අසම සම | සිළුමිණ

අසම සම

කෙටිකතාව

පූජා නගරයට නුදුරින් පිහිටි සංචාරක නිවාසයට ගොඩවැදුණු ආගන්තුක පුරුෂයා, ගමන් මල්ල සෝපාව මත තබමින් නිවාස භාරකරුට පැවසූයේ තමා සඳහා කාමරයක් වෙන් කර දිය යුතු බව ය. මේසය මත වූ ලොකු පොතේ තනතුර සඳහා හිස් ව තිබූ කොටුවෙහි මුතු අකුරින් ලියැවුණ සටහනට අනුව පෙනී ගියේ ආගන්තුකයා ඇමෙරිකානු විශ්වවිද්‍යාලයක මහාචාර්ය පදවියක් උසුලන්නකු වන බවකි. අසාමාන්‍ය අත්සන සහිත පොත ආපසු භාර දෙන අතරේ අමුත්තා සිය දිගු සුදු රැවුල පිරිමදිමින් ළගන්නාසුලු සිනාවක් පෑවේ ය.

“මේ අනිත් කාමර දෙක වෙන්කරගෙන ඉන්නේ කවු ද?”

“එකක නං ඉන්නේ පරිසරවේදී සර් කෙනෙක්” යි නිවාස පාලකයා යටහත් පහත් ව කීවේ ය.

“අනිත් එකේ ඉන්න සර් නම් වැඩ කරන්නේ මානව හිමිකම් සංවිධානෙක”

පූජා භූමියේ එක් මායිමක් වසා පැතිරුණ කුණුකන්ද තරණය කරද්දී කැළිකසළ අතරින් මතුවී පෙනුණ ‘පරිසරය සුරකිමු’ යන වර්ණවත් අකුරු සහිත පොලිතීන් බැනර තොගය ආගන්තුගකයාට සිහි විණ. මේ දුෂ්කර සැරිසර අවසන තමා පැමිණ සිටින්නේ නිවැරදි ඉසව්වට යැයි ඔහුගේ සිත කීවේ ය. තමා දෙවියකු බව අනෙකාට සන්නිවේදනය කෙරෙන ප්‍රබල හා එක ම සාක්ෂිය වූ දෙනෙත කළු කණ්ණාඩියකින් වැසී තිබීම හේතුවෙන් ආගන්තුකයාගේ සිතට දැනුණේ සුරක්ෂිත භාවයකි. නිවාස භාරකරු පසුපසින් කාමරයට ඇතුළු වූ ආගන්තුකයා සිය පියවි වේශය යළි මතු කර ගත්තේ දොර වසා අඟුළු ද ලෑමෙන් පසුව ය.

සුදු ඇතිරිල්ල මත දිග ඇදුණ දෙව්ලොවට අධිපති මහා දෙවියාට පාණ්ඩුකම්බල ශෛලාසනයේ සීතල සිහිවූයේ නිවාස භාරකරු පණගැන්වූ වායු සමීකරණ යන්ත්‍රයෙන් කාමරයට ගලා ආ දැඩි සිසිලස නිසා ය. පඬුපුල් අසුන කාලාන්තරයක සිට පවතින්නේ සීතලෙන් ගල් ව, පාෂාණිභූත ව ය. කල්ප වෘක්ෂයේ කොළ හැළී තිබේ. එය අත්දඬු ඉහළට ඔසවාගෙන ඔහේ බලා සිටින්නේ පිහිටක් යදින යදියෙකු සේ ය. සුරබිදෙන චුත වී බොහෝ කල් ය. මේ සියලු ව්‍යසන හමුවේ උකටලී ව සිටින්නට සක්දෙවිඳුන්ට සිදු වූයේ කාලාන්තරයක සිට ය. අනවරත වෙනස් වීම නම් වූ ඒ භයානක, නිෂේධනාත්කමක ප්‍රවාහයට හසුවීමෙන් දිව්‍ය චක්ෂූසයේ ද සුද මතුවෙමින් තිබිණ. දිවැසට උපැසක් නිර්මාණය කළ හැකි නොවීම හේතුවෙන් දීර්ඝ කාලයක් මුළුල්ලේ ප්‍රශ්නය, ප්‍රශ්නයක් ලෙසින් ම පැවතුණේ ය.

