
හිත රිදෙන කවි
කේ කේ. සමන් කුමාර හෙවත් සර්පයා මීට කලකට පෙර ලියන ලද කව් පෙළක් අද අපගේ අවධානයට ලක් වේ. 1989 නොවැම්බර් “යාත්‍රා” සඟරාවෙන් මේ ප්‍රබන්ධය උපුටා ගැනිණි. අද යාත්‍රා සඟරාවක් නැත. එහෙත් එහි පළවූ බොහෝ දෑ අදටත් වලංගුය. සර්පයාගේ කව් පෙළ ද එසේමය. බැලූ බැල්මට ම එම කවියෙන් දැක්වෙන්නේ සුලබ සිද්ධියකි. ඉන් කතාවක් කියැවෙයි.
සෙල්ලක්කාර තරුණයෙක් සිටී. ඔහු සිය පෙම්වතිය අමාරුවේ දමා; ඇයට දරුවකු ද ලැබෙන්නට ඇති අල්ලපනල්ලේ යෝජනාවකින් ආවාහයක් කරගැනීමට යයි. ඒ පිරිසුදු චරිතයක් සහිත නොඉඳුල් තරුණියකි. මෙහි පෙම්වතා දුෂ්ට ය. පෙම්වතිය අවංක ය.
මතුපිටින් ගත් කල අපට දකින්නට ඇත්තේ තවත් දුක්බර කතාන්දරයකි. පාඨකයා ගැබ්ගත් අහිංසක තරුණිය දෙස බලා කම්පනයට පත් වෙයි. ප්‍රේමයට එරෙහි ව වංක තීන්දුවක් ගත්; දුෂ්ට තරුණයා කෙරෙහි වෛරයක් ඇති කරගන්නට ද පුළුවන. එය සාමාන්‍ය තත්ත්වය යි. එහෙත් කවියා ඉන් ඔබ්බට ගමන් කොට ප්‍රශ්න කිරීමක් සිදු කරයි. එය කැරැල්ලක ආරම්භයක් සේ ගත හැකි ය. මෙහි එන ප්‍රශ්න කිරීම් එල්ල වන්නේ සමාජ සම්මුතිවලට හා පුරුෂ පාර්ශ්වයේ හැසිරීම්වලට ය. ඊළඟට මෙහි ධ්වනියෙන් මතු වන්නේ ගැහැනුනි, නුඹලා නිහඬ ව හා නිවට ව සිටින්නේ ඇයි ද යන්න ය.
අපේ සමාජ සම්මුති, තහංචි හා තවත් බොහෝ දේ ස්ථාපිත වී ඇත්තේ පුරුෂ පාර්ශ්වය උසස් ය, ඔවුන් පිරිසුදු ය යන බමුණු මතයෙහි පිහිටා ගෙන ය. කොල්ලකු හැබෑනම්; මොන ගුබ්බෑයමට ගියත් නහවා ගෙට ගත හැකි යැයි කියමනක් තිබේ. වැරැදි කළත් පුරුෂ පාර්ශ්වයට කැළලක් නැතැ’යි ඉන් කියැ වේ. එහෙත් ස්ත්‍රී පාර්ශ්වයට සමාවක් නැත. “වරදට සමාව” යන කියමනක් තිබුණ ද ඉන් අපහසුවට පත් කොට ඇත්තේ ද ගැහැනියම ය. මේ නයින් බලන කල අපේ සම්මුති තුළ පිරිමි පාර්ශ්වයට වාසි ද, ස්ත්‍රී පාර්ශ්වයට අවාසි ද හිමි බව පැහැදිලි ය.
කැලණිය විශ්වවිද්‍යාලයෙහි සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්යවරියක විසින් මේ විෂයයට අදාළ ශාස්ත්‍රීය කෘතියක් සම්පාදනය කර තිබේ. කන්‍යාභාවය, එහි විද්‍යාත්මක පසුබිම, හා ඊට අදාළ සම්මුති නිසා ස්ත්‍රීන් වැටී ඇති අවුල ගැන විග්‍රහයක් එම කෘතියට ඇතුළත් ය. එහෙත් මේ කෘතිය සමාජ අවධානයට ලක් වී නැත. එය කනගාටුවට කාරණයකි.
