මරණය නොසැලී හිමාලයක් මෙන් ඔබ ළඟ සිටී... | සිළුමිණ

මරණය නොසැලී හිමාලයක් මෙන් ඔබ ළඟ සිටී...

මරණයේ නොසැලෙනසුලුබව, මරණයේ නියත බව මෙන් ම මරණයේ සාමාන්‍යය ද අතැඹුලක් කරන මේ කව ලියූ විශිෂ්ට කවියා දැන් ඒ හිමාලය තුළ ගිලී ගොස් ය. මරණයේ ස්වභාවය මිටින් ගත්තාක් වැනි වූ මේ කවිය මා කියවූ, වින්දනය කළ වාර ගණන අපමණ ය. ඒ, මරණය පිළිබඳ අවිනිශ්චිත, අසාමාන්‍ය උනන්දුවක් මා තුළ ද වන නිසා ය. යෝනිසෝමනසිකාරයෙන් යුතු ව මේ කවිය කියවන ඕනෑ ම කෙනෙකුගේ මරණ බිය තුනීවනු ඇතැයි මට සිතෙයි.

සැබැවින් ම මරණය යනු කුමක් ද? මරණය අත්දුටුවකුට එය නිර්වචනය කළ හැකි අවකාශයක් විවර වන්නේ ද? මරණය යනු අභාග්‍යයක් ද? නැතහොත් එය ජීවිතයේ විඩාවට ආශිර්වාදයක් වන්නේ ද?

මරණය අභාග්‍යයක් හෝ ශෝකයක් වන්නේ මියගිය තැනැත්තාට නොව ජීවත් වන අපට ය. දන්නා හඳුනන ඕනෑ ම කෙනෙකුගේ මරණයක් අප තුළ ශෝකය ජනිතකරවනසුලු ය. ශෝකය හටගන්නේ අපගේ පෞද්ගලික සබඳතාවන්හි ප්‍රමාණයට අනුව ය. සිරි ගුනසිංහ යනු අපගේ ඥාතියෙක් හෝ හිතෛෂියෙක් නොවේ. එහෙත් සිරි ගුනසිංහයන්ගේ අභාවය පිළිබඳ පුවත ඇසූ පමණින් සිත තුළ හෙණයක් පුපුරා ගියාක් මෙන් අපට හැඟී ගියේ ය. ඒ ඔහුගේ මරණය කලාවේ, සාහිත්‍යයේ මෙන් ම නිදහස් සිංහල කවියේ ද එක්තරා මරණයක් වූ බව අපට හැඟුණ දැනුණ නිසා ය. කලාවේ කාන්තාරකරණය අත ළඟ දැයි බියක් ද දැනුණේ නූතන සාහිත්‍යයේ, නාට්‍ය කරළියේ ඉරණම ගැන සිතූ විට ය.

අප ජීවත් වන්නේ විද්‍යාවේ, තාක්ෂණයේ ජයග්‍රහණ, පිමි පනිමින් ඇති යුගයක ය. තාක්ෂණය ප්‍රාතිහාර්ය පාන යුගයක මානුෂීය හැඟීම් මැකී වියැකී යාමේ සම්භාවිතාවක් පවතින්නේ දැයි ඇතැම් විටක සැක සිත් ද උපදී. ලියන්නේ කාට දැයි ලේඛකයෝ සිතති. නාට්‍ය හා චිත්‍රපට නිෂ්පාදනය කරන්නේ කා සඳහා දැයි නිෂ්පාදකයෝ මැසිවිලි නගති. හැඟීම් වළපීදුණ විට ආමන්ත්‍රණය කරන්නේ කාටදැයි සිතෙන බැවිනි. සාහිත්‍ය කලා අම්බරයේ දිදුලන තරු එකින් එක කඩා වැටෙයි. අහස අඳුරු වෙයි. දැන් සිරි ගුනසිංහ නම් වූ පහන් තරුව ද මැකී ගොසිනි.

කියවීමකින් තොරව ලේඛන කලාවට අවතීර්ණ විය හැකි යැයි සිතන්නෝ ද මෙකල බහුල වෙති. පිරිපුන් සාහිත්‍යකරුවකු වීමට පෑන සහ කඩදාසිය පමණක් ප්‍රමාණවත් වනු ඇතැයි අපට නම් සිතෙන්නේම නැත. සාහිත්‍යකරුවා පරිපූර්ණත්වයට පත් වන්නේ කියවීමෙන් හා ලිවීමෙන් පමණක් නොවේ. ඔහු බහුවිධ වූ කලා මාධ්‍යයන් (සංගීතය, නාට්‍යය, සිනමාව, චිත්‍රකලාව ආදී) සමග නිරන්තර ගනුදෙනුවක යෙදිය යුතු වෙයි. සිරි ගුනසිංහ නමින් සංකේතවත් වන්නේ ඒ දුර්ලභ කලාකරුවායි.