මේවා මෙසේ සිදුවන්නේ වෙනස්වීමේ ධර්මතාව හේතුවෙන් ම නොවේ දැයි සක්දෙවියෝ කනගාටුවෙන් සිතූහ. සියල්ල විපරිණාමයට පත්වීමේ ධර්මතාව අතැඹුලක් කර දුන් ඒ මහා ප්‍රාඥයා දෙවියකු නොවීමේ අරුමයත් ඒ නිසා හටගත් මදිපුංචිකමක් පිළිබඳ හැඟීමකුත් සක්දෙවිඳුන්ගේ සිත ජංජාලයක් කර තිබිණ. මනුලොව සිසාරා යමින් ඒ මහා ප්‍රාඥයාගේ ශ්‍රේෂ්ඨ ධර්මය සුරකින්නේ යැයි කියන ධර්මද්වීපයට ගොඩවැදීම කාලීන අවශ්‍යතාවක් බවට පත්වූයේ ඒ අනුව ය.

සංචාරකයකු සේ ස්වයං වේශ නිරූපණයක යෙදෙමින් විශ්ව ගමනේ මාර්ග සිතියම සිතින් අඳින්නට වූ සක්දෙවියෝ අලුත් ලෝකය දකින්නට, හඳුනාගන්නට තැත් කළහ. පටලැවී, දෙකොන මාරු වී තිබූ ලෝකයේ මුලක්, අගක්, මැදක් තෝරා බේරාගත නොහැකි තරමට සෑමතැනක ම, සෑම අංශයක ම අර්බුද නිර්මාණය වෙමින් පැවතුණේ ය. එය කොහෙත් ම ‘මනුලොව’ ලෙස නම් කළ නොහැකි වූයේ මනුසතා අවලංගු කාසියක් බවට පත්වෙමින් සිටි නිසා ය. ආසන්න වශයෙන් හෝ එය හැඳින්විය හැකි වූයේ ‘තාක්ෂණික ලෝකය’ ලෙස ය.

මිනිස් ශ්‍රමය අන්තිම ලන්සුවට පිරිහෙළමින් යන්ත්‍ර විසින් යන්ත්‍ර නිෂ්පාදනය කරනු ලැබුණ අතර ‘ශ්‍රමය සූරා කන්නන් භංග වේවා’ වැනි අර්ථශූන්‍ය සටන්පාඨ ද තැන තැන රැව් පිළිරැව් දෙමින් තිබිණ. සියලු දේශපාලන න්‍යායයන් නන්නත්තාර වී පැවතුණේ ය. අවිද්‍යාවේ ගැලී විද්‍යාවේ ජයග්‍රහණ ගැන උදම් අනන මනුසත්තු ඊනියා දියුණුවක් ගැන මැත දොඩවමින් පසු වූහ.

තාක්ෂණික මෙවලම් ප්‍රාතිහාර්ය පාද්දී මිනිස් මහිම ශූන්‍ය ලක්ෂ්‍යය දක්වා පසුබැස තිබුණේ ය.

‘යකුනේ! උඹලා පරාදවෙලා. දිනලා තියෙන්නේ භාණ්ඩ’ යැයි මොර ගා කිව යුතු ව තිබුණ ද සක්දෙවිඳුන් සංචාරක නිවාසය තුළ පසු වූයේ මුනිවත රකිමිනි. සතර දිග්භාගයෙන් ගලා ආ තොරතුරු තාක්ෂණයෙන් සන්නිවේදනය වූයේ ද මනුසතා මෙතෙක් ආ ගමනේ උපරිමයට නොහොත් අවසානයට ළඟා වී ඇති බව ය. වර්තමාන පැවත්ම වෙනුවට වෙනත් පැවත්මක් ඉල්ලා උද්ඝෝෂණය කළ යුතු තරමට මිනිසා ප්‍රශ්නවලින් පීඩිත ව, දුඃඛිත ව සිටියේ ය. එහෙත් පීඩනයෙන් දුඃඛිත භාවයෙන් අත්මිදීම සඳහා තෝරා ගත යුතු මාවත පිළිබඳ අල්පමාත්‍ර වූ හෝ

හැඟීමක්, දැනීමක් ඒ බොහෝ දෙනෙකුට වූයේ නැත. ධර්මය සුරකින්නන් එහි ප්‍රතිවිරුද්ධ අන්තය කරා ළඟාවෙමින් සිටි අතර ගැඹුරු දහම ශුද්ධ ග්‍රන්ථ තුළ නිද්‍රෝපගත ව සිටියේ ය.

පරිසරවේදියා මෙන් ම මානව හිතවාදියා ද තමාට අත්වැලක් සපයනු ඇතැයි සක්දෙවිඳුට සිතුණේ විනාශයේ මුවවිටට ළං වී සිටින මනුෂ්‍යයාගේ ගැටලු හඳුනාගැනීමට, ඒවා නිරාකරණය කර දීමට එවැන්නන්ගේ සහාය අවශ්‍ය යැයි හැඟුණ හෙයිනි.

