අන්තරායකර රසායනික ද්‍රව්‍ය හඳුනාගන්නේ මෙහෙමයි | සිළුමිණ

අන්තරායකර රසායනික ද්‍රව්‍ය හඳුනාගන්නේ මෙහෙමයි

 මේ ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ අන්තරායකර රසායනික ද්‍රව්‍ය වශයෙන් දැනට සම්මත වී ඇති රසායනික සංයෝග හා ඒවායේ මිශ්‍රණ හඳුනාගැනීම හා ඒවායින් සිදු වන අනතුරුවලින් වැළකීමට උපකාර වන සරල අත්වැලකි.

 

අන්තරායකර රසායනික ද්‍රව්‍ය යනු මොනවාද ?

පරිසරයට හෝ මනුෂ්‍ය ජීවිතවලට හානිදායක ප්‍රතිඵල ඇති කිරීමට සමත් ද්‍රව්‍ය හෝ මිශ්‍රණ මෙලෙස හැඳින්වේ.

මේවා කාණ්ඩ හතකට වර්ග කර ඇත.

1. ප්‍රතික්‍රියාකාරි ද්‍රව්‍ය - වායුගෝලීය ජලවාෂ්ප, ඔක්සිජන්, වෙනත් ද්‍රව්‍යවල ස්පර්ශය සහ උෂ්ණත්ව වෙනස්වීම් යනාදි සුවිශේෂ සාධක කරණ කොට ගෙන මෙසේ නම් කර ඇති ද්‍රව්‍යයන්හි භයානක හෝ අහිතකර රසායනික ප්‍රතික්‍රියා සෙමෙන් හෝ ශීඝ්‍රව ඇති වේ.

2. ඇවිළෙනසුලු ද්‍රව්‍ය - ඉහත දැක්වූ ලෙස ඇති වන ප්‍රතික්‍රියාවක් නිසා ගිනි ඇවිළීම් ඇති කරන ද්‍රව්‍ය මෙනමින් හැඳින්වේ.

3. විඛාදක ද්‍රව්‍ය - ඉතා සැර ආම්ලික, භාස්මික හෝ වෙනත් තියුණු ප්‍රතික්‍රියාවක් මගින් ස්පර්ශ වන ද්‍රව්‍යවලට හෝ මනුෂ්‍ය ශරීරවලට පිලිස්සීම්, තුවාල වීම් හෝ විරූප වීම් ඇති කරන ද්‍රව්‍යයි.

4. විකිරණශීල ද්‍රව්‍ය - ඇල්ෆා, බීටා සහ ගැමා යන ජීවීන්ට අහිතකර කිරණ පිට කරන ද්‍රව්‍යයි.

5. ජෛව විෂ - ජීවීන්ගේ ශ්වසනය, ආහාර ජීර්ණය, ප්‍රජනනය, ස්නායු පද්ධතිය යනාදි වැදගත් ජීව රසායනික ක්‍රියාවලට හානි පමුණුවන හෝ අඩපණ කරන ද්‍රව්‍යයි.

6. සම්පීඩිත වායු - ඇමෝනියා, ක්ලෝරීන් යනාදිය ගබඩා කර ඇත්තේ අධික පීඩනයක් යටතේය. යම් හෙයකින්, නොසැලකිල්ල හෝ තාක්ෂණික දෝෂයක් නිසා මෙකී වායු අඩංගු සිලින්ඩරයක් පුපුරා ගිය හොත් පිලිස්සීම හෝ ශ්වසන පද්ධතියට හානි වීම නිසා ජීවිත හානි පවා සිදු විය හැකිය.

7. ශීතකාරක ද්‍රව්‍ය - ප්‍රධාන වශයෙන් ක්ලෝරොෆ්ලුවරො කාබන් වායු මේ යටතට ගැනේ. මේවා ඒවා අඩංගු සිලින්ඩර හෝ ශීතකරණ උපාංග තුළින් ඉවතට කාන්දු වීමෙන් ඕසෝන් ස්තරයට හානි වීම යනාදි එකවර මිනිය නොහැකි ව්‍යසන සිදු වේ.

