අඩු දැනුම ලස්සනෙන් වහන්න බෑ.. | සිළුමිණ

අඩු දැනුම ලස්සනෙන් වහන්න බෑ..

තුරුණු මඬල

පෞද්ගලික රූපවාහිනී නාලිකා ගණනාවක ජනප්‍රිය මෙන් ම උසස් වැඩසටහන් ගණනාවක් නිර්මාණය කළ මෙන් ම ඉදිරිපත් කළ පරාක්‍රම ඒකනායක “සිවුර”, “පාත්තරය” වැනි බෞද්ධ වාර්තා වැඩසටහන් ගණනාවක් ද “ජයදේවගේ අවුරුද්ද” වැනි ඒකාංගික ටෙලි නිර්මාණ තුනක් ද නිර්මාණය කරමින් රූපවාහිනී මාධ්‍යය තුළ සිය පෘථුල කුසලතා වපසරිය ප්‍රකට කරන්නේ ය. එමෙන් ම “කනේරු මල් යාය” (2003), “ආදරය විතරක් ඇති” (2007), “ටිකිරි ලියා තරු මැද්දෙ ගියා” (2015), යන නවකතා ද “නැතිවී ගිය හෘදය සාක්ෂිය” (2013) තීරු ලිපි එකතුව ද ජනගත කරන්නේ ය. දැනට රූපවාහිනී මාධ්‍යයේ මෙන් ම ලේඛන කලාවේත් නිරත ඔහු ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමාධාරියෙකි. මෙවර තුරුණු මඬල සංලාපය පරාක්‍රම ඒකනායකයන් සමඟ ය.

• රූපවාහිනී මාධ්‍යයේ මුල් යුගයේ කාර්ය භාරයන් අද වනවිට වෙනස් වෙමින් පවතිනවා. මේ වෙනස සැබැවින් ම රූපවාහිනිය සිය සීමා අතික්‍රමණය කිරීමක් ද, නැතිනම් එහි භූමිකාව හඳුනා නොගැනීමක් ද යන්න පිළිබඳව ඔබේ මතය කුමක්ද?

රූපවාහිනියේ ආරම්භක යුගයේ වැඩසටහන් නිර්මාණය වන්නේ, උසස් නිර්මාණ රස විඳින ලද, සමාජය කියවා සමාජය සමඟ ගැටී තමන්ගේ ජීවිතය වෙනස් කරගත් ජීවිතයේ සුවිශාල අත්දැනීම් සම්භාරයක් සහිතව ක්ෂේත්‍රයට පිළිපන්නවුන් අතින්. ධම්ම ජාගොඩ, ලූෂන් බුලත්සිංහල, පරාක්‍රම නිරිඇල්ල වැන්නන් නිර්මාණකරණයේදී ස්පර්ශ කරන්නේ තමන් විසින් අත්දකිමින් සිටි ලෝකයයි. ඒ අතර අසූ අට අසූ නවය කාල වකවානුව මුළු සමාජය ම විශාල වෙනසකට භාජනය කරනවා. එතනින් එහාට අපේ ලෝකය කරකැවෙන්නේ අනිත් පැත්තට. පෞද්ගලික එෆ් එම් නාලිකා සමඟ එළියට එන්නේ වෙනස් ම පිරිසක්. දැනුම කියන සාධකය සමඟ ජීවත් වූ පරම්පරාව මේ තැනදි ලංකාවෙන් අයිනකට වෙනවා. ඒ හිස්තැන පුරවන්න එකතුවෙන අයට ක්ෂේත්‍රයට එන්න කලින් ජීවත් වෙන්න තිබූ කාලය හා අවකාශය ප්‍රමාණවත් නෑ. අසූ තුනේ යුද්ධයේ ආරම්භයත් සමඟ ඇසෙන්නේ වෙඩි හඬ සහ බෝම්බ හඬ. මරණ සංඛ්‍යා ගණනය කරනවා හැරෙන්න සාහිත්‍ය රසවින්දනයක් ඒ යුගයේ ඉස්මතුව එන්නේ නෑ. ඒ නිසා මේ අයට ප්‍රමාණවත් පෝෂණයක් ලැබෙන්නේ නෑ.

