හේතුවාදී සාහිත්‍යය සහ මනුෂ්‍යත්වය | සිළුමිණ

හේතුවාදී සාහිත්‍යය සහ මනුෂ්‍යත්වය

සාහිත්‍ය අටුවාව

“කුරුල්ලන් හා සිවුපාවුන් මෙන් නොව ලෝකයේ සෑම තැනම සිටින මනුෂ්‍යයෝ එක ම ජාතියකට අයත් වෙති. ඒ ජාතිය වනාහි මනුෂ්‍ය ජාතිය යි. සත්‍ය වශයෙන් ම පවතින්නේ ඒ එක ම ජාතිය ය. සිංහල, දෙමළ, ඉංග්‍රීසි ආදී දහස් ගණනක් නම්වලින් හැඳින්වෙන්නේ සත්‍ය වශයෙන් නොමැති එහෙත් දෘෂ්ටිය නිසා ඇති කරගත් සංඥා මාත්‍ර පමණ ය. අර්ථයක් නැති නම් සමූහයක් පමණ ය.”

මීට දශක කිහිපයකට පෙර ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් විසින් ලියන ලද “ජාතිවාදියා මානසික රෝගියෙක් නොවේ ද?” යන ලිපියෙන් ඉහත ඡේදය උපුටා ගැනිණ. සුදෝ සුදු ජාතික ඇඳුමින් සැරසුණු මේ විද්වතා ප්‍රකට වූයේ පන්සිල් නොගත් බෞද්ධයකු හා පරම අවිහිංසාවාදියකු හැටියට ය.

ඔහු ලියූ නිදහස් සිතුවිලි පත්‍රිකා සහ පැවැත්වූ විවිධ දේශන නියම හේතුවාදියකු ලෙස මිනිස් ජීවිතය විග්‍රහ කිරීමට දැරූ උත්සාහයන් ලෙස සැලකීම යුක්ති යුක්ත ය. මේ කරුණු ටික සිහිපත් කරන්නට මුල් වූයේ ජාතිවාදය, ආගම්වාදය සහ මිථ්‍යාව යළි හිස ඔසවමින් තිබෙන පසුබිමක මානව හිතවාදී සාහිත්‍යකරුවන් ලෙස ප්‍රකට ඇතැම් ලේඛක ලේඛිකාවන් ද ඒ මඩ ගොහොරුවෙහි එරී සිටිනු දැකීම ය. එ නිසා, ආචාර්ය අදිකාරම් ඇතුළු හේතුවාදී චින්තකයන්ගේ ලියැවිලි හා නූතන හේතුවාදී සාහිත්‍ය පිළිබඳ ව විමසීමක යෙදීම කාලෝචිත යැයි සිතමි.

නිදහස, සහජීවනය හා ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමාජයක ජීවත්වන සියලු මනුෂ්‍යයෝ ගැහැටකින් තොර ව ජීවත් වෙති. කිසිවකුගේ හිරිහැරයකින් තොර ව ජීවත්වීමේ අයිතිවාසිකම සැම දෙනාට ම පොදු ය. බෞද්ධයන් බහුතරයක් ජීවත් වන රටක් හැටියට ශ්‍රී ලාංකික බෞද්ධයෝ පන්සිල් රැකීම වැදගත් කොට සලකති. ඒ පද පහද යුතුකම් හා අයිතිවාසිකම් පිළිබඳ දෘෂ්ටි කෝණයෙන් සාකච්ඡා කළ හැකි ය. උදාහරණයක් වශයෙන් පළමු පදය සලකා බලමු. “පර පණ නැසීමෙන් වළකිමි.” යනු ඒ ශික්ෂාව යි. තම ප්‍රාණය ආරක්ෂා කර ගැනීම පුද්ගලයාගේ අයිතිවාසිකමකි. එය ආරක්ෂා වනුයේ පර පණ නොනැසීමේ යුතුකම ඉෂ්ට කළ කල්හි ය. ඒ අනුව පන්සිල් ගත් බෞද්ධයා තම යුතුකම ඉටුකරන විට අනෙකාගේ ඓතිහාසිකම ආරක්ෂා වෙයි. එසේ වුව ද, අපට පෙනී යන්නේ පන්සිල් පද ජප කරන බෞද්ධයන් අතින් ද එම අයිතිවාසිකම කඩවීම ය. තමා බෞද්ධයකු යැයි කියාගන්නා පුද්ගලයන් අතින් ද එසේ වීම විස්මය ජනක ය. අන්තර්ජාලයේ සහ මුහුණු පොතේ කවීන් හැටියට පෙනී සිටින ඇතැම් තරුණ තරුණියන්ගේ අදහස් ද වෛරය අවුළුවනසුලු ආතතියකින් යුක්ත වීම කනගාටුවට කරුණකි. මේ සියලු කරුණු අනුව පෙනී යනුයේ හේතුවාදී සාහිත්‍යය පුළුල් වීමේ අවශ්‍යතාව යි.

