චැම්පියන්ස්? | Page 2 | සිළුමිණ

චැම්පියන්ස්?

අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි. සී. සී.) විසින් මෙහෙයවනු ලබන ශූරයන්ගේ කුසලාන හෙවත් චැම්පියන්ස් කුසලාන තරගාවලිය එංගලන්තය සහ වේල්සයේ දී පැවැත්වේ. මෙවර ශූරතාව හිමිකර ගනු ලබන රට ගැන විවිධ අනාවැකි පළ විය. ඒ අතර හිටපු නායකයන් 05 දෙනෙකුගේ අනාවැකිද වෙයි. ඔවුන් වනුයේ ශ්‍රී ලංකාවේ කුමාර සංගක්කාර, ඔස්ට්‍රේලියාවේ මයිකල් ක්ලාර්ක්, මයික් හසී, ඉන්දියාවේ කපිල් දේව් සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි ක්‍රිස් ගේල්ය.

මයිකල් ක්ලාර්ක් (ඔස්ට්‍රේලියාව)

"මට හිතෙන හැටියට මෙවර අවසන් තරගයට ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව සුදුසුකම් ලබනවා. ඒ සඳහා බ්‍රිතාන්‍යයේ පවතින තත්වයත් විශාල කාර්යභාරයක් කරයි. පන්දුව වැඩිපුර දෝලනය වුවහොත් එහිදී ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන්ට මුහුණ දීම අමාරු වෙනවා. එය අපිට වාසිදායක වෙනවා. මිචෙල් ස්ටාර්ක්, ජේම්ස් පැටින්සන්, ජොෂ් හේෂල්වුඩ් සහ පැට් කමින්ස්ගේ පන්දුවලට මුහුණදීම පහසු නැහැ. ඒ වගේම උෂ්ණදායක තත්ත්වයක් සහ පන්දුව දඟ කැවෙනවා නම් රවින්ද්‍ර ජඩේජා සහ රවිචන්ද්‍රන් අශ්වින්ට මුහුණදීම අසීරුයි. එවිට ඉන්දියාවට වාසිදායකයි."

උපත 1981 අප්‍රේල් 02, පිතිහරඹය දකුණතින්, පන්දු යැවීම වමත් දඟ, එක්දින ජාත්‍යන්තර තරග කාලය 2003 - 15, තරග 245, ලකුණු 7981, වැඩිම 130, සාමාන්‍යය 44.58, ශතක 08, අර්ධ ශතක 58, උඩ පන්දු 106, කඩුලු 57, හොඳම 35 - 5, සාමාන්‍යය 37.64, කඩුලු (05) 01, නායකත්වය 2008 - 15, ලෝක කුසලාන තරගාවලි - 2007 (ශූරතාව), 2011, 2015 (ශූරතාව - නායක), චැම්පියන්ස් කුසලාන තරගාවලි - 2004 (අවසන් පූර්ව), 2006 (ශූරතාව), 2013 (නායක)

ක්‍රිස් ගේල් (බටහිර ඉන්දීය කොදෙව්)

"ඉන්දියාව හෝ පාකිස්තානය මෙවර ජය ගන්නවා. කෝලි සහ දෝනි තරග දිනවන්නෝ. මෙවර තරගාවලියේ විශාලතම තරගය වන්නේ මුල් වටයේදී ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයයි. අවංකවම පවසනවා නම් මෙවර ශූරතාව ඔවුන්ගෙන් කවුරු හරි දිනාවි."

උපත 1979 සැප්තැම්බර් 21, පිතිහරඹය වමතින්, පන්දු යැවීම දකුණත් පිට දඟ, එක්දින ජාත්‍යන්තර තරග කාලය 1999 - 2015, තරග 269, ලකුණු 9221, වැඩිම 215, සාමාන්‍යය 37.33, ශතක 22, අර්ධ ශතක 47, උඩ පන්දු 114, කඩුලු 163, හොඳම 46 - 5, සාමාන්‍යය 35.20, කඩුලු (05) 01, නායකත්වය 2006/07 - 10/11, ලෝක කුසලාන තරගාවලි 2003, 07, 11, 15, චැම්පියන්ස් කුසලාන තරගාවලි 2002, 04 (ශූරතාව), 2013.

කපිල් දේව් (ඉන්දියාව)

"මෙවර ශූරතාව එංගලන්තයටයි. වසර 40 ක පමණ කාලයක් තුළදී එංගලන්තය ප්‍රථම වරට එක්දින ජාත්‍යන්තර තරගවලට ක්‍රීඩකයන් බිහි කරනවා. ජේසන් රෝයි, ජොෂ් බට්ලර්, ජෝ රූට්, ඔයින් මෝර්ගන් සහ බෙන් ස්ටෝක්ස් වැනි ක්‍රීඩකයන්ට තනිවම තරග දිනවන්න පුළුවනි. ඉන්දීය කණ්ඩායමත් හොඳයි. මගේ හදවතේ තේරීම ඉන්දියාවයි. නමුත් මගේ ක්‍රිකට් මොළය කියන්නේ ඉන්දියාව නොවේ. ඉන්දියාවට අවස්ථා තිබෙනවා. ඒ වුණත් එංගලන්තයයි ඉදිරියෙන්ම සිටින්නේ."