වසර අනූ අට පමණ වනවිට වෙ‍ෙළඳ උපක්‍රම මුසුව බිහිවන පෞද්ගලික නාලිකා එළියට එන්නේ සමාජ සේවයක් කරන්න නෙවෙයි. ඒ වෙ‍ෙළඳාම තුළ වුණත් හොඳ දෙයක් කරන්න හැකි පිරිස දුර්ලභ වුණා. ඒ අඩුපාඩුව දශකයෙන් දශකයට වෙනස් වෙන්න පටන්ගත්තා. අනූ නවයේ දෙසැම්බර් තිස් එක් වැනිදා මිලේනියම් කියලා එකක් හදාගෙන ඒක අලෙවි කළා. සහස්‍රකය කියලා ඉලක්කම් වෙස් වුණාට ජීවිතවල වෙනසක් වුණේනෑ. අපි චින්තනමය වශයෙන් බටහිරට අනුව වෙනස් වෙන්න ගත්තා. ලෝකය බොහෝ දේ සොයාගත්තා. අපි ඒ ඉදිරියේ හැංගෙන්න තැන් සොයා ගත්තා.ඒ අනුව සහස්‍රකයෙන් පසුව පෞද්ගලික රූපවාහිනී නාලිකා ගෙනෙන්නේ ලස්සන කියන සාධකයයි. මාධ්‍යයට ගත්තේ ලස්සන මිනිස්සුයි. ලස්සන කියන්නේ දැනුම නෙවෙයි. ඒත් දැනුම කියන්නේ ලස්සනයි. අපි ඒ දෙක පටලවාගෙන ලස්සන අස්සේ හැංගිලා අඩු දැනුම වහගන්න උත්සාහ කරනවා. ලස්සන ඉස්සරහා මිනිසුන්ට දැනුම කියන මහා සාධකය අතහැරෙනවා. ඒ නිසායි, රූපවාහිනී නිවේදක නිවේදිකාවන්ට හරවත් නැති ඕන ඕන දේවල් කියන්න පුළුවන් වෙන්නේ. ජීවත්වූ කාලය අඩු මිනිස්සු මාධ්‍යයට පැමිණීම විශාල පාඩුවක් වී තිබෙනවා.අපි ඒක සාධාරණීකරණය කරගන්න, ලෝකය වෙනස් වෙලා, විශ්වය ම ගම්මානයක් වෙලා වගේ සංකල්පවලින් වැරැද්ද වහගන්න උත්සාහ කරනවා.

• මාධ්‍යය තුළ දැනුම කියන සාධකය තොරතුරු කතිකාවක් බවට පරිවර්තනය වීමක් අපි එක්තරා යුගයකදී අත් දකිනවා. එහෙත් ලස්සන කියන දේ දැනුම හෝ තොරතුරු ලබා දීමේ මාධ්‍යයක් බවට පත්නොවන්නේ ඇයි?

එතනදි ලස්සන කියා අල්ලා ගත්තේ මතුපිට ලස්සන පමණයි. ඕනෑම දේක යටිපෙළක් තිබෙනවා. ඒත් අපට මුලින් ම පෙනෙන්නේ ඒ යටිපෙළ නොවෙයි. අපි දැන් කරමින් සිටින්නේ අපට පෙනෙන දේ පෙන්වීමයි. එහි යටිපෙළ පිළිබඳව අවබෝධයක් නෑ. උනන්දුවකුත් නෑ. මිලක් නියම වන වෘත්තියක් ලෙස ඒ යටිපෙළට මිලක් නියම නොවීම මත වෘත්තීමය වශයෙනුත් ඒ පිළිබඳව සැලකිල්ල යොමු වෙලා නෑ.

• එසේ මිලක් නියම වීම හා වෘත්තියක් බවට පත් වීම සහ පෞද්ගලික නාලිකා බිහිවීම අතර සම්බන්ධයක් තිබෙනවාද?

පෞද්ගලික නාලිකා බිහි වීම එය පහසු කළා. දැනුමෙන් අඩු අයට මේ වෘත්තිය තුළ සමාජ මෙහෙවරක් කරන්න බැහැ. අන්තර්ජාලයෙන් වැඩසටහන් අනුකරණය කරමින් සමාජය හෝ පොත පත නොකියවා වැඩසටහන් නිර්මාණය කිරීමෙන් ගුණාත්මක වැඩක් කරන්න බැහැ.

• ජනමාධ්‍යයට නියාමනයක් නොතිබීමත් ගැටලුවක් නොවේද?