සිරි ගුනසිංහයන්ගේ කලාවෙන්, ඔහුගේ විවිධ කුසලතා තුළින් පෝෂණය ලැබීමට තරම් වාසනාවන්ත වූ කණ්ඩායම අපි දු නියෝජනය කරමු. ඔහුගේ බහුවිධ වූ කලා නිර්මාණවලින් අනාගත පරපුර සිය හැකියාවන් කොතරම් දුරට කළුමැද ගනු ඇද්ද යන්න නම් අවිනිශ්චිත ය. ශෝකය නම් එයයි.

කලාකරුවා වූ කලී තමා වසන සමාජයේ සියල්ලන් වෙනුවෙන් සියල්ල ප්‍රතිනිර්මාණය කරන්නා ය. ඒ සඳහා නිදහස ඉල්ලා බල කර සිටින්නා ය. කලා සම්ප්‍රදාය මෙන් ම කලා තාක්ෂණය ද හැදෑරීමෙන් හා සතතාභ්‍යාසයේ යෙදීමෙන් ඒවා ස්වීයකරණය කරගනිමින් ඔහු නිරතුරුවම ප්‍රතිනිෂ්පාදනයේ යෙදෙයි. ලෝකය පතුරු ගසමින් අරටුව සෙවීමේ ප්‍රයත්නයෙහි යෙදෙන එවැන්නෝ මරණයට අභියෝග කරමින් සියවස් ගණනාවක් ජීවත් වෙති.

සිරි ගුනසිංහයන් නිදහස් සිංහල කවියේ එක් සුවිශේෂි කඩයිමක් සලකුණු කරන්නේ මේ ප්‍රතිනිෂ්පාදන ශක්‍යතාව හේතුවෙනි. කටවහරේ ව්‍යාකරණය නිර්මාණාත්මක ලේඛනය සඳහා සුමට ලෙස යොදාගැනීමේ ලා ඔහු තුළ වූ අපූරු කුසලතාව අපට මැනවින් සාක්ෂාත් වූයේ ඔහුගේ ‘හෙවනැල්ල’ නවකතාව කියවීමෙනි.

සාම්ප්‍රදායික ලේඛනයේ අක්ෂර වින්‍යාසය නොතකා හරිමින් මුර්ධජ ‘ණ’ මෙන් ම ‘ළ’ අක්ෂරය ද ඉවත් කළ ඔහුගේ නවකතා කියවීමේදී ඇසට දැනුණ නුහුරු බව සිතට බාධකයක් නොවූයේ ඒවායේ ගැබ් ව තිබූ සාහිත්‍යයික ගුණය නිසා ය. විඥානධාරා රීතිය මුල්වරට හඳුන්වා දෙමින් 1960 වසරේදී එළිදුටු ‘හෙවනැල්ල’ නවකතාව වස්තු විෂය අතින් මෙන් ම තාක්ෂණික අතින් ද අපූරු පූර්වාදර්ශයක් ම වූවේ ය. ‘හෙවනැල්ලේ දෙවන කොටස වශයෙන් 1994 දී එළිදටු ‘මන්දාරම’ ද එවැනි සුවිශේෂි ලක්ෂණ ප්‍රකට කළත් එය මුල් කෘතිය තරම් සාර්ථක නොවූ බව අපගේ පෞද්ගලික විශ්වාසයයි.

නව සංකල්පයක්, නව අත්දැකීමක් ප්‍රකාශ කිරීමේදී අලුත් යෙදුම් ද අවශ්‍ය වන්නේ යැයි සිරි ගුනසිංහයෝ විශ්වාස කළහ. ඔහුගේ කවිය, නවකතාව මෙන් ම විචාරය ද නූතනමානී ව අප දුටුවේ, හඳුනාගත්තේ ඒ නිසා ය. ඔහු භාෂාවට අභියෝග කළේ භාෂා සම්ප්‍රදායන් මෙන් ම පුරාතන සාහිත්‍යය ද මැනැවින් හැදැරීමෙන් අනතුරුව ය. නොදන්නා කමට කටවහර යොදා ගැනීමේ චෝදනාව කිසිවිටෙකත් ඔහුට එල්ල නොවූයේ ඒ නිසා ය. 1942 වර්ෂයේදී ලංකා විශ්වවිද්‍යාලය බවට පත්කෙරුණු යුනිවර්සිටි කොලීජියට ඇතුළත් ව සංස්කෘත භාෂාව පිළිබඳ ප්‍රථම පන්තියේ සාමාර්ථයක් සහිතව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගැනීමට ඔහු සමත් වූවේ ද ඒ අනුව ය.