නුවර යුගය තෙක් ශ්‍රී ලංකාවේ අතීතයට ගියහොත් අපේ ස්ත්‍රිය විෂයයෙහි මෙබඳු සිරිත් පැවැතී නැත. විවාහයක් වීමට පෙර ස්ත්‍රියක සමඟ කායික සබඳතා පැවැත්වීමෙහි බරපතළ තහංචියක් එදා නොතිබූ බවට සාධක තිබේ. මේ කැත සිරිත වික්ටෝරියානු සංස්කෘතිය දිගේ ශ්‍රී ලංකාවට කඩා වැදී ඇතැ’යි කියති. වර්ජිනියා වුල්ෆ් වැනි ලේඛිකාවන් මීට එරෙහිව හඬක් නඟා ඇති බව ඉංග්‍රීසි නවකතාව දෙස බලන විට පෙනී යයි.
මේ සිද්ධිය නිරීක්ෂණය කරන කවියා විමසුමට ලක් කළ යුතු කරුණු දෙකක් අප ඉදිරියෙහි තබයි.
(I) පුරුෂයා සමාජ සම්මුති භාවිත කරන ආකාරය
(II) ස්ත්‍රිය ඊට එරෙහිව නඟන අඳෝනාව
අප මුලින් ද දැක්වූ ආකාරයට සමාජ සම්මුති සැකැසී ඇත්තේ පුරුෂයාට වාසි සහගත ලෙස ය. එහෙත් පෙම්වතාට තම හෘදය සාක්ෂියෙන් ගැලවී යා නො හැකි ය. ඔහු චරිතවත් තවත් යෞවනියක අපේක්ෂා කරන්නේ කුහකයකු හා වංචාකාරයකු ලෙසින් ය. එය යුක්තිසහගත ද යන්න කවියා ප්‍රශ්න කරයි. එහි උපරිමය සටහන් වී ඇත්තේ කවියේ අගට ය.
“ඉඳුල් බඹර තුඩින් කිම ද
නොඉඳුල් මල් නසන්නේ?”
බඹරා හා මල අපේ කවි සමයේ සාම්ප්‍රදායික උපමා රූපක වන්නේ වුව; කවියා ශෘංගාරය මතු කරන සේ සිය යෙදුම් සකසා ගනී. “ඉඳුල් බඹර තුඩ” යන්න කදිම නිදසුනකි. එහි ප්‍රතිවිරුද්ධ අදහස වන්නේ නො ඉඳුල් බඹර තුඩ කවියා පිළිගන්නා බව ය. එම බඹර තුඩට නොඉඳුල් මල් නැසීමේ අයිතිය ඇති බව ය. කවියා එබඳු අයට ආශිර්වාද කරනු ඇතැ’යි සිතන්නට පුළුවන.
කාව්‍යා’නුභූතියෙහි එන පළමු පෙම්වතිය හෝ යෝජිත තරුණිය හෝ පුරුෂ පාර්ශ්වයෙන් අසන ප්‍රශ්න වැල දකින විට පෙනී යන්නේ ස්ත්‍රියට යම් උත්කර්ෂයක් ලබා දීමට කවියා උත්සුක වන බව ය. අවසන් ප්‍රතිඵලය සමාජය අවදි වීම යැයි කියන්නට පුළුවන. ගැහැනිය කැරැල්ලක් ගසන්නේ නැති වුව එක් පියවරක් ඉදිරියට තබා ඇත. එය හොඳ ලක්ෂණයකි. ඒ සමඟ ම කවියා සිය යටි පෙළෙන් කියා සිටින්නේ ගැහැනුනි, නුඹලා සමාජය ප්‍රශ්න කරපල්ලා! නිවට නො වී කැරලි ගසපල්ලා යන්න ය. එයත් හොඳ ලක්ෂණයකි. ගැහැනුන් මේ සමාජ සම්මුතිවලට එරෙහි ව කැරලි ගැසිය යුතුම ය.
මේ කවිය විඳින අපට තවත් දෙයක් සිහියට නැඟේ. එනම් ස්ත්‍රී පාර්ශ්වයට අදාළ මහා චරිත පිළිබඳ නැවත කියැවීමක් අපට අවශ්‍ය බව ය. කුවේණී, යශෝධරා, විහාර මහා දේවිය, සුගුලා දේවිය, ලීලාවතී රැජන, ඩයනා කුමරිය යන අය සම්බන්ධයෙන් පමණක් නො ව; ගමේ රන් මැණිකෙලා, කළුඑතනලා ගැන ද නැවත කියැවීමකට යා හැකි නම් කොතරම් අගේ ද?
කේ. කේ. සමන් කුමාර හෙවත් සර්පයාගේ කවියෙහි අමුත්ත ඇත්තේ ඉදිරිපත් කිරීම තුළ ය. බොහෝ කලා කෘති අර්ථසම්පන්න වී ඇත්තේ ද නව්‍ය වී ඇත්තේ ද අලුත් ඉදිරිපත් කිරීම නිසා ය.