වැව ඉහත්තාවෙහි තරමක් උස්බිමක පිහිටා තිබූ සංචාරක නිවාසයේ සිටින්නකුට පූජා භූමිය අවට අසිරිය සිත් සේ දැක ගත හැකි විණ. තවමත් හිනැහෙන පොසොන් සඳ රන්මැලිසෑයේ කොත්කැරැල්ල රිදීවතුරෙන් තෙමාලද්දී, සංචාරක නිවාස අංගණයේ කුඩා මේසයක් මත වූ වීදුරුවල රන්වතුර බුබුළු නගමින් තිබිණ. ඇල්වතුර වීදුරුවක රස බලමින් පසුවූයේ මධුසාදය සඳහා අලුතින් ආරාධනා ලැබ සිටි ආගන්තුක සංචාරකයා ය.

“හිම මිදෙන රටේ ඉපදිලත් ප්‍රොෆෙසර්ට ඇඟ රත් කරගන්න පුරුද්දක් නැති වුණේ කොහොම ද කියන එකයි අපට හිතාගන්න බැරි” යි පරිසරවේදියා කීවේ ය.

“ඒ මොක වුණත් කෝනෙල් විශ්වවිද්‍යාලේ මහාචාර්යතුමෙක් එක්ක අද දවසේ සව්දිය පුරන්න ලැබීම නං අපේ වාසනාවක්” කියමින් ප්‍රශස්ති ගායනයක යෙදුණේ අමෙරිකානු සිහිනයක් දකිමින් සිටි මානවහිතවාදියා ය. සංචාරකයා සිනාමුසු ව සිටියේ ය. ඔහුගේ ඉලක්කගත අරමුණ කරා තවමත් කතාව යොමුවී නොතිබිණ. සැණෙකින් රැව් දෙන්නට වූ මියුරු සංගීතරාවය, කොකනද වීණාවේ හඬ ද පරදවනසුලු යැයි සංචාරකයාට සිතිණ. විස්මිත ව අවට බැලූ ඔහු දුටුවේ පටු මේස ලෑල්ල මත වැතිර සිටින කුඩා දුරකතන බට්ටෙකි.

“හෙලෝ ලලී... ඒ පෝස්ටරේ අකුරු වැරදියි. ඔක්කොම විසි කළා මචං... ඔව් මං දැං ඉන්නේ අනුරාධපුරේ. හෙට තමයි අපේ සෙමිනා එක... පොසොන් තියෙන්නේ අනිද්ද නේ? අනේ මචං පෝස්ටරේ අකුරු පරිස්සමින් අඳිමු. මෙච්චරයි. වර්ගවාදයට බුදුන්වහන්සේගේ වාසෙට්ඨ සූත්‍රයෙන් පිළිතුරු’

සංචාරකයා කටඅරින්නට සැරසෙද්දී දුම්දමන කටගැස්මක් සමඟ පෙනී සිටියේ සංචාරක නිවාසයේ කෝකියා හෙවත් උයනගෙයි ළමයා ය. පමණට වඩා කර වී ගිය බිත්තර බැදුම දෙස අරුචියෙන් බැලූ පරිසරවේදියා කෝකියාගේ මුහුණට එබුණේ නොසතුටිනි. “මොකෝ ගුණේ, දඩමසක් හම්බවුණේ ම නැද්ද අද?”

සංචාරකයා දුර්මුඛ ව බලා සිටියේ ය. කඩලඇට අහුරක් මුවෙහි ලා, ඇල්වතුර උගුරකින් ව්‍යාකූලත්වය සමනය කරගත් ඔහු හඬ අවදි කළේ අහස සිසාරා යන බැල්මක් ඉහළට විහිදුවමිනි.

“ඔය මහත්තුරු ඉල්ලා සිටින්නේ කිසි භේදයක් නැති සාධාරණ ලෝකයක් ද එහෙනං?”

“නැතුව? නැතුව? සමාජ විද්‍යාවේ පාරප්‍රාප්ත වුණ මහාචාර්යවරයෙක් මේ වගේ පුංචි ප්‍රශ්නයක් අහනකොට අපට නං මතක් වෙන්නෙ අර කුශාශ්‍ර බුද්ධිමතාගෙයි චූටි දරුවගෙයි කතන්දරේ. ඒ දෙන්නා හැමදාමත් ඉන්නෙ එක තැන නේ?” යි මානව හිතවාදියා විහිළුවක් කළේ තසිමේ තැවරී තිබූ බිත්තර සාරුව උලා කන අතරේ ය.