අන්තරායකර රසායනික ද්‍රව්‍ය වහා හඳුනාගැනීම සඳහා සම්මත ලේබල් සමූහයක් ඇත. සාමාන්‍යයෙන් මේවා අදාළ රසායනික අසුරා ඇති බඳුන් හා බහාලුම් මත අලවා ඇත:

· විඛාදකයකි (Corrosive) - සල්ෆියුරික්, නය්ට්‍රික්, හයිඩ්‍රොක්ලෝරික් යනාදි ප්‍රබල අම්ල මේවාට උදාහරණ වේ.

· ගිනිගන්නාසුලුය (Flammable) - අයිසොප්‍රොපයිල් මද්‍යසාරය, පෙට්‍රල්, ඊතර්, කපු පුලුන්

· ඔක්සිකාරකයකි (Oxidizing) - පොටෑසියම් පර්මැන්ගනේට්, හය්ඩ්රජන් පෙරොක්සයිඩ්

· හානිදායකයකි (Harmful/ උද්දීපකයකි Irritant) - භූමිතෙල්, ක්ලොරෆෝම්, ෆීනෝල්.

· පුපුරනසුලුය (Explosive) - වෙඩිබෙහෙත්,ඩය්නමයිට්, යනාදීද්‍රව්‍ය

· විෂ ද්‍රව්‍යයකි (Toxic) - බෙන්සීන්, රසදිය, ඇට්‍රොපීන්, පොටැසියම් සයනයිඩ්

· පරිසරයට විෂ සහිතය (Environmental hazard) - කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්

රසායනාගාරයකට හෝ කර්මාන්ත ශාලාවකට ඇතුළු වීමේදී ඉහත ලේබල් මතක තබාගෙන සිටීම ඔබගේ ආරක්ෂාවට මහෝපකාරි වේ.

මෙයට අමතරව අන්තරායකර ද්‍රව්‍ය ගබඩා කර ඇති ස්ථාන සහ ඒවායේ අන්තරායදායක තත්ත්ව පවතින බවට හඟවන සංඥා සඳහන් ලේබල් ඇත. ඔබගේ සහ අනෙක් අයගේ ජීවිතාරක්ෂාව සඳහා මේවා දැන සිටීම ප්‍රයෝජනවත් විය හැකිය.

මේ ලේබල් පන්ති දහයක් යටතේ වර්ගීකරණය කර ඇත:

1. පළමු පන්තිය - පුපුරන ද්‍රව්‍ය

2. දෙවන පන්තිය - සම්පීඩිත, ධ්රුවීකරණය කළ හෝ පීඩනය යටතේ දිය වූ වායු

3. තෙවන පන්තිය- ඇවිලෙනසුලු ද්‍රව්‍ය

4. හතරවන පන්තිය- ඇවිළෙනසුලු ඝන ද්‍රව්‍ය

5. පස්වන පන්තිය - ඔක්සිකාරක

6. හයවන පන්තිය - වස සහිත හෝ ආසාදක ද්‍රව්‍ය

7. හත්වන පන්තිය - විකිරණශීල ද්‍රව්‍ය

8. අටවන පන්තිය - විඛාදක ද්‍රව්‍ය

9. නවවන පන්තිය - පරිසරයට හානිකර ද්‍රව්‍ය

10. දසවැනි පන්තිය - ඕසෝන් ස්තරයට හානිකර ද්‍රව්‍ය

ඉහත සඳහන් අනතුරු හැඟවීම් පහත ඇති ආකාරවලට ප්‍රායෝගිකව ඔබට දැකගත හැකිය.

ලේබල්

1. සැපයුම්කරුවන්ගේ ලේබල්

2. වැඩ කරන ස්ථානවල ඇති ලේබල්

මුද්‍රිත ලේඛන

1. ද්‍රව්‍යවල ආරක්ෂක දත්ත සඳහන් ලේඛන (Materials Safety Data Sheets - MSDS)

2. අත් පොත් සහ ප්‍රකාශන (Hand Books, Specifications)

අනතුරුදායක ද්‍රව්‍ය ප්‍රවාහනයේදී භාවිත කරන වාහනවල සහ බහාලුම්වල පහත සඳහන් අනතුරු හැඟවීමේ සංකේත අනිවාර්යයෙන් දක්නට ලැබේ.

