේ විවාහයයි.
33 හැවිරිදි ඇය විවාහ වූයේ එංගලන්තයේම 41 හැවිරිදි ජේම්ස් මැතිව්ස් සමඟිනි. ඔහු හිටපු මෝටර් රථ ධාවන ශූරයෙකි. මෙම විවාහය බර්ක්ෂයර්හි එන්ගල්ෆීල්ඩ් වතුයායේ පිහිටි ශාන්ත මාර්ක් පල්ලියේදී සිදුකෙරිණි. ඔවුන් විවාහ ගිවිස ගනු ලැබුවේ 2016 වසරේ ජූලි මාසයේදීය. ඒ පෙම් යුවළක් වී වසරකටත් අඩු කාලයකදී වීම විශේෂත්වයකි.
1983 සැප්තැම්බර් 06 පිලිපා චාර්ලට් මිඩ්ල්ටන් උපත ලැබුවාය. ඒ එංගලන්තයේදීය. ඇය දූ දරුවන් තිදෙනෙකුගෙන් සමන්විත පවුලක දෙවැන්නියයි. කේට් කුමරිය පීපාට වඩා වසරකින් පමණ වැඩිමහල්ය. පීපා සමාජ සේවයට ප්‍රකට තරුණියකි. එමෙන්ම ගත් කතුවරියක් සහ තීරු රචිකාවියක් ද වන්නීය. ඔවුන්ගේ මවුපියන් වන්නේ මයිකල් සහ කැරොල් මිඩ්ල්ටන්ය. මයිකල් බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සමාගමේ සේවය කළේය. කැරොල් හිටපු ගුවන් යානා සේවිකාවකි.
ජේම්ස් ස්පෙන්සර් මැතිව්ස් 1975 වසරේ අගෝස්තු 21 වැනිදා උපත ලැබීය. ස්කොට්ලන්ත ප්‍රකට ඉඩම්හිමියෙක් වන ඩේවිඩ් සහ සිම්බාබ්වේ හි උපත ලැබූ චිත්‍ර ශිල්පිනියක් වන ජේන් ඔහුගේ මවුපියන්ය. එම විවාහයේ පුතුන්ම තිදෙනෙකි. මින් වැඩිමහල්ම පුතු ජේම්ස් වේ. ඔවුන් ඩේවිඩ්ගේ දෙවැනි විවාහයේ දරුවන්ය. ජේම්ස්ගේ පියා වන ඩේවිඩ් ගේ පළමු විවාහයේ දියණිය නීනාය. ඇය ජේම්ස්ගේ අර්ධ සොහොයුරියයි.
ජේම්ස්ට බාල සොහොයුරන් දෙදෙනෙකි. මින් මයිකල් 1999 වසරේදී මිය ගියේය. එවිට ඔහු 22 හැවිරිදිය. මයිකල් ප්‍රකට කඳු නඟින්නෙකි. හෙතෙම 1999 වසරේදී නව වාර්තාවක් පිහිටුවීය. එනම් එවරස්ට් තරණය කළ එවකට ළාබාලතම බ්‍රිතාන්‍ය ජාතිකයා බවට පත් වීමය. එම වාර්තාව පිහිටුවීමෙන් පැය කිහිපයකට පසුව යළි පැමිණෙන විටදී හිම කුණාටුවකට අසු වී මයිකල් අපකීර්තිමත් මරණීය කලාපය නම් පෙදෙසේදි අතුරුදන් විය. ඔහුගේ සිරුර කිසි දිනෙක හමු වූයේ නැත. ජේම්ස්ගේ අනෙක් සොහොයුරා වන ස්පෙන්ස්ර් 1988 වසරේදී උපත ලැබීය. හෙතෙම වත්මනදී නළුවෙකි.
ජේම්ස් කලක් මෝටර් රථ ධාවකයකු ලෙසට ක්‍රියා කළේය. ඒ අනුව බ්‍රිතාන්‍ය ෆෝමියුලා 03 තරගාවලියට ඔහු තරග කළේය. එමෙන්ම 1994 වසරේදී බ්‍රිතාන්‍ය ෆෝමියුලා රෙනෝල්ට් ශූරයා බවටත් පත් විය. තවද එම වසරේම යුරෝ කුසලාන ෆෝමියුලා රෙනෝල්ට් ශූරයා වූයේත් ඔහුමයි.
2007 වසරේ සිට බියුෆෝර්ට් ග්ලෙන් ඇෆ්රික් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්යක්ෂවරයා ලෙසට ජේම්ස් ක්‍රියා කරයි. ස්කොට්ලන්තයේ සුප්‍රකට උස්බිමක පිහිටි අක්කර 10,000 ක් අයත් ග්ලෙන් ඇෆ්රික් පෙදෙසේ හිමිකාරත්වය ඉහත සමාගමට අයත්ය.
මීට අමතරව ජේම්ස් මැරතන්, අයන් මෑන් සහ තුන් ප්‍රයාම තරගවලට සහභාගි වෙමින් අරමුදල් එකුත කරයි. ඒ තම මිය ගිය සොහොයුරා වෙනුවෙන් පිහිටුවා තිබෙන මයිකල් මැතිව්ස් පදනම වෙනුවෙනි. මෙම පුණ්‍යාධාර කටයුතු සඳහා පීපා ද සහභාගි වන්නීය. ඔවුන් මෙමඟින් රැස් කර ගන්නා මුදලින් ලොව අන්ත දුගී ප්‍රදේශවල පාසල් ඇති කිරීමට උපකාර කරති.
ද ප්‍රශාන්ත ඇල්පිටිය