“හරි. ඉතිං... ඔබතුමන්ල මගේ ඒ පුංචි ප්‍රශ්නේ පුංචි විදිහට ම පහදල දුන්න නං නේ ද හොඳ”

ඈත-ඈත වනගහනය දෙසින් ගිනිබිඳින හඬක් නැගිණ. පරිසරවේදියා වහා හැරී බැලුවේ, මල් පයිප්පයෙන් පලතුරු පැළ තවාන නාවමින් සිටි උයනගෙයි ළමයා දෙස ය. ඒ බැල්මේ තැවරී තිබූ බලාපොරොත්තුව උයනගෙයි ළමයාට ද සන්නිවේදනය වූ බව පෙනී ගියේ ඔහු ඊට සැපයූ කඩිනම් පිළිතුර නිසා ය.

“ඔය ගිනි බිදිනව ඇහුණෙ මිනිහෙකුට ද සතෙකුට ද කියන එකත් හරියට ම හිතාගන්න අමාරුයි සර්. මෙහෙත් ළඟකදි මිනීමැරුම් ගණනාවක් ම සිද්ධ වුණා නේ? නාඳුනන තුවක්කුකරුවෝ, දාමරික කල්ලි දැං මේ ශුද්ධ භූමිය ළඟට ම ඇවිත්”

“සතෙක් එළාගන්න පුළුවන් ඕන ම කෙනෙකුට මිනීමරන හැකියාව ලැබෙන්නේ ඉබේට” යි කිව යුතු වූ මුත් සංචාරකයා සිටියේ නිහඬව ය. ඊළඟ මොහොතේදී හඬ අවදි කළේ සංචාර කයා කෙරෙහි සැලකිලිමත්වීම-එසේ යැයි හැඟවීම දඩමසට ද වැඩියෙන් රසවත් විය හැකි බව සිතමින් පසු වූ මානවහිතවාදියා ය.

“ඔබතුමාගේ ප්‍රශ්නෙට මං කෙටි උත්තරයක් දෙන්නං. අපට වුවමනා මේ මුළුලෝකෙ ම සමබිමක් කරන්න. වර්ගවාදෙට අපි ඉඳුරාම විරුද්ධයි. ඔබතුමා අමෙරිකානුවෙක්. අපි ශ්‍රී ලාංකිකයො. ඉතිං ඒව වුණත් සම්මුති විතර නේ?

“මුවෝ ලගින්නෙ මුවරංචු අතරෙ - කුරුල්ලෝ වුණත් වෙන සත්තු වුණත් එහෙමයි” කියමින් සංචාරකයා පීල්ල මාරු කළේ ය.

“අනන්‍යතාව, උත්තේජනය, ආරක්ෂාව කියන ලක්ෂණ තුන මිනිහට වගේම තිරිසන් සතාටත් පොදු බව විද්‍යාවෙනුත් සනාථ වෙලා තියන විත්තිය පිළිගන්නව ද මේ මහත්තුරු?”

“විවාදයක් නෑ ප්‍රොෆෙසර්, ඒත් වර්ගවාදෙ තුරන් කිරීමයි, සමානාත්මතාවෙයි කියන ඒවත් එක්ක ඍජු සම්බන්ධයක් තියෙයි ද ඔය කතාවෙ?”

“ඇයි නැත්තෙ? මගේ ප්‍රශ්නේ මේකයි. වර්ගවාදෙ තුරන් කිරීම වෙනුවෙන් උද්ඝෝෂණය කරන ඔය මහත්තුරු හිරවෙලා ඉන්නෙත් එක්තරා වර්ග වාදෙක නෙවෙයි ද?”

දෙදෙනාගේ ම මුහුණුවලින් ඉස්මතු ව නැගුණේ ව්‍යාකූලත්වයකි. ප්‍රශ්නාර්ථය දැල්වෙන දෑස් දෙස බලමින් සංචාරකයා හඬ අවදි කළේ ගණිත ගැටලුවකට මැදි වූ දරු දෙදෙනෙකුට සරල සමීකරණයක් හඳුන්වා දෙන ආකාරයට ය.

“විශ්ව නියාමයට අනුව බලනව නං ඔය මහත්තුරු නැංගුරම් ලාගෙන ඉන්නෙත් එක්තරා වර්ගවාදයක් ළඟ”

“අපි? මේ අපි?”

“ඔව්. මනුෂ්‍ය වර්ගයා කියන්නෙත් එක්තරා වර්ගීකරණයකට. තේරුම් ගන්න. මේ ජීවජාලය ගෙත්තම් කළේ මනුසතා විතරක් නෙවෙයි. මානවයාය කියන්නේ ඒකේ එක ම එක හුයකට” බෝතල් අඩියක් මේස ලෑල්ලේ තදින් ගැටෙන හඬ නැගුණ ද සැණෙකින් සියල්ල සන්සුන් වූවේ ය.

Comments