ජනාධිපතිතුමනි මොවුන් බැඳ දමනු | Page 2 | සිළුමිණ

ජනාධිපතිතුමනි මොවුන් බැඳ දමනු

 

හෙට දවසේ ක්‍රීඩා ක්ෂේත්‍රය අභියෝගාත්මකයි. ඊයේ දවසට වඩා හෙට දවසට මුහුණදීමට සූදානම අවශ්‍යයි. එකක් ක්‍රීඩා ජයග්‍රහණ. අනික ක්‍රීඩාවේ දියුණුවත් එක්ක ජාත්‍යන්තර ජයග්‍රහණ.

දෙවැනි ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේ ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කරන විට,

මෙහිදී තරග කරලා ජයග්‍රහණ කළාට එහිදී ජයග්‍රහණ කරන්න පුළුවන්වෙයි කියලා හරියට ම කියන්න බෑ.

මේ යොවුන් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ බාලිකා මීටර් 2000 බාධක තරගය ශ්‍රී ලංකාවේ බිමාසා අස්මිකා හේරත්ට ලාංකේය බලධාරින්ගේ නොසැලකිල්ල, උදාසීනභාවය, නොහැකියාව නිසා අහිමි වූ විට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා තේරීම් කමිටු සභාපතිවරයා මේ සම්බන්ධයෙන් මතු කළ පැනයකට පිළිතුරු දෙමින් මාධ්‍යයකට දක්වා තිබූ අදහස්ය.

තරග සංවිධායකයන්ගේ පටන් ලාංකේය නිලධාරින්ගේ සම්පූර්ණ නොසැලකිල්ල නිසා ශ්‍රී ලංකාවට හිමිවීමට තිබූ රන් පදක්කමක් අහිමි විය. අස්මිකා ජාතික යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 2000 බාධක ඉසව්ව විනාඩි 6:59.96 කින් නිම කරමින් යොවුන් ලෝක ශූරතාවලිය ඇතුළු තරගාවලි රැසකට සුදුසුකම් ලබා ගත්තාය.

ආසියානු යොවුන් තරගාවලියේ වාර්තාව විනාඩි 7:01.06 කි. මෙවර ආසියානු යොවුන් තරගාවලියේ රන් පදක්කම හිමිකර ගත් දකුණු කොරියානු ක්‍රීඩිකාව වාර්තා කළ කාලය විනාඩි 7:02.07 කි. මෙවැනි මැටි අඳබාල අදහස් ඇති ජාතික තේරීම් කමිටු සභාපතිවරයකු තබාගෙන ලාංකේය මලල ක්‍රීඩාව දක්කාගෙන යන්නේ වළපල්ලට දැයි නොදනිමු. ලාංකේය මලල ක්‍රීඩාවේ හෙට දවසේ තීන්දු තීරණ ගන්නේ මෙවැනි නිලධාරියකු නම් ක්‍රීඩාවට දෙයියන්ගේ පිහිට හැර වෙන පිහිටක් තිබේදැයි සැක සහිතය.

සුසන්තිකා 2000 සිඩ්නි හිදී ඔලිම්පික් පදක්කම් දිනන විට මෙරට ක්‍රීඩා බලධාරින් සිතුවේ වරකාපොල ඇත්නාවල කොස් - දෙල් - පොළොස් කා හැදුණු කටකාර සුසන්තිකාත් ඔලිම්පික් පදක්කමක් දිනුවා නම්, ඊට පසු ඔලිම්පික් පදක්කම් ගෝනි ගණන් දිනිය හැකි බවය. නමුත් එය කොතරම් අසීරු ද යන්න එතැන් පටන් ගෙවී ගියා වූ ඔලිම්පික් උළෙල හතරකදී ඔප්පු වී හමාරය. ඩන්කන් වයිට්ගේ ඔලිම්ිපික් ජයග්‍රහණයේ පටන් සුසන්තිකාගේ ජයග්‍රහණය දක්වා ගෙවී ගියාවූ කාලය වසර 52 කි. සුසන්තිකා ජය ගත් තැන් පටන් තවත් ජයග්‍රහණයට වසර 52 ක් ගෙවී ගියද පුදුම විය යුතු නොවේ. මන්ද යත් මෙවන් පටු මානසික අදහස් ඇති තේරීම් කමිටු සභාපතිවරුන් සිටින තාක්කල් ඒවා සිහින වන බැවිනි. ජනාධිපතිතුමනි මෙවැනි නිලධාරින් කෙවිටකින් දක්කාගෙන ගොස් බැඳ දැමිය යුතුය.

Comments