හෙළදිව මහ ගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහ කලක් හේතුවාදී යන ආරූඪ නාමයෙන් පුවත්පත් ලිපි ලිවී ය. පෙර’පර දෙදිග සාහිත්‍යය මෙන් ම විද්‍යාව, පරිනාමවාදය හා දර්ශනය යනාදී විෂය ක්ෂේත්‍ර පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ද ඔහුට විය. උදාහරණයක් හැටියට 1917 වසරෙහි නීට්ෂේ පිළිබඳ ව ඔහු දිනමිණට ලියූ ලිපියක නීට්ෂේගේ අදහස් විමංසනය කිරීමේදී බර්ගසන් වැනි දාර්ශනිකයන්ගේ අදහස් ද සැලකිල්ලට ගනී. මෑත කාලයෙහි නීට්ෂේගේ දර්ශනය පිළිබඳ ව එක්ස් කණ්ඩායම මති මතාන්තර ඉදිරිපත් කළේ ය. ඊට වසර අසූ ගණනකට පෙර පොත් කියවීමෙන් පිපාසාවෙන් පෙළුණ තරුණ ශාස්ත්‍ර ගවේෂකයකු හැටියට මාර්ටින් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ හේතුවාදී සාහිත්‍යය පෝෂණය කළ පුරෝගාමියකු බවට පත් වීම අපගේ සැලකිල්ලට ලක්විය යුතු ය. මාර්ටින් වික්‍රමසිංහ සිංහල යථාර්ථවාදී නවකතාවෙහි පුරෝගාමියා වීම කෙරෙහි ඔහුගේ හේතුවාදී චින්තනය බලපෑවේ ය. හේතුවාදියා මිථ්‍යා විශ්වාස පිළිකුල් කරයි. පෘථිවිය, ග්‍රහලෝක ඇතුළු විශ්වය පිළිබඳ ආදි කාලීන මිථ්‍යා මත පදනම් කරගත් නූතන චින්තනයෙහි සදොස් තැන් දකී. තුන් ඈඳුතු නවකතාව හුයක් මෙන් සම්බන්ධ කරන සුවිශේෂ චරිතයක් වන තිස්ස යනු මාර්ටින් වික්‍රමසිංහ තම හේතුවාදී මතිමතාන්තර ඉදිරිපත් කිරීම සඳහා යොදාගත් චරිතයකි. එසේ වුව ද නවකතාවේ කලාත්මක බවට හානි නොවන පරිදි ඒ චරිතය ඉදිරිපත් කෙරේ.

මාර්ටින් වික්‍රමසිංහ සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිබඳ නිබන්ධ රැසක් ලිවී ය. මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය, බුදු සමය හා සමාජ දර්ශනය ඉන් වඩාත් කැපී පෙනේ. එසේ වුවද ඔහු ජාතිවාදය ප්‍රතික්ෂේප කළේ ය; විවේචනයට ලක් කළේ ය. උතුරේ දෙමළ උගතුන්ට ඉරිසියා කරන සිංහල පඬිවරුන් හෙළා දැක්කේ ය.

ඔහුගේ සාහිත්‍ය කෘතිවල කැපී පෙනෙන ලක්ෂණයක් වනුයේ මානව හිතවාදය යි. ගුණදාස අමරසේකර සහ මාර්ටින් වික්‍රමසිංහ සාහිත්‍යවේදීන් දෙදෙනා පිළිබඳ සසැඳීමක යෙදෙන ට්‍රොට්ස්කිවාදී ලේඛකයකු වන ටී. අන්ද්‍රාදි, වික්‍රමසිංහ ජාතිවාදයෙන් කුරුවල් නොවූ මානව හිතවාදියකු ලෙස අගය කරයි. ඔහු අමරසේකරගේ විසකුරු ජාතිවාදය දැඩි දෝෂ දර්ශනයට ලක් කරයි. මීට වසර 15කට පමණ පෙර අපගේ ද දායකත්වය ඇති ව ශ්‍රී ලංකා හේතුවාදී සංගමය නැවත පණ ගැන්වූ මොහොතෙහි එහි ක්‍රියාකාරකම් ජනමාධ්‍ය ඔස්සේ විවේචනයට ලක් කළ ගුණදාස අමරසේකර හේතුවාදී අදහස් බටහිර එන්ජීඕකාරයන්ගේ අදහස් හැටියට හෙළා දැක්කේ ය. තමා උසස් කොට සලකන මාර්ටින් වික්‍රමසිංහයන්ගේ සාහිත්‍යය සහ ශාස්ත්‍රීය ලේඛනය හේතුවාදී චින්තනය මත පදනම් වී ඇති අයුරු ඔහුට නොපෙනිණ. නො එසේ නම් නොපෙනුණා මෙන් හැසිරිණ. හේතුවාදය, විද්‍යාත්මක චින්තනය සහ මානව හිතවාදය යනු එකිනෙකට සතුරු නොවූ චින්තන ක්‍රමයක ශාඛා හැටියට හැඳින්වීම යුක්ති යුක්ත ය. විශේෂයෙන් ම බුදු දහමේ සංකල්ප සමඟ ගැටීමක් ඒවාට නොමැත. එහෙත් අවාසනාවට මෙන් ගුණදාස අමරසේකරගේ අදහස් අනුව කටයුතු කරන නව පරම්පරාව හේතුවාදය හා විද්‍යාත්මක චින්තනය ප්‍රතික්ෂේප කරමින් ආගම්වාදය, ජාතිවාදය හා මිථ්‍යාව තම චින්තනය බවට පත් කරගෙන සිටිනු පෙනේ.