නියාමනය දඬුවමක් වෙන්න බැහැ. එහෙත් එකඟතාවන් තිබිය යුතු වෙනවා. කවුරුත් තම තමන්ට ඕන ඕන දේ කරන්න ගියොත් එය සමාජයට බලපාන ආකාරය පිළිබඳව තීරණය කරන්න බැරි වෙනවා. මේ වනවිට ටෙලි නාට්‍ය කලාව දියාරු වී තිබෙන්නේ මේ ආකාරයට ගුණාත්මකභාවය තීරණය කරගන්න බැරි වීම මතයි. ඒ නිසා කූඩුවක දමා මර්දනය නොකරන එකඟතාවයන් සමූහයක් අවශ්‍ය වෙනවා.

• ජනමාධ්‍ය ආයතනයන්ට වෙන වෙන ම වෙන් වූ න්‍යාය පත්‍ර වෙනස් කරගන්නේ නම් මේ අර්බුදයේ විශාල ප්‍රමාණයක් විසඳෙන බවක් පෙනෙන්නේ නැද්ද?

මොන න්‍යාය පත්‍ර තිබුණත් සියුම් නිර්මාණකරුවකුට ඒවා අතික්‍රමනය කරන්න පුළුවන්. ලෝකයේ ඉතා ම අසීරු අවස්ථාවලත් නිර්මාණකරුවන් නිර්මාණ කර තිබෙනවා. ඔබ කියන උත්තරේ ගන්නේ ම පහසුවටයි. ආයතනයට අවශ්‍ය දේ වගේ ම නිර්මාණකරුවාට අවශ්‍ය දේත් එකම වැඩසටහනක් තුළ කළ හැකියි. මාධ්‍ය තුළ ඉඩක් නෑ කීම ඉතා ම සරලයි.

• පවතින මාධ්‍ය හැසිරීම තුළ ගීතයක් ප්‍රචාරය කරගැනීමට පවා මුදල් අය වෙනවා. මුදල් තිබෙන අයගේ ගීත පමණක් ප්‍රචාරය වීම තුළ ශ්‍රාවකයාට සාධාරණයක් ඉටු වෙනවාද?

එවැනි චෝදනා කරන බොහෝ දෙනාගේ ගීත නිර්මාණය කරන්නේ Ringing tone වලටයි. ඔවුන්ගේ ඒ ගීත මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීමෙන් ඔවුන් මසකට ලක්ෂ ගණනක් මුදල් උපයනවා. ඒ අයගෙන් ගීත ප්‍රචාරය කිරීමට මුදල් අයකිරීමේ වරදක් නෑ. ලක්ෂ ගණන් මුදල් උපයන කිසිදු ගුණාත්මක බවක් නැති ගීත නිර්මාණය වෙන්නේ ම ආර්ථික ප්‍රතිලාභ අපේක්ෂාවෙන්. එහෙත් උසස් ගීත සඳහා එසේ මුදල් අය කිරීම බරපතළ වරදක් ලෙසයි මා දකින්නේ. සිංහල භාෂාව පිළිබඳව කිසිදු දැනුමක් නැති නමුත් ගීත රචනා කර කෝටි ගණන් මුදල් උපයන ගීතරචකයන් ලංකාවේ සිටිනවා. මේක සමාජයට විශාල ප්‍රශ්නයක්. ඔවුන් මුදල් වියදම් කර හරසුන් ගීත සමාජගත කරනවා. ශ්‍රාවකයාටත් මෙහිදී වගකීමක් තිබෙනවා, තමන් අසන දකින නිර්මාණ පිළිබඳව මීට වඩා සවිඥානික වීමට. ශ්‍රාවකයා සිල්ලර විනෝදකාමියකු ලෙස සිතාගෙන කරන මේ නිර්මාණ ප්‍රතික්ෂේප කළ යුතුයි. එහෙත් මේ පිටුපස යම් යම් දේශපාලන අරමුණුත් තිබෙනවා. ඔබ මුලින් සඳහන් කළ මාධ්‍ය ආයතනවල න්‍යායපත්‍ර අනුව තමයි මේ දේවල් සිදුවන්නේ. ලංකාවේ මාධ්‍ය ආයතන සියල්ල අධ්‍යයනය කළොත් කෙනකුට මේ පිළිබඳව පැහැදිළි අවබෝධයක් ලබාගත හැකි වෙනවා. ඊළඟ වසර පහ හෝ දහය සඳහා ඔවුන් මිනිසුන් හසුරවන්නේ කුමන දිශාවකටද යන්න එවිට අවබෝධ වේවි.

Comments