මුනින් කන්ද වත්තේ ඛේදවාචකය | Page 2 | සිළුමිණ

මුනින් කන්ද වත්තේ ඛේදවාචකය

 රත්නපුර කළුතර දිස්ත්‍රික් වෙන් කරන කුකුලේ ගඟට මායිව තිබූ මුනින් කන්ද වත්ත නැමති ෆයිනස් වගා භූමියේ අක්කර දහයකට ආසන්න කදු කොටසක් පසුගියදා ගඟට ඇද වැටීමෙන් කදු පාමුල වැසී ගියේ ගංඟා ගමනටද බාධා කරමිනි.

මේ හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයට අයත් අයගම කොළඹෑව ගම්මානයේ එකම පවුලේ සාමාජිකයන් හත් දෙනෙකු ඇතුළු අට දෙනෙක් නිවාස තුනක් සමගම අතුරුදන් වූහ. දින කීපයක් පුරා යුද හමුදා සෙබළුන්ගේ කැප වීමෙන් සිදුකල සෝදිසියෙන් මළ සිරුරු හතරක් සොයා ගත් අතර පසුව 62 හැවිරිදි මාවරකන්ද වතුකාරගේ ගුණවතී නම් මාතාවගේ සිරුර හමු විය.

එම සිරුර මිහිදන් කිරීම සදහා කිසිදු පහසුකමක් ඉතිරිව සිටින ඥාතීන් සතුව නොමැති වීම හේතුවෙන් ඉටි කොළයක ඔතා කුඩා වලක් තුළ මිහිදන් කෙරිණි.

එසේ අසරණ ලෙස මිහිදන් කෙරුණු කාන්තාව වෙනුවෙන් ආගමික වතාවත් හෝ මතක වස්ත්‍ර පූජාවක් පවා සිදු කිරීමට ඥාතීන්ට නොහැකි විය. ඒ පිළිබදව ඇගේ ඥාතීන් පැවසුවේ මෙවන් අදහසකි.

කේ . දිමුතු - (32 ) 'කොළඹෑව ගමේ මුනින්කන්ද වත්ත නාය යාමෙන් අපේ පවුලේ හත් දෙනෙකුයි තව පිට එක්කෙනෙකුයි හොයා ගන්න නැති වුණා‍. දින කීපයකට පස්සේ හතර දෙනෙක්ගේ සිරුරු හමු වුණා. අපි අයගම ගිහින් ඒ සිරුරු මිහිදන් කළා. ඒත් පෙට්ටියක්වත් නැතිව දැම්මේ.

ගුණවතී නැන්දගේ මිනිය හමුවෙනකොට ගොඩක් නරක් වෙලා. කරන්න දෙයක් නැහැ. අපිට පෙට්ටියක්වත් ගන්න විදිහක් තිබුණේ නැහැ. ඒ නිසා මේ දේහය ඉටි කොළයත ඔතලා මිහිදන් කළා. අපි මේ ගැන දැනුම් දුන්නා.නමුත් නිළධාරීන්ටත් කරන්න දෙයකුත් නැහැ.

කේ. චමින්ද- ( 33) 'අපිට පිහිට වෙන්න මෙහේ පොලීසිය. හමුදාවේ මහත්වරුයි ඇරුණාම කවුරුත් ආවේ නැහැ. මුලින්ම ආවේ මේ පත්තර, ටී.වී, රේඩියෝ මහත්වරු තමයි. මගේ නංගි, මස්සිනා එක්ක දරුවෝ තුන්දෙනයි අනිත් නංගියි මිය ගියා. සේරම දේහයන් වළක් කපලා වල දැම්මා. අපිට පෙට්ටියක්වත් අරන් දෙන්නවත් අපිව බලන්නවත් කවුරුවත් කටයුතු කළේ නැහැ. අපේ කලින් ගෙනියපු මිනී ටික පොලිතින් කරලවත් දුන්නේ නැහැ. අපිට කිව්වා අරක්කු බෝතලයක් දෙන්න කියලා අපි ඒක අරන් දුන්නා. ඒක බීලා ඒ අය නිකන් හිටියා පහුවදා යද්දිත් මිනී ටික එහෙමමයි.

රජයෙන් දෙනවා කියපු කිසිම දෙයක් මෙතෙක් අපිට ලැබුණේ නැහැ. මේ කන්ද පාමුල මගේ නංගි ඇතුළු හැමෝම ජීවත් වුණේ. ඒ අයගේ ගෙවල් තිබුණ තැන් පවා හොයා ගන්න නැහැ.

කිසිදු හව්හරණක් නොමැතිව දින ගණනක් තිස්සේ කිසිවෙකුගේ පිහිටෙන් දිවි ගෙවන මෙම මිය ගිය ඥාතීන් වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට ක්‍රමයක් නොමැතිව හූල්ලති. එබැවින් තම නැන්දනියගේ සිරුරු පොලිතින් කොළයන ඔතා වලක් තුළ හරස් කර තැබූ ලෑලි කීපයක් මත තබා මිහිදන් කළහ.

අගලවත්ත පී.එම් පත්මසූරිය සහ පාලින්දනුවර සමූහ. 

Comments