විද්‍යාත්මක දියුණුව නිසා සැපවත් ව ජීවත් වන්නට සියලු ම ඉඩ ප්‍රස්තා සැලසී තිබෙන වර්තමාන ලෝකයෙහි පවා නොයෙකුත් දුක්හිරිහැරවලට මනුෂ්‍යයාට මුහුණ පාන්නට සිදු වී තිබෙන්නේ දේශපාලන දෘෂ්ටිවලින් වෙළී ගිය ජාතිවාදය නිසා යැයි ආචාර්ය අදිකාරම් පැවසී ය.

වත්මන් ශ්‍රී ලාංකික සමාජය අන් කවරදාකටවත් වඩා මිථ්‍යාන්ධකාරයක ගිලී සිටී. නිදහසින් පසු ව දකුණේ සහ උතුරේ තරුණ කැරලි තුනක් මර්දනය කිරීමට පාලකයන් හට සිදු විය. සිදු වූ ජීවිත හානිය ලක්ෂ ගණනක ආබාධිතයෝ, වැන්දඹුවෝ, ක්ලමථයට හා කාන්සාවට ගොදුරු වූවෝ විශාල ගණනක් වෙති. නිවැරැදි දර්ශනයක් මත පිහිටා ජාතිය ගොඩනැඟීමට පාලකයන් අසමත් වීමේ ප්‍රතිඵලය වී ඇත්තේ ජාතික එක්සත්කම බිඳ වැටිම ය. අනාගතය පිළිබඳ විශ්වාසයක් හා ආත්ම ශක්තියක් නොමැති සමාජයක් බිහි වීම ය. අසරණ භාවයෙන් පීඩා විඳින ජනතා ආධ්‍යාත්මයෙහි හිස් බව පිරී යන්නේ මිථ්‍යා මතාන්තරවලිනි. ජනමාධ්‍යවේදීන් මෙන් ම සාහිත්‍යකරුවන් ද එම නාරාවළට වැටීම කනගාටුදායක ය.

තිස් වසරක් දිග් ගැසුණු යුද්ධයක අමිහිරි අත්දැකීම් මතින් එක්සත් රටක් බිහි කිරීමේ වුවමනාවෙන් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කෙරෙමින් පවතී. එසේ වුව ද ආගම්වාදය අවුස්සමින් සිටින පිරිස් අතින් මේ ප්‍රයත්නය ද විකෘති කිරීමට ඉඩ තිබේ.

1972 ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කළ මොහොතෙහි එහි නිර්මාතෘ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා වෙත හේතුවාදී සංගමයේ සභාපති ආචාර්ය ඒබ්‍රහම් ටී කොවුර් මහතා යැවූ යෝජනාවලියෙහි ඇතුළත් එක් යෝජනාවක් උපුටා දක්වමි.

“ළමා අවධියේ සිට ම දරුවන්ගේ සිත්වලට ආගමේ නාමයෙන් සැක සහිත දේ ගැන විවිධ මත ඇතුළු කිරීම නොමනා බව ලෝකය පුරා අධ්‍යාපනඥයෝ ද මනෝ චිකිත්සකයෝ ද පෙන්වා දෙති. එබැවින් රජයේ පාසල්වල ආගම් නොඋගැන්වීම මැනවි. ආගම් ඉගැන්වීමට ආගමික ආයතනවලට ඉඩ දී රජයේ පාසල්වල ආගම වෙනුවට සදාචාරය ඉගැන්විය යුතු ය.”

Comments