රසායනික ද්‍රව්‍ය නිෂ්පාදකයෝ තම නිෂ්පාදන සැම එකකම පහත සඳහන් වැදගත් තොරතුරු අනිවාර්යයෙන්ම සඳහන් කරති:

1. නිෂ්පාදනයේ හැඳින්වීම

2. අනතුරුදායක බව පෙන්වන සංකේත

3. අවදානම් වැකි සහ අවදානම වළකන පූර්වෝපාය

4. සැපයුම්කරුවාගේ තොරතුරු හා ප්‍රථමාධාර

5. ද්‍රව්‍යවල ආරක්ෂක දත්ත සඳහන් ලේඛන සඳහා ඇති යොමු අංක

ද්‍රව්‍යවල ආරක්ෂක දත්ත ලේඛනවල අඩංගු තොරතුරු ලේඛනය යනු: රසායනික ද්‍රව්‍ය ආනයනකරුවන් සහ නිෂ්පාදකයන් විසින් එකී ද්‍රව්‍ය සුරක්ෂිතව ප්‍රවාහනය, ගබඩා කිරීම, පරිහරණය සහ භාවිතය යන කාරණයන්හිලා ඔවුන්ගේ වගකීම, සුපරීක්ෂාකාරිත්වය සහ බෙදාහරින්නන්ගේ හා පාරිභෝගිකයන්ගේ දැනුවත් වීම, අරමුණු කොට ගෙන නිෂ්පාදයේ සිට පාරිභෝගික අවස්ථාව දක්වා ඉදිරිපත් කරන වැදගත් ලේඛනයකි. තවද, එය අදාළ තත්ත්වපාලන රසායනාගාරයක් විසින් සහතික කළ නිල පත්‍රිකාවකි.

මෙහි පහත සඳහන් තොරතුරු අන්තර්ගත කෙරේ:

1. නිෂ්පාදනය හඳුනාගැනීම - සම්මත නාමය, රසායනික සූත්‍රය, වෙළෙඳ නාමය

2. අඩංගු අන්තරායකර සංඝටක - එහි/ ඒවායේ නම්

3. භෞතික දත්ත - දිය වී ඇති ද්‍රාවකය, බර/ පරිමාව අනුව ප්‍රතිශතය, ද්‍රවාංක/ තාපාංක

4. ගිනි ගැනීම් සහ පිපිරීම්වලට අදාළ අන්තරායකර දත්ත - ජ්වලන අංක, සමීපව නොතැබිය යුතු ද්‍රව්‍ය

5. ප්‍රතික්‍රියාකාරිත්වය පිළිබඳ දත්ත - ඔක්සිකරණ/ ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක්ද යන්න, එය තාපය පිට කරන/ පිට නොකරන එකක්ද යන්න

6. බැහැර ලීමේ ක්‍රමවේද - මෙහිදී ජලයෙන් තනුක කළ යුතුද යන්න, වෙනත් රසායනිකයක් යොදා සැර බාල කළ යුතුද යන්න

7. ආරක්ෂාකාරිත්වය පිළිබඳ තොරතුරු - රසායනිකය ගබඩා කිරීමේදී යෙදිය යුතු ගිනි නිවන උපකරණයේ මාදිලිය. සේවකයන් භාවිත කරන මුඛ ආවරණ, අත්වැසුම් යනාදිය

8. භාවිතය සහ ගබඩා කිරීම - කුඩා දරුවන්/ සුරතල් සතුන් වෙතින් ඈත් කර තැබීම, ඉර එළිය/ අධික උෂ්ණත්වය පතිත වීම වළක්වාලීම

9. සෞඛ්‍ය අන්තරායන් - සමෙන්, ඇස්වලින්, මුඛමාර්ගයෙන් ශරීරය තුළට පිවිසීමෙන් වන හානි සහ ප්‍රථමාධාර. රසායනිකයේ විෂවේද දත්ත

රසායන ද්‍රව්‍ය වර්ගීකරණය හා නාමපත්‍රීකරණය සඳහා වූ ගෝලීය එකමුතු පද්ධතිය Globally Harmonized System of Classification and Labeling of Chemicals (GHS) විසින් 2017 වසරේ ජනවාරියේ සිට යාවත්කාලීන කොට, අනිවාර්ය කරන ලද උපදෙස් හා තොරතුරු මේ ලිපියට ප්‍රධාන වශයෙන් මූලාශ්‍රය වූ බව කරුණාවෙන් සලකන්න.

සමන් වීරරත්න

Comments