ලේඛනයෙහිදී මෙන් ම භාෂණයේදී ද සිරි ගුනසිංහයෝ මේ බුහුටි බවම පළ කළහ. ‘කොතරම් බහුශ්‍රැත බහුපඨිත වුව ද ඇතැම් ආචාර්යවරුන් උගන්වන කල්හි මට හැඟුණේ මොට්ට කැත්තකින් දර කොටයකට කොටන කලෙක මෙන් ය’ යි වරක් කීවේ මහාචාර්ය සුචරිත ගම්ලතුන් ය. සිරි ගුනසිංහයන් (කථනයෙන් මෙන් ම ලේඛනයෙන් ද) නියෝජනය කළේ මෙහි අනිත් පැත්ත ය. ඔහුගේ ‘මස් ලේ නැති ඇට’, ‘අබිනික්මන’, ‘රතු කැකුළු’ වැනි පද්‍ය සංග්‍රහ සහ ‘සත්සමුදුර’ වැනි චිත්‍රපට ද මේ රටේ පාඨකයාට, ප්‍රේක්‍ෂකයාට නැවුම් අත්දැකීමක් රැගෙන ආවේ ය. සාම්ප්‍රදායික ඡන්දස් ශාස්ත්‍රයට අනුකූල නොවන අයුරින් 1956 දී එළිදුටු ඔහුගේ ‘මස් ලේ නැති ඇට’ පද්‍ය සංග්‍රහයට ලැබුණු ආන්දෝලනාත්මක ප්‍රතිචාර බොහෝ ය. ඇතැමුන් විසින් ඔහුට දමා ගසන ලද්දේ සාම්ප්‍රදායික උපමා රූපක බැහැර කර නවතම උපමා උපයෝගි කරගැනීම, අසාමාන්‍ය ජීවන දෘෂ්ටියක් ප්‍රකට කිරීම වැනි චෝදනාත්මක අවිවලිනි. ඔහුගේ එක ම සිනමා කෘතිය වන ‘සත්සමුදුර’ කලාත්මක සිත්තමක් වැනි ගෙත්තමකි යි විචාරකයෝ පැවසූහ.

පසු කලෙක සංගීතමය ටෙලිනාට්‍යයකට නැගුණු ‘ගුත්තිල කාව්‍යයේ’ අධ්‍යක්ෂවරයා වූයේ ද ඔහු ම ය. කිසිවක් අපේක්ෂා නොකරමින්, කිසිවක් කෙරෙහි රඳා නොපවතිමින් බහුවිධ වූ කලා මාධ්‍යයන් සුපෝෂණය කළ සිරි ගුනසිංහයෝ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ ඇතුළු තවත් වේදිකා නාට්‍ය කිහිපයක රංග වස්ත්‍ර නිර්මාණයේ ද යෙදුණ හ. පොත් කවර නිර්මාපකයකු වශයෙන් ද ඔහු නමක් දිනා සිටියේ ය.

ක්ෂිතිජ රේඛාවේ ඉම්පෙදෙස් සොයා ගිය මේ සොඳුරු සැරිසරෙහි සිරි ගුනසිංහයන් යෙදුණේ සදාචාරවාදී වෙළුම් පටිවලින් නොබැදුණු නිදහස් දෑසිනි. ඒවා නිදහසේ ආස්වාදනය කළ අපට ද පෙනී ගියේ කියන, ලියන ස්වාභාවිකත්වයේ අභයභූමිය වූ ඒදන් උයන වැනි ඉසව් ය. මේ අපූරු හැකියාව ගැන සිතන අපට මතක් වන්නේ රස පූර්ණ කාව්‍ය නිර්මාණ විෂයයෙහි ආනන්දවර්ධනයන් බොහෝ කලකට පෙර දක්වා ඇති අදහසකි.

ශෘංගාරී වේත් කවිඃ කාව්‍යේ
ජාතං රසමයං ජගත්
ස එව වීතරාගශ්වේත්
නීරසං සර්ව වාංමයම්

(කාව්‍ය නිර්මාණය කරන්නා වූ කවියා සරාගී වුව හොත්, ජීවිතාස්වාදයෙහි ලොල් වුව හොත් සමස්ත සාහිත්‍ය ලෝකය ම රසමය වෙයි. ඔහු ම විතරාගී වුව හොත් සමස්ත සාහිත්‍යය ම නීරස වෙයි.)

සිරි ගුනසිංහයන් මරණය අතික්‍රමණය කොට හිමාලයක් මෙන් නැගීසිටින්නේ ඔහු ද මෙවැනි කවියකු වූ නිසා විය හැකි ය. සිරුරින් එතෙරක සිටිය ද සිරි ගුනසිංහයන් අාධ්‍යාත්මිකව ජීවත් වූයේ අප සමඟ ය. අප ජීවත්වන තාක් කල් එය එසේ ම ය.

Comments