ජනාධිපතිතුමාටත් තේරිලා හුඟාක් කල්... | සිළුමිණ

ජනාධිපතිතුමාටත් තේරිලා හුඟාක් කල්...

ටොමයි, ජෙරියයි කොටයක් උඩට වෙලා බර කතාවක්. චැම්පියන්ස් ශූරතාවලියේ ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු තරගයට ඇන්ජි ක්‍රීඩා කළෙත් නෑ. එයත් කොට උඩ. පුහුණු තරගයක් දෙකක් ක්‍රීඩා කරන ඇන්ජි අවශ්‍යම තරග ළං වෙනකොට ආබාධවලට ලක්වෙනවා. අන්තිමේ මැච් එකත් ලකුණු 96 කින් පරාදයි. විශේෂඥ දඟ පන්දු යවන්නකු නැති ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු රකින්නෝ පස් දෙනෙක් ක්‍රීඩා කළා.

මේක නම් ශ්‍රී ලංකා ක්‍රිකට් වල කරුමයක්ද කොහේදෝ. එක පැත්තකින් නායකයා නෑ. අනිත් පැත්තෙන් කණ්ඩායමේ වැඩි බර තියන්න පුළුවන් ක්‍රීඩකයා. මෙහෙම ආබාධ ගොඩක් එක්ක. එක අතකින් ක්‍රිකට් දුවන එක තමයි ලෝක පුදුමේ.

දෙවැනි ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේ ජනාධිපතිතුමා අපේ ක්‍රීඩාවට, ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉන්න අයට දැනෙන්න කරපු කතාව කී දෙනෙකුට තේරුණාද? කී දෙනෙක් තේරුම් ගත්තද කියලා තමයි අපි දෙන්නා මේ කතා කර කර හිටියේ. ටොමයි - ජෙරියයි මාව දැක්ක ගමන් කිව්වා.

අපේ රටේ ක්‍රීඩාවේ කෙරුවාව ජනාධිපතිතුමාට නොතේරෙන්නේ කොහොමද? බොරුවට - පුහු ආටෝපයට රට්ටු රවට්ටන්න දුවන්නේ - පනින්නේ නැති වුණාට, අවුරුදු ගණනාවක් පොළොන්නරුව දිස්ත්‍රික්ක ක්‍රිකට් සංගමයේ සභාපති, ශ්‍රී ලංකා ජල ක්‍රීඩා හා ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සම්මේලනවල සභාපති වෙලා හිටියා.

මචං උඹ අහගෙන නේද හිටියේ ජනාධිපතිතුමා කිව්වා දවසේ පැය විසිහතරෙන් වඩාත් සතුටු වෙන්නේ උදේට ව්‍යායාම කරන්න යොදවන පැයක කාලය කියලා.

ඒකේ, එතුමා කිව්ව සමස්ත කතාවම හරියට ඇහුව්වා නම් අපේ රටේ ක්‍රීඩාව ඉබාගාතේ යන්න දීලා බලාගෙන ඉන්න අයට ඉගෙන ගන්නම කොච්චර දේවල් තියෙනවාද?

පහුගිය දශකයක කාලය ඇතුලේ ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ ගැන බලාපොරොත්තු නොවූ ප්‍රතිඵල ගැන කනගාටුවක් ඇති වුණා කියලා කිව්ව මතකද?

සම්පූර්ණ ඇත්තනේ. අපේ ක්‍රීඩා බලධාරින් - නිලධාරින් තමන්ට පැවැරෙන වැඩ ටික හරියට කරනවා නම්, හරියට කළා නම් ජනාධිපතිතුමා කියන්න ඕනා, කනගාටු වෙනවා කියලා නෙවෙයි. අපේ ක්‍රීඩා පරිපාලකයන්ගේ උත්සාහය - උනන්දුව කැපවීම නිසා පහුගිය කාලයේ අපි ජාතික හා ජාත්‍යන්තරයේ අත්පත් කරගෙන තිබෙන ජයග්‍රහණ ගැන අද මම බොහෝම ආඩම්බරයෙන් කතා කරනවා. මේ දක්ෂතා ඉදිරියටත් ගෙන යන්න, ආරක්ෂා කරගන්න මීට වඩා අපි ආණ්ඩුවක් විදියට උදව් කරනවා කියලනේ.

එච්චර දක්ෂ, කාර්යක්ෂම පරිපාලකයෝ කොහෙද බං අපේ ක්‍රීඩාවේ ඉන්නේ.

එහෙම කියන්න එපා ජයග්‍රහණ රටට ගේන්න ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ව අපේ අය හැදුවේ නැති වුණාට, දැන් බලපල්ලාකෝ මේ පාර නිලවරණවලින් දිනන සෙට් එක ලබන පාරත් පුටු ටික රැක ගන්න මොන තරම් උනන්දුවෙයිද? මහන්සිවෙයිද? කැපවෙයිද කියලා. ඔය උනන්දුවෙන්, මහන්සියෙන්, කැපවීමෙන් සීයෙන් පංගුවක්වත් තම තමන් බාර ගන්න ක්‍රීඩාව ගොඩදාන්න යොදවනවා නම් අද මොනවා වුණත් හෙට නම් සතුටු වෙන්න පුළුවන් වෙයි.

අපේ රටේ ක්‍රීඩා පුටුවලට එන අයට ක්‍රීඩා ගැන ආදරයක්, කැක්කුමක් නෑ මචං.

ඒක ඇත්ත ජෙරියෝ. තනතුරුවලට පොරකාගෙන එන අයගේ එකම බලාපොරොත්තුව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඔය සංගම්වලට පොම්පවන සල්ලි කන්දරාව, රට සවාරිවලට මලපෙරේතකම් මිසක් ක්‍රීඩාවට අඩුම තරමේ මේ දේ කළා කියන්න නෙවෙයි. ඒක අපිට වඩා සහසුද්දෙන් ම ජනාධිපතිතුමා තේරුම් ඇරං හුඟක් කල්. මොකද මේවගේ දේවල්වල අලගිය මුලගිය තැන් අපිට වඩා හොඳට දන්න නිසා.

අපි තුන්දෙනා එහෙම ම ගෙවල් පැත්තට ගියා. ඉන්දු - ලංකා මැච් එක බලන්න.

Comments