උපත 1959 ජනවාරි 06, පිතිහරඹය දකුණතින්, පන්දු යැවීම දකුණත් මද වේග, එක්දින ජාත්‍යන්තර තරග කාලය 1978 - 94, තරග 225, ලකුණු 3783, වැඩිම නොදැවී 175, සාමාන්‍යය 23.79, ශතක 01, අර්ධ ශතක 14, උඩපන්දු 71, කඩුලු 253, හොඳම 43 - 5, සාමාන්‍යය 27.45, කඩුලු (05) 01, නායකත්වය 1982 - 87, ලෝක කුසලාන තරගාවලි (ඕවර 50/60) - 1979, 1983 (ශූරතාව - නායක), 1987 (නායක), 1992.

කුමාර සංගක්කාර (ශ්‍රී ලංකාව)

"ගියවර හිමිකර ගත් ශූරතාව මෙවරත් රැක ගන්න ඉන්දියාව ඉදිරියෙන්ම සිටිනවා. ඔවුනට දක්ෂ එමෙන්ම සමබර කණ්ඩායමක් සිටිනවා. ඔවුනට සවිමත් වේග පන්දු බලඇණියක් ද තිබෙනවා. මෙවර තරගාවලියට ආසියානු කණ්ඩායම් සතරක් සිටිනවා. පැහැදිලිවම මෙම කලාපයේ ඉදිරියෙන්ම සිටින්නේ ඉන්දියාවයි. අවසන් පූර්ව තරගවලට සුදුසුකම් ලබන කණ්ඩායම් සතර ලෙසට මම තෝරන්නේ ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාවයි."

උපත 1977 ඔක්තෝබර් 27, පිතිහරඹය වමතින්, වෙනත් කඩුලු රැකීම, එක්දින ජාත්‍යන්තර තරග කාලය 2000 - 15, තරග 404, ලකුණු 14,234, වැඩිම 169, සාමාන්‍යය 41.98, ශතක 25, අර්ධ ශතක 93, උඩපන්දු 402, ස්ටම්ප් කිරීම් 99, නායකත්වය 2009 - 11, ලෝක කුසලාන තරගාවලි - 2003 (අවසන් පූර්ව), 2007 (අනුශූරතාව), 2011 (අනුශූරතාව - නායක), 2015 චැම්පියන්ස් කුසලාන තරගාවලි - 2000, 2002 (සම ශූරතාව), 2004, 06, 13 (අවසන් පූර්ව), සම්මාන - අයි. සී. සී. වසරේ එක්දින ක්‍රීඩකයා - 2011, 2013.

මයික් හසි (ඔස්ට්‍රේලියාව)

"ඔස්ට්‍රේලියාව සහ එංගලන්තයයි අවසන් තරගයට සුදුසුකම් ලබන්නේ. කෙතරම් මම කියන්න අකමැති වුණත් එංගලන්තය අවසන් තරගයට සුදුසුකම් ලබනවා. ඔස්ට්‍රේලියාවට හොඳ සෑම අතින්ම සමබර කණ්ඩායමක් සිටිනවා. මේ කණ්ඩායමේ තීරණාත්මක සාධකය ක්‍රිස් ලින්. මෙවැනි තරගාවලියන්ට සහභාගි වන සේරම හොඳ කණ්ඩායම්. ඒ නිසා ජයග්‍රාහකයන් තේරීම හරිම අමාරුයි. කෙසේ වෙතත් එංගලන්තයට සහ ඔස්ට්‍රේලියාවටත් ජය ගන්න ලොකු අවස්ථාවක් තිබෙනවා."

උපත 1975 මැයි 27, පිතිහරඹය වමතින්, පන්දු යැවීම දකුණත් මද වේග, එක්දින ජාත්‍යන්තර තරග කාලය 2004 - 12, තරග 185, ලකුණු 5442, වැඩිම නොදැවී 109, සාමාන්‍යය 48.15, ශතක 03, අර්ධ ශතක 39, උඩ පන්දු 105, කඩුලු 02, හොඳම 22 - 1, සාමාන්‍යය 117.50, නායකත්වය 2006 - 07, ලෝක කුසලාන තරගාවලි 2007 (ශූරතාව), 2011, චැම්පියන්ස් කුසලාන තරගාවලි 2006 (ශූරතාව), 2009 (ශූරතාව), සම්මානය අයි. සී. සී. වසරේ එක්දින ක්‍රීඩකයා 2006.

Comments